මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.
නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.
ස්වාමීන්වහන්සේ මාගේ පර්වතයය, මාගේ බලකොටුවය, මාගේ මිදුම්කාරයාණෝය; මාගේ දෙවියන්වහන්සේය, මාගේ ශක්තිමත් පර්වතයය, උන්වහන්සේ සරණ කොට ගන්නෙමි; උන්වහන්සේ මාගේ පලිහය, මාගේ ගැළවීමේ අඟය, මාගේ උස් කොටුවය.
මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.
මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවය; මම නොසෙල්වන්නෙමි.
එපමණකුත් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ලද, ඉවසිල්ලෙන් සහතිකකමද සහතිකකමෙන් බලාපොරොත්තුවීමද උපදින බව දැන, අප විඳින පීඩාවලදීත් ප්‍රීතිමත්වෙමු.
මාගේ සහෝදරයෙනි, නුඹලාගේ ඇදහිල්ල සෝදිසිකිරීමෙන් ක්ෂාන්තිගුණය උපදින බව දැන, මක්නිසාද මනුෂ්‍යයාගේ උදහසින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය. එහෙයින් සියලු කිලුටුකමද අධික දුෂ්ටකමද පහකොට, නුඹලාගේ ප්‍රාණ ගළවන්ට පුළුවන්වූ, පිහිටුවනලද වචනය මෘදුකමින් යුක්තව පිළිගන්න. නුමුත් නුඹලාම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න. මක්නිසාද යමෙක් වචනය අසන නුමුත් එය පිළිපදින්නේ නැත්නම්, ඔහු කැඩපතකින් තමාගේ ස්වාභාවික මුහුණ බලන මනුෂ්‍යයෙකුට සමානය. මක්නිසාද ඔහු තමාම බලාගනිමින් සිට අහක්ව ගිය කල, තමා කෙබඳු මනුෂ්‍යයෙක්ව සිටියේදැයි එවෙල්ම මතක නැතිකරයි. නුමුත් නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගන, මතක නැතිකරන අසන්නෙක් නොවී, ක්‍රියාකරන කෙනෙක්ව, එසේ පවතින්නාවූ තැනැත්තේම තමාගේ ක්‍රියාකිරීමෙහිදී ආශීර්වාද ලබන්නේය. යමෙක් තමාගේ දිව යටත්කර නොගෙන, තමාගේ සිත රවටාගනිමින්, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහුගේ භක්තිය හිස්ය. අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදුවූ නොකිලුටුවූ භක්තිය නම්, මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීමත්, ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම ආරක්ෂාකරගැනීමත්ය. අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල, ඒ සියල්ල ප්‍රීතියක්යයි සිතන්න. නුමුත් නුඹලා කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පූර්ණව සිටින පිණිස ක්ෂාන්තිගුණය සම්පූර්ණලෙස ක්‍රියාකෙරේවා.
ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණකරනසේක්වා.
ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.
නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ. මෙසේ: ස්වාමීන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමුව.
ඔබගේ මාර්ගය ස්වාමීන්ට භාරදෙව; උන්වහන්සේ කෙරෙහි විශ්වාසයද තබව, උන්වහන්සේ එය ඉෂ්ටකරනසේක.
නිතරම ප්‍රීතිවෙන්න; නොකඩව යාච්ඤාකරන්න; සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය.
අපි හැම අතින්ම මඩිනු ලබමුව. එහෙත් හිර නොවී සිටිමුව; වියවුල්ව සිටිමුව, එහෙත් බලාපොරොත්තුවක් නැතුව නොවේය; ලුහුබඳිනු ලබමුව, එහෙත් අත්හරිනු නොලබමුව; හෙළා දමනු ලබමුව, එහෙත් විනාශ නොවී සිටිමුව.
නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.
ස්වාමීන්වහන්සේ මාගේ ආලෝකයත් ගැළවීමත්ය; මම කාට භයවන්නෙම්ද? ස්වාමීන්වහන්සේ මාගේ ජීවිතයේ ශක්තියය; මම කාට භීතවන්නෙම්ද?
උන්වහන්සේ මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය; මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන් ගැන කියන්නෙමි.
භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.
මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.
එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය. ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ.
තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.
මා විසින් නුඹට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීසේක.
නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.
නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.
උන්වහන්සේද: මාගේ කරුණාව නුඹට සෑහේය. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණවෙන්නේයයි මට කීසේක. එබැවින් ක්‍රිස්තුස්වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටුකරන්නෙමි.
එබැවින් මහත් විපාකයක් ඇත්තාවූ නුඹලාගේ නිසැකකම අත් නාරින්න. මක්නිසාද දෙවියන්වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල ඕනෑය.
