දෙවියන් වහන්සේගේ හඬ, මාගේ ජීවිතයේ පුදුමාකාර හා අභිරහස් අත්දැකීමක්. බයිබලයේ බොහෝ තැන්වල දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනඟට කතා කළ ආකාරය, උන්වහන්සේගේ කැමැත්ත හෙළි කළ ආකාරය, ප්‍රඥාව ලබා දුන් ආකාරය සහ මඟ පෙන්වූ ආකාරය ගැන කියවෙනවා. උන්වහන්සේගේ හඬ තුළින්, මැවුම්කරු උන්වහන්සේගේ අසීමිත ප්‍රේමය, යුක්තිය සහ අප සෑම කෙනෙකු සමඟ පෞද්ගලික සම්බන්ධතාවයක් පැවැත්වීමට ඇති ආශාව ප්‍රකාශ කරනවා.
දෙවියන් වහන්සේ විවිධ ආකාරවලින් අපට කතා කරනවා. පුරාණ අනාගතවක්තෘවරුන්ට සිහින හා දර්ශන තුළින් උන්වහන්සේ කතා කළා. අපගේ හෘද සාක්ෂිය තුළින්, නිවැරදි හා වැරදි අතර වෙනස හඳුනා ගැනීමට අපට මඟ පෙන්වමින් උන්වහන්සේ අපට කතා කරනවා. සමහර විට එදිනෙදා ජීවිතයේ සිදුවීම් තුළින්, පෙනෙන පරිදි නොවැදගත් දේවල් තුළින් පවා උන්වහන්සේ අපට කතා කරනවා. උන්වහන්සේගේ සැලැස්ම සහ අරමුණ අපට හෙළි කරනවා. උන්වහන්සේගේ හඬ අපට ඇසෙන ආකාරය ගැන අප සැමවිටම අවධානයෙන් සිටිය යුතුයි.
දෙවියන් වහන්සේගේ හඬ අද්විතීයයි. ලෝකයේ අපට ඇසෙන අනෙකුත් හඬවල් මෙන් නොව, උන්වහන්සේගේ හඬ අපව හෙළා දකින්නේ නැහැ. ඒ වෙනුවට, එය උන්වහන්සේගේ නිමක් නැති ප්‍රේමය සහ දයාව පෙන්වනවා. එය අපව ධර්මිෂ්ඨකමේ සහ සාමයේ මාවත්වලට මඟ පෙන්වන හඬක්. අපහසුතා මධ්‍යයේ අපට ධෛර්යය ලබා දෙන, ව්‍යාකූලත්වය මධ්‍යයේ අපට මඟ පෙන්වන හඬක්.
ආබ්‍රහම් සිය මව්බිම අතහැර දෙවියන් වහන්සේගේ උපදෙස් පිළිපදිමින් බොහෝ ජාතීන්ගේ පියා බවට පත් වූ ආකාරය, මෝසෙස් දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ඊජිප්තුවේ වහල්භාවයෙන් ඉශ්‍රායෙල් සෙනඟ මුදා ගත් ආකාරය බයිබලයේ සඳහන් වෙනවා. දෙවියන් වහන්සේගේ හඬ කාලයේ සහ අවකාශයේ සීමාවන් ඉක්මවා යනවා. උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා උන්වහන්සේගේ ආඥාවන්ට කීකරු වීමට අපට ආරාධනා කරනවා.
ස්වාමීන්ගේ ශබ්දය ජල මතුයෙහිය මහිමයෙන් යුක්තවූ දෙවියන්වහන්සේ, එනම් ජල රාශි මතුයෙහි වැඩසිටින ස්වාමීන්වහන්සේ ගර්ජනා කරනසේක.ස්වාමීන්ගේ ශබ්දය බලවත්ය; ස්වාමීන්ගේ ශබ්දය මහිමයෙන් පූර්ණය.
ජාතීහු කෝලාහල කළෝය, රාජ්‍යයෝ සෙල්වුණෝය. උන්වහන්සේ ස්වකීය හඬ නිකුත් කළසේක, පොළොව දියවූවාය.
නුඹලා දකුණට හැරෙන විටද නුඹලා වමට හැරෙන විටද: මාර්ගය මේය, මෙහි හැසිරෙන්නැයි නුඹට පස්සෙන් කියන හඬක් නුඹේ කන්වලට ඇසෙන්ටත් යෙදෙනවා ඇත.
නිශ්චලවව්, මා දෙවියන්වහන්සේ බව දැනගනිව්. ජාතීන් අතරේ උසස්වන්නෙමි, පොළොවෙහි උසස්වන්නෙමි.
ස්වාමීන්වහන්සේගේ තේජස සීනයි කන්දේ පැවතුණේය, වලාකුළ සදවසක් ඒක වසා සිටියාය. සත්වෙනි දින උන්වහන්සේ වලාකුළ මැදින් මෝසෙස්ට හඬගැසූසේක.
පොළෝකම්පාවට පසු ගින්නක් විය; එහෙත් ස්වාමීන්වහන්සේ ගින්නෙහි නොවූසේක. ගින්නට පසු සියුම් නිශ්චලතාවේ හඬක්විය.
මෝසෙස් උන්වහන්සේ සමඟ කථාකරන පිණිස සම්මුඛවීමේ කූඩාරමට ඇතුල් වන කල, සාක්ෂි පෙට්ටිය පිට තිබුණු කරුණාසනය උඩ සිට කෙරුබ්වරුන් දෙදෙනාට අතරෙන් තමාට කථාකරන හඬ ඔහුට ඇසුණේය. ඔහුද උන්වහන්සේට කථාකළේය.
අපගේ විශ්වාසයේ පටන්ගැන්ම අන්තිම දක්වා ස්ථිර ලෙස අල්ලාගෙන සිටිමු නම්, අපි ක්‍රිස්තුස්වහන්සේගේ පංගුකාරයෝ වී සිටිමුව.
උන්වහන්සේගේ පාද උදුනක ගිනියම්කළ දිලිහෙන පිත්තල මෙන්ය; උන්වහන්සේගේ ශබ්දය බොහෝ ජල ඝෝෂාවක ශබ්දය මෙන්ය.
එවිට ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජස නැගෙනහිර දිශාවෙන් එනවා දුටුමි. උන්වහන්සේගේ ශබ්දය බොහෝ ජල ඝෝෂාවක ශබ්දය මෙන් විය. පොළොවද උන්වහන්සේගේ තේජසින් බැබළුණේය.
ස්වාමීන්වහන්සේ අහසෙහි ගර්ජනා කළසේක, මහෝත්තමයාණෝද තමන් හඬ නිකුත්කළසේක; ගල්වැසිද ගිනි අඟුරුද විය.
හොරණෑ ශබ්දය වැඩි වැඩිව පැවතුණු විට මෝසෙස් කථාකෙළේය, දෙවියන්වහන්සේ ශබ්දයකින් ඔහුට උත්තරදුන්සේක.
උන්වහන්සේ සමඟ ශුද්ධවූ කන්දේ සිටියදී මේ හඬ ස්වර්ගයෙන් එනවා අපිම ඇසීමුව. ඊට වඩා ස්ථිරකරනලද්දාවූ අනාගතවාක්‍යය අපට තිබේ.
බලව, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ තේජසද මහන්තත්ත්වයද දැක්වූසේක, උන්වහන්සේගේ හඬද ගින්න මැදින් අපට ඇසුණේය. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා සමඟ කථාකරලාත් ඔහු ජීවත්ව සිටින බව අද දවසේ අපි දුටිමුව.
උන්වහන්සේගේ ශබ්දයෙන් ඒ කාලයේදී පොළොව සෙලවුණාය. නුමුත් දැන් උන්වහන්සේ: මම පොළොව පමණක් නොව ස්වර්ගයත් තව වරක් කම්පාකරවන්නෙමියි කියා පොරොන්දුවී තිබේ.
නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත්වන්නේය. මමද දාවිත්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් නුඹලා සමඟ කරන්නෙමි.
සැබවක් සැබවක් නුඹලාට කියමි–දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ හඬ මළවුන්ට ඇසෙන පැය පැමිණෙන්නේය, දැනුත් පැමිණ තිබේ; අසන අය ජීවත්වන්නෝය.
තවද මා එවූ පියාණන්වහන්සේම මා ගැන සාක්ෂිදුන්සේක. නුඹලා කිසිකලක උන්වහන්සේගේ හඬ ඇසුවේවත් උන්වහන්සේගේ රූපාකාරය දුටුවේවත් නැත.
දෙවියන්වහන්සේගෙන් වූ තැනැත්තේ දෙවියන්වහන්සේගේ වචන අසයි. නුඹලා දෙවියන්වහන්සේගෙන් නොවන බැවින් ඒවා අසන්නේ නැතැයි කීසේක.
ඉක්බිති දිවාභාගයේ සිසිල් වේලේ ස්වාමිවූ දෙවියන්වහන්සේ උයනෙහි සක්මන්කරන ශබ්දය ඔවුන්ට ඇසුණේය. එවිට මනුෂ්‍යයා සහ ඔහුගේ භාර්යාව ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරියෙන් උයනේ ගස් අතරෙහි සැඟවුණෝය.
මනුෂ්‍යයෙකු තමාගේ මිත්‍රයාට මුහුණට මුහුණ ලා කථාකරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ මෝසෙස් සමඟ කථාකළසේක. ඔහු නැවත කඳවුරට හැරී ආයේය. නුමුත් නූන්ගේ පුත්‍රවූ තරුණයෙක් වන ඔහුගේ සේවකයාවූ යෝෂුවා කූඩාරමෙන් අහක්ව නොගියේය.
උන්වහන්සේද කථාකොට: එසේය, ඊට වඩා දෙවියන්වහන්සේගේ වචනය අසා එය පවත්වන්නෝ සැබවින්ම වාසනාවන්තයෝයයි කීසේක.
උන්වහන්සේ නුඹට උගන්වන පිණිස තමන්වහන්සේගේ හඬ අහසෙන් නුඹට ඇසෙන්ට සලස්වා, පොළොව පිට තමන්වහන්සේගේ මහත් ගින්න නුඹට දැක්වූසේක; උන්වහන්සේගේ වචනද ගින්න මැදින් නුඹට ඇසුණේය.
දෙවිවූ ස්වාමීන්වහන්සේ කුමක් කියනසේක්දැයි අසන්නෙමි. මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟටත් ශුද්ධවන්තයන්ටත් සමාදානය වදාරනසේක. නුමුත් ඔව්හු අඥානකමට නැවත නොහැරෙත්වා.
නුඹලා ඉගෙනගත්තාවූ, පිළිගත්තාවූ, මා තුළ තිබෙන බව ඇසුවාවූ, දුටුවාවූ දේවලුත් කරන්න. එවිට සමාදානයේ දෙවියන්වහන්සේ නුඹලා සමඟ සිටිනවා ඇත.
මෙන්න, මම දොර ළඟ සිට තට්ටුකරමි, යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, ඔහු වෙතට ඇතුල්ව, ඔහු සමඟ කෑම කන්නෙමි, ඔහුද මා සමඟ කන්නේය.
උන්වහන්සේගේ හඬේ ගර්ජනාවත් උන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන ගෙරවීමත් හොඳට අසන්න.උන්වහන්සේ ඒක මුළු අහස යටද තමන්ගේ විදුලිය පොළොවේ කෙළවර දක්වාද යවනසේක.ඊට පස්සෙන් ශබ්දයක් ගොරවාගන යන්නේය; උන්වහන්සේ තමන් මහන්තත්වයේ හඬින් ගර්ජනාකරනසේක. උන්වහන්සේගේ හඬ ඇසෙන විට උන්වහන්සේ ඒවා ප්‍රමාද කරන්නෙත් නැත.දෙවියන්වහන්සේ ස්වකීය හඬින් පුදුමලෙස ගර්ජනාකරනසේක. අප නොදන්න මහත් දේ කරනසේක.
මක්නිසාද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේගේ ගොදුරු බිමේ සෙනඟය, උන්වහන්සේගේ අතේ බැටළුවෝය. අද දවසේ නුඹලා උන්වහන්සේගේ හඬට කීකරුවන්නහුනම් යහපත!විවාදයෙහි මෙන්ද වනාන්තරයේදී පරීක්ෂාකළ දවසෙහි මෙන්ද නුඹලාගේ සිත් දැඩිකර නොගනිව්.
මාගේ නාමයට ගෞරවදෙන හැටියට නුඹලා අසා සිතට නොගන්නහුනම් මම නුඹලා අතරට ශාපය එවා, නුඹලාගේ ආශීර්වාදවලට ශාපකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එසේය, නුඹලා සිතට නොගන්න නිසා මම ඒවාට ශාපම කෙළෙමි.
නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගොස්, උන්වහන්සේට භයව, උන්වහන්සේගේ ආඥා රක්ෂාකොට, උන්වහන්සේගේ හඬට කීකරුව, උන්වහන්සේට සේවයකර, උන්වහන්සේට ඇලුම්ව සිටින්න.
ස්වාමීන්වහන්සේ ඇවිත් සිට වෙන වතාවලදී මෙන්: සාමුවෙල්, සාමුවෙල් කියා හඬගැසූසේක. එවිට සාමුවෙල්: කථාකළ මැනව; ඔබවහන්සේගේ මෙහෙකරුවා අසාගන ඉන්නවායයි කීවේය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන්දී උන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කොට උන්වහන්සේගේ ආඥාවලට කන්දෙමින් උන්වහන්සේගේ සියලු නියෝග රක්ෂාකරන්නෙහිනම් මිසරවරුන් පිට මා පැමිණෙවු රෝගවලින් එකක්වත් නුඹ පිටට නොපමුණුවන්නෙමි. මක්නිසාද මම වනාහි නුඹ සුවකරන්නාවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.
ඔහු තමාගේම සියලු බැටළුවන් පිටතට හැරියාම ඔහු උන්ට පෙරටුව යයි, බැටළුවෝද ඔහුගේ හඬ අඳුනන බැවින් ඔහු පස්සේ යති.උන් අන්‍යයන්ගේ හඬ නාඳුනන බැවින් අන්‍යයෙකු පස්සේ නොගොස් ඔහු වෙතින් පලායන්නේයයි කීසේක.
එවිට: මම කවරෙකු යවම්ද? අප උදෙසා යන්නේ කවුදැයි කියන්නා වූ ස්වාමීන්වහන්සේගේ හඬ මට ඇසුණේය. මමද: මෙන්න මම මෙහිය; මා යැවුව මැනවයි කීමි.
මක්නිසාද මනුෂ්‍යයා නොසලකන නුමුත් දෙවියන්වහන්සේ එක වරක්, එසේය, දෙවරක්,ස්වප්නයකින් හෝ, රාත්‍රියේ දර්ශනයකින් හෝ මනුෂ්‍යයන්ට බර නින්ද පැමිණෙන විට, යහන පිට නින්දේදී කථාකරනසේක.
බොහෝ ජල ඝෝෂාව මෙන්ද මහත් ගර්ජනාවක ශබ්දය මෙන්ද ස්වර්ගයෙන් ශබ්දයක් මට ඇසුණේය. මට ඇසුණු ශබ්දය වනාහි තමුන්ගේ වීණාවලින් ගායනා කරන ගායනාකරන්නන්ගේ ශබ්දය මෙන්ය.
කථාකරන තැනන්වහන්සේ එපා නොකරන්ට බලාගන්න. මක්නිසාද පොළොවේදී අවවාදකළ තැනන්වහන්සේ එපාකළ විට ඔව්හු නොගැළවුණෝ නම්, ස්වර්ගයෙන් අවවාදකරන තැනන්වහන්සේ කෙරෙන් අහක්ව ගියොත් අපි කොහොම ගැළවෙමුද?
මක්නිසාද ප්‍රඥාව දෙන්නේ ස්වාමීන්වහනසේය; උන්වහන්සේගේ මුඛයෙන් දැනගැන්මද ඥානයද පැමිණෙන්නේය.
තවද මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා රක්ෂාකරන්ට බලාගන්න ලෙස උන්වහන්සේගේ හඬට ඕනෑකමින් කන්දෙන්නෙහි නම් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු ජාතීන්ට වඩා නුඹ උසස් කොට තබනසේක.
ස්වාමීන්ගේ ශබ්දය ගිනිදැල් බෙදයි.ස්වාමීන්ගේ ශබ්දය වනාන්තරය සොලවයි; ස්වාමීන්වහන්සේ කාදෙෂ් වනාන්තරය සොලවනසේක.ස්වාමීන්ගේ ශබ්දය මුවදෙනුන් ප්‍රසවයකරවයි, වනය පාළුකරයි. උන්වහන්සේගේ මාලිගාවෙහි සියල්ල: මහිමය වේවා කියයි.
විඩාවූ අයට වචනවලින් පිහිටවෙන්ට දැනගන සිටීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ උගතුන්ගේ දිව මට දී තිබේ. ගෝලයන් මෙන් ඇසීමට උන්වහන්සේ උදයක් පාසා පුබුදුවනසේක, මාගේ කන පුබුදුවනසේක.ස්වාමිවූ දෙවියන්වහන්සේ මාගේ කන පැහැදූසේක, මා කැරළිකාරවුණේවත් පස්සට හැරුණේවත් නැත.
ඔහු බලන පිණිස හැරී යන බව ස්වාමීන්වහන්සේ දුටුකල දෙවියන්වහන්සේ පඳුර මධ්‍යයෙන්: මෝසෙස්, මෝසෙස් කියා ඔහුට හඬගැසූසේක. මම මෙහියයි ඔහු කීවේය.
එවිට මේ මාගේ පුත්‍රයාණෝය, මාගේ තෝරාගත් තැනැත්තේය. මොහුට ඇහුම්කන්දෙන්නැයි වලාකුළෙන් හඬක් නික්මුණේය.
අහස දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශකරයි; ගුවන්තලය උන්වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි.දවාල දවාලට කථාකරයි, රාත්‍රිය රාත්‍රියට ඥානය දක්වයි.කථාවක්වත් වචනයක්වත් නැත; ඒවායේ ශබ්දය නොඇසෙයි.ඒවායේ මායිම පොළොව මුළුල්ලේද ඒවායේ වචන ලෝකයේ කෙළවර දක්වාද පැතිරගියේය. එහි උන්වහන්සේ සූර්යයාට මණ්ඩපයක් පිහිටෙවුසේක.
පියාණෙනි, ඔබගේ නාමය මහිමයට පැමිණෙවුව මැනවයි කීසේක. එවිට: මම එය මහිමයට පැමිණවීමි, නැවතත් මහිමයට පමුණුවන්නෙමියි අහසෙන් හඬක් නික්මුණේය.එබැවින් ළඟ සිටියාවූ ඒ ඇසූ සමූහයා: අහස ගෙරෙවුවේයයි කීවෝය. තවත් සමහරෙක්: දේවදූතයෙක් උන්වහන්සේට කථාකළේයයි කීවෝය.යේසුස්වහන්සේ උත්තරදෙමින්: මේ හඬ මා නිසා නොව නුඹලා නිසා පැමිණියේය.
මේ වනාහි උන්වහන්සේගේ මාර්ගවල අල්පමාත්‍රයක් පමණකි. එයින් අපට ඇසෙන්නේ කෙතරම් හීන් ශබ්දයක්ද! එසේනම් උන්වහන්සේගේ පරාක්‍රමයේ ගර්ජනාව තේරෙන්නේ කාටදැයි කීවේය.
එවිට මහත් සමූහයකුගේ හඬ මෙන්ද බොහෝ ජලඝෝෂාවක් මෙන්ද බලවත් ගර්ජනාවල ශබ්දය මෙන්ද හඬක් මට ඇසුණේය. එනම්: සර්වපරාක්‍රමවූ අපගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ රජකම්කරන බැවින්,
උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ටකරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, ස්වාමීන්ගේ දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
නුමුත් දෙවියන්වහන්සේ ස්වකීය ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන අපට ඒ දේ එළිදරව්කළසේක. මක්නිසාද ආත්මයාණන්වහන්සේ සියලු දේ, එසේය, දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල් විමසනසේක.මනුෂ්‍යයෙකුගේ කාරණා මනුෂ්‍යයා තුළ තිබෙන ඔහුගේ ආත්මය හැර මනුෂ්‍යයන් අතරේ වෙන කවරෙක් දන්නේද? එසේම දෙවියන්වහන්සේගේ කාරණා දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මිස වෙන කිසිවෙක් නොදනියි.නුමුත් දෙවියන්වහන්සේ විසින් අපට දෙන ලද දේ අප විසින් දැනගන්නා පිණිස ලෝකයේ ආත්මය නොව දෙවියන්වහන්සේගෙන් වූ ආත්මය ලැබීමුව.අප විසින් ඒ දේවල් කථාකරන්නෙත් මනුෂ්‍ය ප්‍රඥාව කරණකොටගෙන උගන්වනලද වචනවලින් නොව ආත්මික දේවල් ආත්මික දේ සමඟ සමානකර බලමින් ආත්මයාණන්වහන්සේ විසින් උගන්වනලද වචනවලින්ය.
ප්‍රඥාව වීථියෙහි මොරගසයි; එළිමහන් ස්ථානවල ඇගේ හඬ පවත්වයි;මනුෂ්‍යයන් රැස්වෙන මංසන්ධිවල ඈ කෑගසයි; නුවරට ඇතුල්වෙන දොරටු ළඟ සිට ඇගේ බස් පවසයි.
මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න: අහසේ සිට මා නුඹලා සමඟ කථාකළ බව නුඹලාම දුටුවහුය.
දෙවියන්වහන්සේ, ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකරමින් නැගෙනහිර පටන් බස්නාහිර දක්වා පෘථිවියට හඬගැසූසේක.
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.
නොනැවතී හයියෙන් මොරගසා, හොරණෑවක් මෙන් නුඹේ හඬ නගා, මාගේ සෙනඟට ඔවුන්ගේ වරදවල්ද යාකොබ්ගේ වංශයට ඔවුන්ගේ පව්ද දන්වන්න.
දැනුදු නුඹලා සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්නහුනම් සියලු සෙනඟ අතරෙන් නුඹලා මට අසහාය වස්තුවක් වන්නහුය. මක්නිසාද මුළු පොළොව මාගේය.
ස්වාමීන්ගේ ශබ්දය කිහිරිගස් බිඳියි; එසේය, ස්වාමීන්වහන්සේ ලෙබනොන්හි කිහිරිගස් කැබෙලිකොට බිඳිනසේක.උන්වහන්සේ ඒවා වස්සෙකු මෙන්ද ලෙබනොන් සහ සිරියොන් කඳු තරුණ වල් ගොනෙකු මෙන්ද පෙම්කෙළින්ට සලස්වනසේක.
එබැවින් පිලාත්: එසේවී නම්, නුඹ රජෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම රජෙක්යයි නුඹ කියනවා හරිය. ඒ පිණිස මම ඉපද සිටිමි, මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂිදෙන පිණිසය. සත්‍යයෙන්වූ සියල්ලෝ මාගේ හඬ අසතියි කීසේක.
මක්නිසාද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ විසින් ගෙනයනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද, එපමණ දෙනා දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය.
නුමුත් මා ඔවුන්ට අණකළේ: මාගේ හඬට කීකරුවෙන්න, එවිට මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි, නුඹලාද මාගේ සෙනඟ වන්නහුය. නුඹලාට ශුභසිද්ධවන පිණිස මා නුඹලාට අණකරන්නාවූ මුළු මාර්ගයෙහි හැසිරෙන්නය යන දේය.
එසේවී නුමුත්, උන්වහන්සේ, එනම් සැබෑකමේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මුළු සත්‍යය කරා නුඹලාට මගපෙන්වනසේක. මක්නිසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කථා නොකර, උන්වහන්සේ අසන දේ කියා, පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ප්‍රකාශකරනසේක.
දෙවියන්වහන්සේ ආදි කාලයෙහි බොහෝ කොටස්වලින්ද බොහෝ අන්දම්වලින්ද ප්‍රොපේතවරුන් ලවා පියවරුන්ට කථාකරවා,මේ දවස්වල කෙළවරදී තමන්වහන්සේගේ පුත්‍රයාණන් ලවා අපට කථාකෙරෙවුසේක. උන්වහන්සේව සියල්ලට උරුමක්කාරයා කළසේක, උන්වහන්සේ කරණකොටගෙන ලෝකවල් සෑදූසේක.
මෝසෙස් අවුත් ස්වාමීන්වහන්සේගේ සියලු වචනද විනිශ්චයයන්ද සෙනඟට කියා දුන්නේය. මුළු සෙනඟ එක හඬින් උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ කී සියල්ල කරන්නෙමුයයි කීවෝය.
මෝසෙස් සියලු ඉශ්‍රායෙල්වරුන් කැඳවා ඔවුන්ට කථාකොට: එම්බා ඉශ්‍රායෙල්වරුනි, අද නුඹලා අසාගන සිටියදී මා කියන පනත්ද විනිශ්චයවල්ද අසන්න; නුඹලා ඒවා ඉගෙනගෙන ඒවා කරන්ට බලාගන්න.
ඔහු කථාකරද්දීම දීප්තිමත් වලාපටලයක් ඔවුන් මත්තෙහි පැතිර තිබුණේය. බලව, මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි; මොහුට ඇහුම්කන්දෙව්යයි වලාපටලයෙන් හඬක් විය.
එව්, නමස්කාරකරමින් වැඳමී වැටෙමු; අපේ මැවුම්කාර ස්වාමින් ඉදිරියේ දණගසමු.මක්නිසාද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේගේ ගොදුරු බිමේ සෙනඟය, උන්වහන්සේගේ අතේ බැටළුවෝය. අද දවසේ නුඹලා උන්වහන්සේගේ හඬට කීකරුවන්නහුනම් යහපත!
මාගේ වචනය ගින්නක් මෙන්ද පර්වතය පොඩිකරන කුළුගෙඩියක් මෙන්ද නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
තවද මේ ගාලට අයිති නොවූ වෙනත් බැටළුවෝ මට ඇත්තාහ. ඔවුන්ද මා විසින් ගෙනෙන්ට ඕනෑය, ඔව්හු මාගේ හඬ අසන්නෝය; එසේ එක රැළක්ද එක එඬේරෙක්ද වන්නාහ.
මා සමාන අනාගතවක්තෘකෙනෙකු නුඹලා අතරෙන් නුඹේ සහෝදරයන්ගෙන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට නැගුටුවා දෙනවා ඇත; නුඹලා එතුමාට ඇහුම්කන් දෙන්නහුය.
දෙවියන්වහන්සේ එක් වරක් කීසේක, මම මෙය දෙවරක් ඇසීමි; එනම් බලය දෙවියන්වහන්සේට අයිති බවත්,
ප්‍රඥාතොමෝ මොර නොගසන්නීද? ඥානයද ඇගේ හඬ නොනගින්නීද?ඈ මග අසල උස් තැන්වල මුදුනෙත් මංසන්ධිවලත් සිටින්නීය;නගරයට පැමිණෙන වාසල් ළඟත් පිවිසෙන දොරවලත් ඈ ශබ්දනගා කියන්නී:මනුෂ්‍යයෙනි, නුඹලාට අඬගසමි; මනුෂ්‍ය පුත්‍රයන්ට මාගේ හඬ පවත්වමි.
මක්නිසාද නුඹලා කුණුවෙන්නාවූ බීජවලින් නොව දෙවියන්වහන්සේගේ ජීවමානවූ පවතින්නාවූ වචනය කරණකොටගෙන, කුණු නොවෙන්නාවූ බීජවලින් නැවත උත්පාදකරනු ලැබුවහුය.
දෙවියන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය; අලුයම ඔබ සොයන්නෙමි. වතුර නැති, වියලුණ, වෙහෙස උපදවන්නාවූ දේශයකදී මාගේ ආත්මය ඔබ කෙරෙහි පිපාසා ඇත්තේය, මාගේ මාංසය ඔබ කෙරෙහි ආශා ඇත්තේය.මෙසේ ඔබගේ බලයත් ඔබගේ මහිමයත් දකින පිණිස ශුද්ධස්ථානයේදී ඔබ දෙස බලා සිටියෙමි.
සියලු දණහිස් මට නැමෙනවා ඇත. සියලු දිව්ද මා ගැන දිවුරනවා ඇත කියා මම මා ගැනම දිවුළෙමි, අවලංගු නොවන ධර්මිෂ්ඨකමේ වචනයක් මාගේ මුඛයෙන් නික්මුණේය.
උන්වහන්සේ උත්තරදෙමින්: මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේයයි කීසේක.
ස්වාමීන්වහන්සේ පුරාණයේදී මට ප්‍රකාශවී–එසේය, සදාකාල ප්‍රේමයකින් නුඹට ප්‍රේමකෙළෙමි. එබැවින් දයාබරකමින් නුඹ ඇදගතිමියි කීසේක.
නුමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියනලද සියල්ල නුඹලාට සිහිකරවනසේක.
ප්‍රීතිමත් හඬ දන්නාවූ සෙනඟ ආශීර්වාදලද්දෝය. ස්වාමිනි, ඔව්හු ඔබගේ මුහුණේ එළියෙහි හැසිරෙති.
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නුඹලා මේක දන්නහුය. නුමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.
මාගේ පුත්‍රය, මාගේ වචනවලට ඇහුම්කන්දී, මාගේ කීම්වලට නුඹේ කන නමන්න.ඒවා නුඹේ ඇස් ඉදිරියෙන් පහ නොවේවා; නුඹේ සිත තුළ ඒවා තබාගන්න.
එබැවින් ශුද්ධාත්මයාණන්වහන්සේ කථාකොට: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම්,කාන්තාරයේදී පරීක්ෂාකිරීමේ දවසේ උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩිකර නොගන්න.
ඔහු මොර නොගසන්නේය. ස්වකීය හඬ නොනගන්නේය, වීථියෙහි එය ඇසෙන්ට නොදෙන්නේය.ඔහු තැළුණු බටලීයක් නොබිඳින්නේය, දුම්ගහන පහන්තිරයක් නොනිවන්නේය. ඔහු සැබෑවෙන් විනිශ්චය ප්‍රකාශකරන්නේය.
උන්වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය.අප යම් දෙයක් ඉල්ලන කල උන්වහන්සේ අසන බව අපි දනිමු නම්, අප උන්වහන්සේගෙන් ඉල්ලූ දේ අපට ලැබෙන බව දනිමුව.
නුඹේ මිදුම්කාරයාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මමය.අනේ, නුඹ මාගේ ආඥාවලට ඇහුම්කන්දුන්නා නම් නුඹේ සමාදානය ගංගාවක් මෙන්ද නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.
මා කියන දේ නොකර: ස්වාමීනි, ස්වාමීනියි මට කියන්නේ මක්නිසාද?මා ළඟට ඇවිත්, මාගේ වචන අසා, ඒවා පවත්වන අය කාට සමානදැයි නුඹලාට පෙන්වමි:
සියල්ලෝම දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝයයි අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවල ලියා තිබේ. පියාණන්වහන්සේගෙන් අසා ඉගෙනගත් සියල්ලෝම මා ළඟට එති.
නුඹ දෙවියන්වහන්සේගේ ගෘහයට යන විට නුඹේ පාද බලාගන්න; අඥානයන් මෙන් පූජා ඔප්පුකිරීමට වඩා අසන්ට ළංවීම හොඳය. මක්නිසාද තමුන් නපුර කරන බව ඔව්හු නොදනිති.නුඹේ මුඛයෙන් ඉක්මන්කාර නොවෙන්න, නුඹේ සිතද දෙවියන්වහන්සේ ඉදිරියෙහි කාරණයක් නිකුත්කරන්ට ඉක්මන් නොවේවා; මක්නිසාද දෙවියන්වහන්සේ ස්වර්ගයෙහිය, නුඹ පොළොවෙහිය; ඒ නිසා නුඹේ වචන ස්වල්ප වේවා.
එසේහෙයින් නුඹලා පණිවිඩයේ වචනය, එනම් දෙවියන්වහන්සේගේ වචනය අපෙන් ලැබූ කල, නුඹලා පිළිගත්තේ මනුෂ්‍යයන්ගේ වචනය නොව ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ වචනයව තිබෙන්නාවූ, අදහන නුඹලා තුළ ක්‍රියාද කරන්නාවූ වචනය බැවින්, අපිත් නොකඩව දෙවියන්වහන්සේට ස්තුතිකරමුව.
ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට ශක්තිය දෙනසේක; ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට සමාදානයෙන් ආශීර්වාද කරනසේක.