නුඹේ බර ස්වාමීන් පිට තබව, උන්වහන්සේ නුඹ උසුලනසේක. උන්වහන්සේ කිසිකලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙනසේක.
නුඹ ජල මැදින් යන විට මම නුඹ සමඟ සිටින්නෙමි; නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලායන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නෙහිය; ගිනිදැල්ල නුඹ කෙරෙහි නොඇවිළෙන්නේය.
මම වනාහි ස්වාමීන්වහන්සේ දෙස බලා සිට, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවන්නෙමි. මාගේ දෙවියන්වහන්සේ මාගේ වචන අසනවා ඇත.
උන්වහන්සේ කියනසේක්: නුඹලාගේ ඇදහිල්ලේ මදිකම නිසාය. සැබවක් නුඹලාට කියමි–අබ ඇටයක් පමණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ කන්දට කථාකොට: මෙතැනින් අහක්ව, එතැනට යවයි කීවත් ඒක යන්නේය;
ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකොට, ස්වාමීන්වහන්සේ තමාගේ විශ්වාසය කොට තබාගෙන සිටින මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. මක්නිසාද ඔහු ජලය ළඟ හිටවා තිබෙන්නාවූ, ගඟ ළඟ මුල් අදින්නාවූ, ග්‍රීෂ්මය පැමිණෙන විට එය නොදැනෙන්නාවූ, කොළ නොවේළෙන්නාවූ, නියං අවුරුද්දේදී නොමැලවෙන්නාවූ, ඵල දැරීමෙන් තොර නොවෙන්නාවූ ගහකට සමානවන්නේය.
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් බලවත් නිසැකකමක් තිබේ; එසේ භයවන්නන්ගේ දරුවන්ට රක්ෂාස්ථානයක් ලැබේ.
ස්වාමීන්වහන්සේ නිතරම නුඹට මගපෙන්වා, වියළි තැන්වලදී නුඹේ ප්‍රාණය තෘප්තියට පමුණුවා, නුඹේ ඇටද ශක්තිමත්කරනසේක; නුඹ වතුර ඇති උයනක් මෙන්ද දිය සිදී නොයන උල්පතක් මෙන්ද වන්නෙහිය.
මක්නිසාද දෙවියන්වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එය ලෝකයෙන් ජයගන්නේය. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය.
නිශ්චලවව්, මා දෙවියන්වහන්සේ බව දැනගනිව්. ජාතීන් අතරේ උසස්වන්නෙමි, පොළොවෙහි උසස්වන්නෙමි.
නුමුත් ස්වාමීන්වහන්සේ විශ්වාසව සිටිනසේක, උන්වහන්සේ නුඹලා ස්ථිරකොට නපුරාගෙන් ආරක්ෂාකරනසේක.
එබැවින් හෙට දවස ගැන කනස්සලු නොවෙන්න. හෙට දවස ඒ ගැනම කරදරවන්නේය. දවසේ කරදරය ඒ දවසට සෑහෙයි.
ස්වාමීන් නිතර මා ඉදිරියෙහි තබාගතිමි. උන්වහන්සේ මාගේ දකුණු පැත්තෙහි සිටින බැවින් මම නොසෙල්වන්නෙමි.
මාගේ දෙවියන්වහන්සේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණකරනසේක.
මක්නිසාද විපත්ති දවසේදී උන්වහන්සේ ස්වකීය විමානයෙහි මා වසා තබනසේක, ස්වකීය මණ්ඩපයෙහි වූ අප්‍රකාශ ස්ථානයෙහි මා සඟවනසේක; උන්වහන්සේ පර්වතයක් පිට මා ඔසවා තබනසේක.
යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මේ යුද්ධයේදී නුඹලා සටන්කරන්ට ඕනෑ නැත. සැරසී නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන ගැළවීම බලාසිටින්න. ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ සිටින නිසා භයනොවී, නොකැලඹී, හෙට ඔවුන් වෙතට පිටත්ව යන්නය කියා වදාරනසේකැයි කීවේය.
යෙරුසලම හාත්පස කඳු තිබෙන්නාක්මෙන්, දැන් පටන් සදාකල්ම, ස්වාමීන්වහන්සේ ස්වකීය සෙනඟ හාත්පසින් සිටිනසේක.
ස්ත්‍රියෙක් ඇගේම කුසේ පුත්‍රයාට අනුකම්පා නොකරන ලෙස ඇගේ කිරි දරුවා මතකනැතිකරන්ට ඈට පුළුවන්ද? එසේය, මොවුන්ට මතකනැතිවෙන්ට පුළුවන, එහෙත් මම නම් නුඹ මතකනැති නොකරන්නෙමි. බලව, මම මාගේ අතුල්වල නුඹ කොටාගතිමි; නුඹේ පවුරු මා ඉදිරියේ නිතරම තිබේ.
කනස්සලුවීමෙන් තමාගේ උසට එක රියනක්වත් වැඩිකරගන්ට නුඹලා අතරෙන් කවරෙකුට පුළුවන්ද? ඉඳින් සුළු දෙයක්වත් කරගන්ට නුඹලාට බැරි නම්, නුඹලා අනික් කාරණා ගැන කනස්සලුවන්නේ මක්නිසාද?
දෙවියන්වහන්ස, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකොට, මාගේ සිතිවිලි දැනගත මැනව. යම් නපුරු මාර්ගයක් මා තුළේ ඇද්දැයි බලා, සදාකාල මාර්ගයෙහි මා ගෙනගිය මැනව.
එවිට ඔහු ඔවුන්ට කථාකොට: නුඹලා ගොස් රසවත් දේවල් කා, මිහිරි පානය බී, කිසිවක් සූදානම්කර නොගත් අයට කොටස් යවන්න. මක්නිසාද අද දවස අපේ ස්වාමීන්වහන්සේට ශුද්ධය. ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තියය, එබැවින් ශෝක නොවෙන්නැයි කීවේය.
ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි. ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.
මාගේ ශක්තියද ගීතිකාවද ස්වාමීන්වහන්සේය, උන්වහන්සේ මාගේ ගැළවීම වූසේක. මේ මාගේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ වර්ණනාකරන්නෙමි; මාගේ පියාණන්ගේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ උසස්කරන්නෙමි.
ඔහු වැටෙන නුමුත් සහමුලින්ම හෙළනු නොලබන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය හස්තයෙන් ඔහුට ආධාරකරන සේක.
එහෙත් උන්වහන්සේ මා යන මාර්ගය දන්නාසේක; උන්වහන්සේ මා පරීක්ෂාකළ කල්හි මම රන් මෙන් නික්ම එන්නෙමි.
දාවිත් තද අමාරුවට පත්විය; මක්නිසාද මුළු සෙනඟගේ සිත් තම තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගැන ශෝකවුණ බැවින් ඔහුට ගල්ගසන්ට සෙනඟ කථාකළෝය. නුමුත් දාවිත් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ ශක්තිය උපදවාගත්තේය.
මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මට උපකාරවනසේක; එබැවින් වියවුල් නොවෙමි. එබැවින් මාගේ මුහුණ ගිනිගලක් මෙන් තබාගන සිටිමි, මා ලජ්ජාවට නොපැමිණෙන බව දනිමි.
යේසුස්වහන්සේ ඔවුන් දෙස බලමින්: ඒක මනුෂ්‍යයන්ට නම් නුපුළුවන; නුමුත් දෙවියන්වහන්සේට සියල්ලම පුළුවනැයි කීසේක.
පියෙක් තම දරුවන්ට අනුකම්පා කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ට අනුකම්පා කරනසේක. මක්නිසාද උන්වහන්සේ අපේ ස්වභාවය දන්නාසේක; අප ධූලි බව උන්වහන්සේ සිහිකරනසේක.
එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු.
මක්නිසාද කඳු පහවයන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය; නුමුත් මාගේ කරුණාව නම් නුඹෙන් පහ නොවන්නේය, මාගේ සමාදාන ගිවිසුමද සොලවනු නොලබන්නේයයි නුඹට අනුකම්පාකරන ස්වාමීන්වහන්සේ කියනසේක.
ප්‍රේමවන්තයෙනි, නුඹලා සෝදිසි කිරීම පිණිස පැමිණෙන නුඹලා අතරේ තිබෙන ගිනිමය පීඩාව ගැන අපූර්ව කාරණාවක් නුඹලාට සිද්ධවෙන්නාක් මෙන් පුදුම නොවෙන්න. නුමුත් ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ එළිදරව්වීමේදීත් නුඹලා ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන පිණිස උන්වහන්සේගේ දුක් විඳීමෙහි නුඹලා පංගුකාරයන් වන ප්‍රමාණයට ප්‍රීතිවෙන්න.
ස්වාමීන් කෙරෙහි බලාසිටුව. ශක්තිමත් වෙව, ඔබ්ගේ සිත ධෛර්යමත් වේවා; එසේය, ස්වාමීන් කෙරෙහි බලාසිටින්න.
එසේවී නම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන්වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම්, අපට විරුද්ධවෙන්නේ කවුද?
අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය. ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ; ඔබගේ විශ්වාසකම මහත්ය.
එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු. මක්නිසාද ඔව්හු ඇත්තෙන්ම තමුන්ට යහපත්ව පෙනුණු ලෙස ස්වල්ප දවසකට දඬුවම්කළෝය; නුමුත් උන්වහන්සේ තමන්ගේ ශුද්ධකමට අප පංගුකාරයන් වන පිණිස අපේ ප්‍රයෝජනය සඳහා දඬුවම්කරනසේක. කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේය. එබැවින් හෙළා තිබෙන අත්ද බෙලහීන දණහිස්ද සවිකරගන්න. කොර කකුල් අහක්කරනු නොලැබ, සුවවෙන පිණිස, නුඹලාගේ පාදවලට සමතලා පාරවල් සාදාගන්න. සියල්ලන් සමඟ සමාදානයෙන් සිටින්ටත්, ශුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමීන්වහන්සේ නොදක්නා බැවින් ශුද්ධකම අනුවයන්ටත් උත්සාහකරන්න. කිසිවෙක් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද, තික්තකමේ මුලක් හටගෙන එයින් නුඹලා කලඹා බොහෝ දෙනෙක් කිලුටු නොවන පිණිසද, වේශ්‍යාකම්කරන්නෙක්වත් කෑම ටිකකට තමාගේ කුලුඳුල්කම වික්කාවූ ඒසව් මෙන් දේව අභක්තිකයෙක්වත් නොසිටින පිණිසද බලාගන්න. මක්නිසාද පසුව ඔහු ආශීර්වාදය උරුමකරගන්ට කැමතිවුණ නුමුත් ඔහු එපාකරනු ලැබූ බව නුඹලා දනිහුය; මක්නිසාද ඔහු කඳුළෙන් යුක්තව ඕනෑකමින් එය සෙවූ නුමුත්, වෙනස්කිරීමට ඉඩක් ලැබුණේ නැත. තවද නුඹලා ළඟාවී සිටින්නේ ස්පර්ශකරන්ට පුළුවන්වූ ගින්නෙන් ඇවිළෙන්නාවූ කන්දකටත් කළුවරකමටත් අන්ධකාරයටත් කුණාටුවටත්, හොරණෑවක ශබ්දයටත් වචනවල හඬටත් නොවේය; ඒ හඬ ඇසූ අය තවත් තමුන්ට කථා නොකරන ලෙස ඉල්ලා සිටියෝය. උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක.
මක්නිසාද උන්වහන්සේගේ උදහස ඇසිල්ලකට පමණය; උන්වහන්සේගේ කරුණාව දිවිහිම් කොටය. රාත්‍රියේ හැඬීම පවතින නුමුත්, උදය ප්‍රීතිය පැමිණෙන්නේය.
බලව, දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය; මම විශ්වාසකරමි, භය නොවන්නෙමි. මක්නිසාද ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මගේ සවියත් ගීතිකාවත්ය; උන්වහන්සේ මාගේ ගැළවීම වූසේකැයි කියන්නෙහිය.
ඕනෑව තිබෙන විට නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නුමුත්, ඒ ගැළවීම ගැන නුඹලා ඉතා ප්‍රීතිවන්නහුය. එසේ ශෝකයට පත්වන්නේ නාස්තිවී යන්නාවූ, එසේද වුවත් ගින්නෙන් සෝදිසිකරන්නාවූ රනට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂාකිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය.
මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති.
කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කොතැනින්ද? මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැවූ ස්වාමීන්ගෙන්මය.
මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි, නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.
නුමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ.
මක්නිසාද මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව්කරනු ලබන්නාවූ මහිමයට සමාන කරනු ලබන්ට නොවටීයයි සිතමි.
ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න, ඔවුන් ගැන භයනොවන්න, තැතිනොගන්න. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේම නුඹ සමඟ යනසේක; උන්වහන්සේ නුඹෙන් අහක්ව යන්නේවත් නුඹ අත්හරින්නේවත් නැතැයි කීවේය.
නුඹලා තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණකරනසේකැයි යන මේ විශ්වාසය ඇතිව සිටිමි.
මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම: භය නොවෙන්න, මම නුඹට පිහිටවන්නෙමියි කියමින් නුඹේ දකුණත අල්ලන්නෙමි.
ඔබට උගන්වන්නෙමි, ඔබ විසින් යායුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස ඔබ කෙරේ යොමුකොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි.
දයාබර කරුණාවල පියවූද සෑම සැනසිල්ලේ දෙවිවූද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. අපි දෙවියන්වහන්සේගෙන් යම් සැනසිල්ලක් ලැබුවෙමුද, ඒ සැනසිල්ල කරණකොටගෙන කොයි පීඩාවක් නුමුත් විඳින්නන් සනසන්ට අපට පුළුවන්වන පිණිස උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනසනසේක.
සහෝදරයෙනි, මම තවමත් අල්ලාගත්තෙමියි නොසිතමි. නුමුත් එකක් කරමි, එනම්, පස්සෙන් තිබෙන දේ මතකනැතිකොට, ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගන යමින්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි.