ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ කර ඇති ලොකු කුඩා සියලු දේවල් ගැන මොහොතක් සිතන්න. උන්වහන්සේගේ ප්‍රේමය හා ආරක්ෂාව දිනපතා අත්විඳින ඔබට, ස්තුති ප්‍රශංසා කිරීමට හේතු කොයි තරම් නම් තියෙනවාද? දෙවියන් වහන්සේ ඔබේ හදවතින් නැඟෙන සැබෑ, නිර්මල ස්තුතියට කොතරම් ප්‍රිය කරනවාද කියලා ඔබ දන්නවාද?
ඔබේ ස්තුතිය තුළින් ආශ්චර්යයන් සිදු වෙනවා. සුවය ලැබෙනවා. නිදහස ලැබෙනවා. ඔබව මැවූ දා සිට අද දක්වාම, දෙවියන් වහන්සේ ඔබට කොතරම් විශ්වාසවන්තව ඔබව රැකබලා ගෙන ඇත්ද? උන්වහන්සේ යහපත් බවත්, උන්වහන්සේගේ කරුණාව හැම උදෑසනකම අලුත් වන බවත් සිහි කරමින් උන්වහන්සේට ස්තුති කරන්න. "මාගේ මුඛය ඔබගේ ප්‍රශංසාවෙන්ද මුළු දවසම ඔබගේ මහිමයෙන්ද පිරී යේවා" (ගීතාවලිය 71:8) කියලා බයිබලයේ කියනවා වගේ, උන්වහන්සේගේ යහපත්කමට ස්තුති කරන්න පටන් ගන්න, එතකොට ඔබේ හදවතින්ම නැඟෙන ස්තුතියෙන් උන්වහන්සේ ඔබේ මුව පුරවනවා.
"එබැවින් මාගේ ගෞරවය වන ඔබට මම ගීත ගායනා කරන්නෙමි. මම නිශ්ශබ්දව නොසිටින්නෙමි. මාගේ දෙවි සමිඳුනි, මම සදාකාලයටම ඔබට ස්තුති කරන්නෙමි" (ගීතාවලිය 30:12). ඔබත් මේ වගේ හදවතින්ම දෙවියන් වහන්සේට ස්තුති කරන්න පටන් ගන්න.
ස්තුතිකරමින් උන්වහන්සේගේ දොරටුවලින් ඇතුල්ව, ප්‍රශංසාකරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණෙව්. උන්වහන්සේට ස්තුතිකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්.
නුමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී, ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කථාකොට, නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේට ගායනාද ගීතිකාද කරමින්, ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් ප්‍රේමයෙන් හැසිරින්න. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පියවූ දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්න.
එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.
දිවිහිමියෙන් ස්වාමීන්ට ප්‍රශංසාකරන්නෙමි. මා පවතින තුරු මාගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.
එව්, ස්වාමීන්ට ගායනා කරමු. අපේ ගැළවීමේ පර්වතයට ප්‍රීති ඝෝෂා පවත්වමු. මම සතළිස් අවුරුද්දක් ඒ පරම්පරාව කෙරෙහි කලකිරී: ඔව්හු සිතින් මුළාවයන සෙනඟක්ය, ඔව්හු මාගේ මාර්ගයන් දැන නොගත්තෝයයි කීයෙමි. එබැවින්: ඔව්හු මා දෙන නිවාඩුවට නොපැමිණෙන්නෝයයි මාගේ උදහසින් දිවුළෙමි. ස්තුතිදෙමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙමු. ගීතිකාවලින් උන්වහන්සේට ප්‍රීතිනාද පවත්වමු.
ස්වාමීන්ට ප්‍රශංසාකරව්. දෙවියන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහිදී උන්වහන්සේට ප්‍රශංසාකරව්. උන්වහන්සේගේ බල පවත්නා අහස් තලයෙහි උන්වහන්සේට ප්‍රශංසාකරව්. උන්වහන්සේගේ බලවත් ක්‍රියා නිසා උන්වහන්සේට ප්‍රශංසාකරව්. උන්වහන්සේගේ මහෝත්තමභාවය පරිද්දෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්.
ස්වාමීන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය; මම ඔබ උසස්කොට ඔබගේ නාමයට ප්‍රශංසා කරන්නෙමි; මක්නිසාද ඔබ පුදුම දේ එනම් පුරාතන මන්ත්‍රණ විශ්වාසයෙන්ද සැබෑකමෙන්ද ඉෂ්ටකළසේක.
මාගේ දෙවිවූ රජ්ජුරුවන්වහන්ස, ඔබ උසස්කරන්නෙමි; ඔබගේ නාමයට සදාකාලේටම ප්‍රශංසාකරන්නෙමි. ස්වාමිනි, ඔබගේ සියලු කර්මාන්තයෝ ඔබට ස්තුතිකරන්නෝය; ඔබගේ ශුද්ධවන්තයෝද ඔබට ප්‍රශංසාකරන්නෝය. දෙවියන්හන්සේගේ බලවත් ක්‍රියාත් උන්වහන්සේගේ රාජ්‍යයේ තේජෝමහිමයත් මනුෂ්‍ය පුත්‍රයන්ට දන්වන පිණිස, ඔව්හු ඔබගේ රාජ්‍යයේ මහිමය වර්ණනාකරන්නෝය, ඔබගේ බලය ගැනද කථාකරන්නෝය. ඔබගේ රාජ්‍යය සදාකාලික රාජ්‍යයක්ය, ඔබගේ අධිපතිකමද සියලු පරම්පරාවලම පවත්නේය. ස්වාමීන්වහන්සේ වැටෙන සියල්ලන්ට ආධාරසේක, නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවනසේක. සියල්ලන්ගේ ඇස් ඔබ දෙස යොමුකර තිබේ; ඔබද සුදුසු කාලයේ ඔවුන්ට කෑම දෙනසේක. ඔබ ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරනසේක. ස්වාමීන්වහන්සේ ස්වකීය සියලු මාර්ගයන්හි ධර්මිෂ්ඨය, ස්වකීය සියලු ක්‍රියාවලින් දයාවන්තය. ස්වාමීන්වහන්සේ තමන්ට යාච්ඤාකරන සියල්ලන්ට, එනම් සැබවින් උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන්ට, ළංව සිටිනසේක. උන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ගේ ආශාව ඉෂ්ටකරදෙන සේක; ඔවුන්ගේ මොරගැසීම අසා ඔවුන් ගළවනසේක. සෑමදාම ඔබට ප්‍රශංසාකරන්නෙමි; සදාකාලේටම ඔබගේ නාමය වර්ණනා කරන්නෙමි.
ස්වාමීන්ට ප්‍රශංසාකරව්; මක්නිසාද අපේ දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී කීම යහපත්ය. එයින් ප්‍රීතිය උපදනේය, ප්‍රශංසාකිරීම හොබනේය.
මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසා කරව; මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ප්‍රශංසාකරව්. උන්වහන්සේ අපේ පාපවල ප්‍රකාරයට අප කෙරෙහි ක්‍රියා නොකළසේක, අපේ අයුතුකම්වල ප්‍රකාරයට විපාක නුදුන්සේක. මක්නිසාද පොළොවට උඩින් අහස උස්ව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට උන්වහන්සේගේ කරුණාව මහත්ය. නැගෙනහිර බස්නාහිරෙන් දුරව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ අපේ වරද අපෙන් දුරුකළසේක. පියෙක් තම දරුවන්ට අනුකම්පා කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ට අනුකම්පා කරනසේක. මක්නිසාද උන්වහන්සේ අපේ ස්වභාවය දන්නාසේක; අප ධූලි බව උන්වහන්සේ සිහිකරනසේක. මනුෂ්‍යයාගේ දවස් වනාහි තණකොළ මෙන්ය; ඔහු කෙතේ මලක් මෙන් සශ්‍රීකවේ. මක්නිසාද හුළඟ වැදී එය නැතිවී යයි; එය තිබුණු ස්ථානයද තවත් එය දැනනොගන්නේය. නුමුත් ස්වාමීන්වහන්සේගේ කරුණාව තමන්ට භය ඇත්තන් කෙරෙහි සදාකාලයෙන් සදාකාලයටද, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දරුවන්ගේ දරුවන්ටද පවත්නේය. එනම් උන්වහන්සේගේ ගිවිසුම රක්ෂාකරන්නන්ටත් උන්වහන්සේගේ ශික්ෂා ඉෂ්ටකිරීම පිණිස ඒවා සිහිකරන්නන්ටත්ය. ස්වාමීන්වහන්සේ තමන් සිංහාසනය ස්වර්ගයෙහි පිහිටෙවුසේක; උන්වහන්සේගේ රාජ්‍යයද සියල්ල කෙරෙහි බලපවත්වයි. මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසා කරව, උන්වහන්සේගේ උපකාර සියල්ල සිහිනැති නොකරව.
දිවි ඇති තාක් ස්වාමීන්ට ගී කියන්නෙමි. මා පවතින තෙක් මාගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි. මාගේ භාවනාව උන්වහන්සේට මිහිරි වේවා. මම ස්වාමීන් කෙරෙහි ප්‍රීතිවන්නෙමි.
නිතරම ප්‍රීතිවෙන්න; නොකඩව යාච්ඤාකරන්න; සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය.
මක්නිසාද ඔබගේ කරුණාගුණය ජීවිතයට වඩා යහපත; මාගේ තොල් ඔබට ප්‍රශංසාකරන්නේය. මෙසේ මම ජීවත්ව සිටින තෙක් ඔබට ප්‍රශංසාකරන්නෙමි. ඔබගේ නාමයෙන් මාගේ අත් ඔසවන්නෙමි.
ස්වාමීන්ට අලුත් ගීතිකාවක් ගීතිකාකරව්; පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ගීතිකාකරව්. ස්වාමීන්වහන්සේ රජකම්කරනසේක කියාත්, නොසෙලවෙන ලෙස ලෝකය පිහිටා තිබේය කියාත්, උන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන් සාධාරණකමින් විනිශ්චයකරනසේක කියාත් ජාතීන් අතරේ කියව්. ආකාශය සන්තෝෂවේවා, පොළොව ප්‍රීතිවේවා; මුහුදත් එහි පූර්ණකමත් ගර්ජනාකෙරෙත්වා; කෙත සහ එහි ඇති සියල්ලද ප්‍රීතිමත් වේවා; එවිට වනයෙහි සියලු ගස් ස්වාමීන් ඉදිරියෙහි ප්‍රීතියෙන් ගී කියන්නේය. මක්නිසාද උන්වහන්සේ එනසේක; පොළොව විනිශ්චයකරන පිණිස එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් පොළොවද, ස්වකීය සැබෑකමින් මනුෂ්‍ය වර්ගයන්ද විනිශ්චයකරනසේක. ස්වාමීන්ට ගීතිකාකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්; උන්වහන්සේ දෙන ගැළවීම දිනෙන් දින ප්‍රකාශකරව්.
සියලු ජාතීනි, ස්වාමීන්ට ප්‍රශංසාකරව්; සියලු මනුෂ්‍ය වර්ගයෙනි, උන්වහන්සේ වර්ණනාකරව්. මක්නිසාද අප කෙරෙහි උන්වහන්සේගේ කරුණාව මහත්ය; ස්වාමීන්ගේ සැබෑකම සදාකාලයට පවත්නේය. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
අපගේ ස්වාමීන්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේයයි කියති.
ඒ දවසෙහි නුඹලා කථාකොට: ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරන්න, උන්වහන්සේගේ ක්‍රියා ජනයන් අතරේ දන්වා, උන්වහන්සේගේ නාමය උසස් බව සඳහන්කරන්න. ස්වාමීන්වහන්සේට ගායනාකරන්න; මක්නිසාද උන්වහන්සේ උතුම් දේ කළසේක. මේ බව මුළු පොළොවෙහි දන්වනු ලැබේවයි කියන්නහුය.
ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසයකෙරේවා. නුඹලා ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට උගන්වමින්, දැනමුතුකම් දෙමින්, නුඹලාගේ සිත්වල අනුග්‍රහය ඇතුව දෙවියන්වහන්සේට ගීතිකාකරන්න.
ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ගේ මෙහෙකරුවෙනි, ප්‍රශංසාකරව්, ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකරව්. මෙතැන් පටන් සදාකල් ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාවේවා; නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසා කටයුතුය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝ ප්‍රශංසනීයය; උන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා භයංකරය.
ස්වාමිනි, මනුෂ්‍ය වර්ගයන් අතරේ ඔබට ස්තුතිකරන්නෙමි, ජාතීන් අතරේ ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි. මක්නිසාද ඔබගේ කරුණාව ස්වර්ගය ඉක්මවා මහත්ව තිබේ, ඔබගේ සත්‍යයද අහස දක්වා පවත්නේය.
එබැවින් ස්වාමීන්වහන්ස, ජාතීන් අතරේ ඔබට ස්තුතිකරන්නෙමි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි.
එහෙයින් සොලවන්ට බැරි රාජ්‍යයක් ලබන්නාවූ අපි, ගෞරවයෙන්ද දේවභයින්ද දෙවියන්වහන්සේට ප්‍රසන්නවන ලෙස සේවයකරන පිණිස, අනුග්‍රහය ඇතුව සිටිමු.
ස්වාමීන්වහන්සේ මාගේ ශක්තියය, මාගේ පලිහය; මාගේ සිත උන්වහන්සේ කෙරෙහි විශ්වාසකෙළේය, මම උපකාර ලැබුයෙමි. එබැවින් මාගේ සිත අතිශයින් ප්‍රීතිවන්නේය; මාගේ ගීයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි.
ස්වාමීන්ට මාගේ මුළු සිතින් ස්තුති කරන්නෙමි; ඔබගේ ආශ්චර්ය ක්‍රියා සියල්ල දක්වා දෙන්නෙමි. ඔබගේ නාමය දන්නෝ ඔබ කෙරෙහි විශ්වාසකරන්නාහුය; මක්නිසාද ස්වාමිනි, ඔබ සොයන්නන් ඔබ අත්නෑරියසේක. සියොන්හි වාසයකරන ස්වාමීන්ට ප්‍රශංසා ගී කියව්; සෙනඟ අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශකරව්. මක්නිසාද ලේ ගැන විභාග කරන්නාවූ උන්වහන්සේ ඔවුන් සිහිකරනසේක. දිළිඳාගේ මොරගැසීම මතකනැති නොකරනසේක. මා විසින් ඔබගේ ප්‍රශංසා සියල්ල ප්‍රකාශකරන පිණිසද, සියොන් දුවගේ දොරටුවලදී ඔබගේ ගැළවීම කෙරෙහි ප්‍රීතිවන පිණිසද, ස්වාමිනි, මට කරුණාකළ මැනව; මරණ ද්වාරවලින් මා ඔසවන්නාවූ ඔබ, මට ද්වේෂකරන්නන්ගෙන් මා විඳින පීඩා බැලුව මැනව. ජාතීහු තමුන් හෑරූ වළේ කිඳාගොස් සිටිති. ඔවුන් රහසින් හෙළූ දැලට ඔවුන්ගේම පා අසුවී තිබේ. ස්වාමීන්වහන්සේ යුක්තිය ඉෂ්ටකොට තමන්ම දැක්වූසේක; දුෂ්ටයා තමා අතින් කළ ක්‍රියායෙහිම අසුවී සිටියි. දුෂ්ටයෝ, එසේය, දෙවියන්වහන්සේ සිහිනැතිකරන සියලු ජාතීහු ෂෙයෝලට හැරීයන්නාහුය. මක්නිසාද දුප්පතා නිතරම මතකනැති නොවන්නේය, දිළිඳුන්ගේ බලාපොරොත්තුව සදාකාලේටම විනාශ නොවන්නේය. ස්වාමිනි, නැගුටුණ මැනව; මනුෂ්‍යයා ජය නොගනීවා. ජාතීහු ඔබ ඉදිරියේ විනිශ්චයකරනු ලබත්වා. ඔබ කෙරෙහි ප්‍රීතිව සන්තෝෂ වන්නෙමි; මහෝත්තමයාණෙනි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි.
ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්, උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරව්; ජනයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා දන්වව්.
උන්වහන්සේට ගීතිකාකරව්, ප්‍රශංසා ගී කියව්; උන්වහන්සේගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ගැන කථාකරව්. රජතෙම මනුෂ්‍යයන් යවා ඔහු මිදුවේය; එසේය, මනුෂ්‍ය වර්ගයන්ගේ ආණ්ඩුකාරයා ඔහු නිදහස්කර ඇරියේය. තමාගේ ආණ්ඩුකාරයන් කැමතිලෙස බඳින්ටත්, තමාගේ මන්ත්‍රීන්ට නුවණ දෙන්ටත්, තමාගේ ගෙට ස්වාමියෙක්ද තමාගේ සියලු සම්පත්තියට අධිපතියෙක්ද කොට ඔහු පත්කෙළේය. ඉශ්‍රායෙල්ද මිසරයට ආයේය; යාකොබ් හාම්ගේ දේශයෙහි විදේශීව සිටියේය. උන්වහන්සේ ස්වකීය සෙනඟ අතිශයින් වැඩිකරමින්, ඔවුන්ගේ එදිරිකාරයන්ට වඩා බලවත්කළසේක. උන්වහන්සේගේ සෙනඟට වෛරකරන්ටත් උන්වහන්සේගේ මෙහෙකරුවන්ට ප්‍රයෝගකරන්ටත් ඔවුන්ගේ සිත් හැරෙවුසේක. උන්වහන්සේ ස්වකීය මෙහෙකරුවූ මෝසෙස්ද තමන් විසින් තෝරාගත් ආරොන්ද යැවූසේක. ඔව්හු ඔවුන් අතරේ උන්වහන්සේගේ ලකුණුද හාම්ගේ දේශයෙහි ආශ්චර්යයන්ද කළෝය. උන්වහන්සේ අන්ධකාරය යවා එය අඳුරුකළසේක; ඔව්හු උන්වහන්සේගේ වචනයට විරුද්ධව කැරළි නොගැසුවෝය. උන්වහන්සේ ඔවුන්ගේ ජලය ලේ කොට, ඔවුන්ගේ මත්ස්‍යයන් නැසූසේක. උන්වහන්සේගේ ශුද්ධවූ නාමය ගැන පාරට්ටුකරගනිව්. ස්වාමීන් සොයන්නන්ගේ සිත ප්‍රීතිමත්වේවා.
මාගේ ශක්තියද ගීතිකාවද ස්වාමීන්වහන්සේය, උන්වහන්සේ මාගේ ගැළවීම වූසේක. මේ මාගේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ වර්ණනාකරන්නෙමි; මාගේ පියාණන්ගේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ උසස්කරන්නෙමි.
නැවතත්: සියලු අන්‍යජාතීනි, ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්න; සියලු වර්ගයෝ උන්වහන්සේට ප්‍රශංසාකරන්නැයි කියා තිබේ.
තවද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් පොළොවෙන් යට සහ මුහුද පිටත් ඇත්තාවූ සියලු මැවිලි වන එහි ඇති සියල්ලෝ: සිංහාසනයෙහි වැඩඉන්න තැනන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් ප්‍රංශසාවද ගෞරවයද මහිමයද පරාක්‍රමයද සදාකාලේටම වේවයි කියනවා ඇසීමි.
පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ප්‍රීති නාද පවත්වව්. ශබ්දනගා ප්‍රීතියෙන් ගී කියව්, එසේය ප්‍රශංසා ගී කියව්. ස්වාමීන්ට වීණාවෙන්ද වීණාවෙන් හා ගී නාදයෙන්ද ගායනා කරව්. හොරණෑවලින්ද නළා ශබ්දයෙන්ද රජවූ ස්වාමීන් ඉදිරියේ ප්‍රීතිනාද පවත්වව්.
දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි කීසේක.
ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ට අලුත් ගීතිකාවක්ද ශුද්ධවන්තයන්ගේ සභාවේදී උන්වහන්සේගේ ප්‍රශංසාවද ගායනාකරව්. ඉශ්රායෙල් තමා මැවූ තැනැන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවේවා. සියොන් දරුවෝ තමුන්ගේ රජ්ජුරුවන් කෙරෙහි ප්‍රීතිමත්වෙත්වා. නටමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා. රබාන සහ වීණාව ගෙන උන්වහන්සේට ප්‍රශංසා ගී කියත්වා.
ස්තුතිපූජා කරන තැනැත්තේ මට ගෞරවකරයි; ස්වකීය හැසිරීම හරිලෙස පවත්වා ගන්නාට දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම දක්වන්නෙමි.
පොළෝවැසි සියල්ලෙනි, දෙවියන්වහන්සේට ප්‍රීති නාද පවත්වව්. මක්නිසාද දෙවියන්වහන්ස, ඔබ අප සෝදිසිකළසේක. රිදී පරීක්ෂාකරන්නාක්මෙන් ඔබ අප පරීක්ෂාකළසේක. ඔබ අප දැලට පැමිණෙවුසේක; අපේ තුනටිය පිට තද බරක් තැබූසේක. ඔබ මනුෂ්‍යයන් අපේ හිසට උඩින් යැවූසේක; ගිනි මැදින් හා ජල මැදින්ද ගියෙමුව; නුමුත් ඔබ අප එයින් සාරවත් තැනකට පැමිණවූසේක. මම දවන පූජා රැගෙන ඔබගේ ගෘහයට ඇතුල්වෙන්නෙමි, මාගේ විපත්තියේදී මාගේ තොල්වලින් කීවාවූ, මාගේ මුඛයෙන් කථාකළාවූ මාගේ භාර ඔබට ඔප්පුකරන්නෙමි. බැටළුවන්ගේ සුවඳ දුම් සහිතව, තර සතුන් දවන පූජාවන් කොට ඔබට පුදන්නෙමි; ගොනුන්ද එළුවන් සමඟ පූජාකරන්නෙමි. දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇති සියල්ලෙනි, ඇවිත් අසව්, උන්වහන්සේ මාගේ ආත්මය උදෙසා කළ දේ ප්‍රකාශකරන්නෙමි. මාගේ මුඛයෙන් උන්වහන්සේට මොරගැසීමි, මාගේ දිවෙන් උන්වහන්සේ උසස් කරනු ලැබූසේක. අයුතුකම් කිරීමේ අභිප්රායක් මාගේ සිතෙහි ඇත්නම්, ස්වාමීන්වහන්සේ මාගේ බස් නාසනසේක. නුමුත් සැබවින්ම දෙවියන්වහන්සේ ඇසූසේක; මාගේ යාච්ඤා ශබ්දයට කන්දුන්සේක. උන්වහන්සේගේ නාමයේ මහිමය ගැන ගී කියව්. උන්වහන්සේගේ ප්‍රශංසාව කීර්තිමත් කරව්.
ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝ සෙයින් ප්‍රශංසා ලැබිය යුතුය; උන්වහන්සේගේ උතුම්කමද සොයා දැනගත නොහැකිය.
ප්‍රශංසාවද තේජසද ප්‍රඥාවද ස්තුතියද ගෞරවයද බලයද පරාක්‍රමයද සදාකාලේටම අපේ දෙවියන්වහන්සේට වේවා. ආමෙන්යයි කීවෝය.
මාගේ මුළු සිතින් ඔබට ස්තුතිකරන්නෙමි. දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගීයෙන් ප්‍රශංසාකරන්නෙමි. ඔබගේ ශුද්ධ මාළිගාව දෙසට නමස්කාරකරමින්, ඔබගේ කරුණාගුණය සහ සත්‍යය නිසා ඔබගේ නාමයට ස්තුතිකරන්නෙමි. මක්නිසාද ඔබගේ මුළු නාමයට ඉහළින් ඔබගේ වචනය උතුම්කළසේක.
ධර්මිෂ්ඨයෙනි, ස්වාමීන් කෙරෙහි ප්‍රීතිමත් වව්. ප්‍රශංසාකිරීම අවංකයන්ට හොබනේය. ස්වාමීන්වහන්සේ ජාතීන්ගේ මන්ත්‍රණය නිරර්ථක කරනසේක. මනුෂ්‍ය වර්ගයන්ගේ සිතිවිලි නිෂ්ඵල කරනසේක. ස්වාමීන්ගේ මන්ත්‍රණය සදාකාලයටද උන්වහන්සේගේ සිත්හි කල්පනා සියලු පරම්පරාවලටද පවත්නේය. ස්වකීය දෙවියන් කොට ස්වාමීන්වහන්සේ ඇතුව සිටින ජාතියද, උන්වහන්සේ විසින් ස්වකීය උරුමය කොට තෝරාගත් සෙනඟද ආශීර්වාද ලද්දෝය. ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට බලනසේක; සියලු මනුෂ්‍යපුත්‍රයන් දක්නාසේක; උන්වහන්සේ ස්වකීය වාසස්ථානයේ සිට පොළෝවාසී සියල්ලන් දෙස බලනසේක; ඔවුන් සියල්ලන්ගේ සිත් සාදන්නේ උන්වහන්සේමය, ඔවුන්ගේ සියලු ක්‍රියා සලකන්නෙත් උන්වහන්සේමය. මහත් සේනාව කරණකොටගෙන ගැළවුණු රජෙක් නැත. බලසම්පන්න මනුෂ්‍යයෙක් තමාගේ මහත් ශක්තියෙන් නොගැළවෙයි. ආරක්ෂා පිණිස අශ්වයෙක් නිෂ්ඵලය. ඌ ස්වකීය මහත් බලයෙන් කිසිවෙකු නොගළවන්නේය. බලව, ස්වාමීන් කෙරෙහි භය ඇත්තන් සහ උන්වහන්සේගේ කරුණාව බලා සිටින්නන්ගේ ආත්මය මරණයෙන් ගළවන පිණිසත්, දුර්භික්ෂයේදී ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන පිණිසත්, උන්වහන්සේගේ ඇස ඔවුන් කෙරෙහි යොමුකොට තිබේ. වීණාවෙන් ස්වාමීන්ට ස්තුතිකරව්. තත් දසයේ වීණාව රැගෙන උන්වහන්සේට ප්‍රශංසා ගීතිකා කියව්. අපේ ආත්මය ස්වාමීන් කෙරෙහි බලාසිටියේය. අපේ උපකාරයත් පලිහත් උන්වහන්සේය. අප උන්වහන්සේගේ ශුද්ධ නාමය විශ්වාසකළ නිසා අපේ සිත උන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වන්නේය. ස්වාමිනි, ඔබ කෙරෙහි අප බලාපොරොත්තුව සිටිය ආකාරයෙන් ඔබගේ කරුණාව අප කෙරෙහි වේවා. උන්වහන්සේට අලුත් ගීතිකාවක් ගායනාකරව්; මහත් ශබ්දයකින් දක්ෂලෙස වාදනය කරව්.
දෙවියන්වහන්සේට ගීතිකාකරව්, උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා ගී කියව්. කාන්තාර මැදින් නැගී යන්නාවූ උන්වහන්සේට මාවතක් සාදව්; යාඃ යනු උන්වහන්සේගේ නාමයවේ; උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිමත්වව්.
සියොන්හි වැලපෙන්නන් පළඳවමින්, අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද උන්වහන්සේ මා එවූසේක. මෙසේ කළේ ස්වාමීන්වහන්සේට ගෞරව ලැබීමට උන්වහන්සේ විසින් හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය.
ස්වාමීන්ගේ කරුණාවන් ගැන සදාකල් ගීතිකාකරන්නෙමි, මාගේ කටින් ඔබගේ විශ්වාසකම සියලු පරම්පරාවලට දන්වන්නෙමි.
ස්වාමීන්වහන්ස, මහන්තත්ත්වයද පරාක්‍රමයද තේජසද ජයද මහිමයද අයත් ඔබටය. මක්නිසාද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් ඇති සියල්ල ඔබගේය; රාජ්‍යයත්, ස්වාමීන්වහන්ස, ඔබට අයිතිය, ඔබ සියල්ල කෙරෙහි හිස මෙන් උසස්ව සිටිනසේක.
අපගේ ස්වාමිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ නාමය පෘථිවිය මුළුල්ලෙහි කොපමණ උතුම්ද! ඔබ ස්වකීය මහිමය අහස්තල මත්තෙහි තැබූසේක.
දෙවියන්වහන්ස, මාගේ සිත ස්ථිරය; මම ගී කියන්නෙමි, එසේය, මාගේ මහිමයෙන් ප්‍රශංසා ගී කියන්නෙමි.
උන්වහන්සේ අලුත් ගීතිකාවක් එනම් අපේ දෙවියන්වහන්සේට ස්තුති ගීතිකාවක් මාගේ මුඛයෙහි තැබූසේක. බොහෝදෙනෙක් ඒ දැක, භයව,
දැනුදු මා අවට සිටින මාගේ සතුරන්ට ඉහළින් මාගේ හිස ඔසවනු ලබන්නේය; උන්වහන්සේගේ මණ්ඩපයෙහි ප්‍රීති පූජා පුදන්නෙමි; ස්වාමීන්ට ගීතිකා කරන්නෙමි, එසේය, ප්‍රශංසා ගී කියන්නෙමි.
ස්වාමිනි, අපට නොව, අපට නොව, ඔබගේ කරුණාව නිසාත් සැබෑකම නිසාත් ඔබගේ නාමයට ගෞරවය දුන මැනව.
ශුද්ධවන්තයෝ මහිමයෙන් යුක්තව සන්තෝෂවෙත්වා; තමුන්ගේ යහන්වල ඉඳ ප්‍රීතියෙන් ගායනාකෙරෙත්වා. ඔවුන්ගේ මුඛවල දෙවියන්වහන්සේට උතුම් ප්‍රශංසාද අතෙහි දෙමුවහත් කඩුවක්ද වේවා;
තවද නුඹලා වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ මොකක් කරතත්, සියල්ලම ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයෙන් කරමින්, උන්වහන්සේ කරණකොටගෙන පියවූ දෙවියන්වහන්සේට ස්තුතිකරන්න.
ගීතිකාවකින් දෙවියන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරන්නෙමි, ස්තුතිකිරීමෙන් උන්වහන්සේ උසස් කරන්නෙමි.
හොරණෑ ශබ්දයෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්. කුඩා වීණාව හා මහා වීණාවෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්. රබානෙන් හා නැටීමෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්. වීණා තතින් හා නළාවෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්. මහත් ශබ්ද දෙන අත්තලින් උන්වහන්සේට ප්‍රශංසාකරව්. උස් රැව් දෙන අත්තලින් උන්වහන්සේට ප්‍රශංසාකරව්.
මාගේ මුඛය ස්වාමීන්ගේ ප්‍රශංසාව කියන්නේය, මාංසමයවූ සියල්ලෝද සදාකාලේටම උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ප්‍රශංසාකෙරෙත්වා.
නුමුත් මධ්‍යම රාත්‍රිය පමණේදී පාවුල්ද සීලස්ද යාච්ඤාකරමින් දෙවියන්වහන්සේට ගී කීවෝය, හිරකාරයෝද ඔවුන්ට ඇහුම්කන්දීගන සිටියෝය;
ස්වාමීන්ගේ ධර්මිෂ්ඨකම පරිද්දෙන් උන්වහන්සේට ස්තුතිකරන්නෙමි. මහෝත්තමවූ ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි.
සියලු මනුෂ්‍ය වර්ගයෙනි, අත්පොළසන්දෙව්; ජයනාදයෙන් දෙවියන්වහන්සේට හඬනගව්. මක්නිසාද මහෝත්තමවූ ස්වාමීන්වහන්සේ භයංකරය; උන්වහන්සේ මුළු පොළොව කෙරෙහි මහත් රජෙක් වනසේක.
අපේ ආත්මය ස්වාමීන් කෙරෙහි බලාසිටියේය. අපේ උපකාරයත් පලිහත් උන්වහන්සේය. අප උන්වහන්සේගේ ශුද්ධ නාමය විශ්වාසකළ නිසා අපේ සිත උන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වන්නේය. ස්වාමිනි, ඔබ කෙරෙහි අප බලාපොරොත්තුව සිටිය ආකාරයෙන් ඔබගේ කරුණාව අප කෙරෙහි වේවා.
ස්වාමීන්ට ප්‍රශංසාකරව්; මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ නාමය ප්‍රියකරු නිසා ගී කියමින් එය වර්ණනාකරව්.
එව්, නමස්කාරකරමින් වැඳමී වැටෙමු; අපේ මැවුම්කාර ස්වාමින් ඉදිරියේ දණගසමු. මක්නිසාද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේගේ ගොදුරු බිමේ සෙනඟය, උන්වහන්සේගේ අතේ බැටළුවෝය. අද දවසේ නුඹලා උන්වහන්සේගේ හඬට කීකරුවන්නහුනම් යහපත!
නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.
ස්වාමීන්ට ස්තුතිකිරීමත්, මහෝත්තමයාණෙනි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කීමත් යහපත. නුමුත් ඔබ කුළු ගොනාගේ අඟ මෙන් මාගේ අඟ උස්කළසේක; මම අලුත් තෙලින් ගාගන සිටිමි. මාගේ සතුරන් ගැන මාගේ ආශාව ඉෂ්ටවූ බව මාගේ ඇසට පෙනුණේය, මට විරුද්ධව නැගිටින්නාවූ නපුරුකම්කරන්නන් ගැන මාගේ ආශාව ඉෂ්ටවූ බව මාගේ කන්වලට ඇසුණේය. ධර්මිෂ්ඨයා තාල වෘක්ෂය මෙන් සශ්‍රීක වන්නේය. ඔහු ලෙබනොන්හි කිහිරි ගසක්මෙන් වැඩෙන්නේය. ස්වාමීන්ගේ ගෘහයෙහි හිඳුවනලද්දෝ අපේ දෙවියන්වහන්සේගේ මිදුල්වල සඵලවන්නෝය. ස්වාමීන්වහන්සේ අවංක බවත්, මාගේ පර්වතය බවත්, උන්වහන්සේ තුළ කිසි අධර්මිෂ්ඨකමක් නැති බවත් පෙන්වන පිණිස, ඔව්හු මහලු වයසේදීත් ඵලදෙමින් සාරවත් වන්නෝය, සශ්‍රීකවන්නෝය. තත් දසයේ වීණාවෙන්ද කුඩා වීණාවෙන්ද මහා වීණාවේ ගරුවූ ශබ්දයෙන්ද
උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ටකරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, ස්වාමීන්ගේ දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. ස්වාමීන්ගේ සේනා සියල්ලෙනි එනම් උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ටකරන්නාවූ උන්වහන්සේගේ මෙහෙකරුවෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. ස්වාමීන්ගේ රාජ්‍යයේ සියලු තැන්හි තිබෙන උන්වහන්සේගේ සියලු කර්මාන්තයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කරව.
එකෙණෙහිම ඒ දේවදූතයා සමඟ මහත් ස්වර්ගීය සේනා සමූහයක් දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්: ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි කීවෝය.
ස්වාමිනි, ස්වකීය ශක්තියෙන් උසස් වුවමැනව. එවිට අපි ගී කියමින් ඔබගේ බලය ගැන ප්‍රශංසාකරන්නෙමුව.
බලව, දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය; මම විශ්වාසකරමි, භය නොවන්නෙමි. මක්නිසාද ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මගේ සවියත් ගීතිකාවත්ය; උන්වහන්සේ මාගේ ගැළවීම වූසේකැයි කියන්නෙහිය. එබැවින් නුඹලා ප්‍රීති ඇතුව ගැළවීමේ ළින්වලින් දිය ඇදගන්නහුය.
ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියව්, ප්‍රශංසා ගී කියව්. අපේ රජ්ජුරුවන්ට ප්‍රශංසා ගී කියව්, ප්‍රශංසා ගී කියව්. මක්නිසාද දෙවියන්වහන්සේ මුළු පොළොවට රජ්ජුරුවෝය. අර්ථ දැන ප්‍රශංසා ගී කියව්.
මින්පසු ස්වර්ගයෙහි සිටින මහත් සමූහයකුගේ හඬ මෙන් මහත් හඬක් මට ඇසුණේය. ඔව්හු කථාකොට: හෙලලූයා! ගැළවීමද මහිමයද බලයද අපගේ දෙවියන්වහන්සේට අයිතිය.
දෙවියන්වහන්ස, මනුෂ්‍ය වර්ගයෝ ඔබට ප්‍රශංසාකෙරෙත්වා; සියලු මනුෂ්‍ය වර්ගයෝ ඔබට ප්‍රශංසාකෙරෙත්වා. ජාතීහු සන්තෝෂව ප්‍රීතියෙන් ගී කියත්වා. මක්නිසාද ඔබ යුක්තියෙන් මනුෂ්‍ය වර්ගයන් විනිශ්චයකරනසේක, පොළොවේ ජාතීන් පාලනය කරනසේක.
හන්නා යාච්ඤාකරමින් කියන්නී-මාගේ සිත ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වේ, මාගේ අඟ ස්වාමීන්වහන්සේ කෙරෙහි උසස්වී තිබේ. මාගේ මුඛය මාගේ සතුරන්ට විරුද්ධව ඇරී තිබේ; මක්නිසාද මම ඔබගේ ගැළවීම ගැන ප්‍රීතිවෙමි. ස්වාමීන්වහන්සේ සමඟ විවාදකරන්නෝ කැබෙලිකරනු ලබන්නෝය; උන්වහන්සේ අහසෙහි සිට ඔවුන්ට විරුද්ධව ගර්ජනාකරනසේක. ස්වාමීන්වහන්සේ පොළොවේ අන්තයන් විනිශ්චයකරනසේක; උන්වහන්සේ තමන් රජුට බලය දෙනසේක, ස්වකීය අභිෂේකලත් තැනැත්තාගේ අඟ උසස්කරනසේකැයි කීවාය. එල්කානා රාමාහි තමාගේ ගෙදරට ගියේය. ළමයාද ඒලී පූජකයා ඉදිරියෙහි ස්වාමීන්වහන්සේට සේවයකෙළේය. ඒලීගේ පුත්‍රයෝ වනාහි දුර්ජනයෝ වූවෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ හැඳිනගන නොසිටියෝය. ඒ පූජකයන් සෙනඟ සමඟ හැසුරුණු අන්දම මෙසේය: කවුරු නුමුත් පූජාවක් ඔප්පුකරනකල, මස් උයන අතර, පූජකයාගේ වැඩකාරයා දැති තුනක් ඇති මස්කොක්කක් අතේ ඇතුව ඇවිත්, හට්ටියේ හෝ සැළියේ හෝ කටාරමේ හෝ ඇතිළියේ හෝ දමන්නේය; එවිට කොක්කට අසුවූ සියල්ල පූජකයා තමාටම ගන්නේය. ෂීලෝට පැමිණි සියලු ඉශ්රායෙල්වරුන්ට ඔව්හු මෙසේ කළෝය. එසේය, තෙල දවන්ටත් පළමුවෙන් පූජකයාගේ වැඩකාරයා ඇවිත් පූජාකරන මනුෂ්‍යයාට කථාකොට: පූජකයාට පුලුස්සන්ට මස් දෙන්න; මක්නිසාද ඔහු අමු මස් මිස උයාපු මස් නුඹෙන් පිළිනොගන්නේයයි කීය. ඉදින් ඒ මනුෂ්‍යයා ඔහුට කථාකොට: දැන්ම තෙල දවනවා ඇත, එවිට සිතේ ආශාවේ පමණටම ගනින්නැයි ඔහුට කීවේ නම්, ඔහු: එසේ නොව නුඹ දැන්ම දෙන්ට ඕනෑය. නැත්නම් බලාත්කාරයෙන් ගන්නෙමියි කියන්නේය. මෙසේ ඒ තරුණයන්ගේ පාපය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඉතා මහත්ව තිබුණේය. මක්නිසාද මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේගේ පූජාව සුළුකොට සිතුවෝය. එහෙත් ළමයෙක්ව සිටි සාමුවෙල් හණ ඒඵොද් සැට්ටයක් ඇඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සේවයකෙළේය. තවද ඔහුගේ මෑණියෝ ඇගේ පුරුෂයා සමඟ අවුරුදු පූජාව ඔප්පුකරන පිණිස එන කල අවුරුද්දෙන් අවුරුද්ද ඔහුට කුඩා යට ඇඳුමක් සාදාගන ආවාය. ස්වාමීන්වහන්සේ මෙන් ශුද්ධවූ එකද කෙනෙක් නැත; මක්නිසාද ඔබ ඇර වෙන දෙවිකෙනෙක් නැත. අපේ දෙවියන්වහන්සේට සමානවූ පර්වතයක් නැත.
පොළෝවාසී සියල්ලෙනි, ස්වාමීන්ට ගී කියව්; උන්වහන්සේගේ ගැළවීම දිනෙන් දින ප්‍රකාශකරව්. ජාතීන් අතරෙහි උන්වහන්සේගේ මහිමයද සියලු ජනයන් අතරෙහි උන්වහන්සේගේ ආශ්චර්යමත් ක්‍රියාද පතළ කරව්.
ඔහු සෙනඟ සමඟ මන්ත්‍රණයකොට ස්වාමීන්වහන්සේට ගීතිකාකරන්නන් පත්කෙළේය. ඔව්හු යුද්ධ සේනාවට පෙරටුව යමින්, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තව ප්‍රශංසා කරමින්–ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවත්නේයයි කීවෝය.
ඔබ කෙරෙහි භය ඇත්තන්ට නිධාන කොට තැබුවාවූ, ඔබ කෙරෙහි විශ්වාසය තබන්නන්ට මනුෂ්‍ය පුත්‍රයන් ඉදිරියෙහි ඔබ කළාවූ ඔබගේ යහපත්කම කොපමණ මහත්ද!
ස්වාමීන්ට ප්‍රශංසාකරව්. දෙවියන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහිදී උන්වහන්සේට ප්‍රශංසාකරව්. උන්වහන්සේගේ බල පවත්නා අහස් තලයෙහි උන්වහන්සේට ප්‍රශංසාකරව්.
මක්නිසාද පොළොවට උඩින් අහස උස්ව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට උන්වහන්සේගේ කරුණාව මහත්ය.
මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසාකරව; මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබ ඉතා උතුම්සේක; ඔබ ගෞරවයෙන් හා මහිමයෙන් සැරසී සිටිනසේක.
ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
තමන්වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියමකළසේක.
ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. සමහරෙක් පීඩාවෙන් සහ යදමින් බඳිනු ලැබ, අඳුරෙහිද මරණ සෙවණෙහිද සිටියෝය; කුමක් හෙයින්ද ඔව්හු දෙවියන්වහන්සේගේ වචනවලට විරුද්ධව කැරළිගසා, මහෝත්තමයාණන්ගේ මන්ත්‍රණය හෙළාදැක්කෝය. ඒ නිසා උන්වහන්සේ වෙහෙස පැමිණවීමෙන් ඔවුන්ගේ සිත් පහත්කළසේක. ඔව්හු වැටුණෝය, පිහිටවෙන්ට කිසිවෙක් නොවීය. එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගැසුවෝය, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් ගැළෙවුසේක. උන්වහන්සේ අඳුරෙන්ද මරණ සෙවණෙන්ද ඔවුන් පිටතට ගෙන, ඔවුන්ගේ බැමි බින්දසේක. ස්වාමීන්ගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා. මක්නිසාද උන්වහන්සේ පිත්තල දොරවල් බිඳ, යකඩ පොලු කපාදැමූසේක. මෝඩයෝ තමුන්ගේ අපරාධ නිසාත් අයුතුකම් නිසාත් පීඩා විඳිති. ඔවුන්ට සියලු ආකාර කෑම අප්‍රියවේ; ඔව්හු මරණ ද්වාරවලට ළංවෙති. එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගසති. උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් ගළවනසේක. ස්වාමීන් විසින් මුදනලද්දෝ එසේ කියත්වා. මක්නිසාද උන්වහන්සේ එදිරිකාරයාගේ අතින් ඔවුන් මුදා,
මක්නිසාද ස්වාමීන්වහන්සේ උතුම්ව බොහෝසෙයින් ප්‍රශංසා කටයුතුව සිටිනසේක. සියලු දෙවිවරුන්ට වඩා උන්වහන්සේ භයවිය යුත්තෙක.
උන්වහන්සේ ඔලීව කන්දේ බැස්ම ළඟට පැමිණි කල්හි, මුළු ගෝල සමූහයා ප්‍රීතිවෙන්ටත් තමුන් දුටු සියලු බලවත් ක්‍රියා ගැන මහත් ශබ්දයකින් දෙවියන්වහන්සේට ප්‍රශංසාකරන්ටත් පටන්ගෙන: ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන්නාවූ රජ ආශීර්වාදලත්තෙක්ය. ස්වර්ගයෙහි සමාදානයද ඉතා උස්තැන්හි මහිමයද වේවයි කීවෝය.
නුමුත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අපට ජය දෙන්නාවූ දෙවියන්වහන්සේට ස්තුතිවේවා.
සියොන්හි වාසයකරන ස්වාමීන්ට ප්‍රශංසා ගී කියව්; සෙනඟ අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශකරව්.
දයාබර කරුණාවල පියවූද සෑම සැනසිල්ලේ දෙවිවූද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. අපි දෙවියන්වහන්සේගෙන් යම් සැනසිල්ලක් ලැබුවෙමුද, ඒ සැනසිල්ල කරණකොටගෙන කොයි පීඩාවක් නුමුත් විඳින්නන් සනසන්ට අපට පුළුවන්වන පිණිස උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනසනසේක.
අපේ දෙවියන්වහන්සේගේ නුවර වන උන්වහන්සේගේ ශුද්ධ කන්දෙහි ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝ සෙයින් ප්‍රශංසා කටයුතුය.
මම මාගේ සහෝදරයන්ට ඔබගේ නාමය ප්‍රකාශකරන්නෙමි, සභාව මධ්‍යයෙහි ඔබට ප්‍රශංසා ගීතිකාකරන්නෙමියි කියනසේක.
මම ස්වාමීන්වහන්සේගේ කරුණාවල්ද, ස්වාමීන්වහන්සේ අපට ගෙන දුන් සියල්ල ලෙස ස්වාමීන්වහන්සේගේ ප්‍රශංසාවල්ද, උන්වහන්සේගේ අනුකම්පාවල හැටියටත් උන්වහන්සේගේ කරුණා රාශියේ හැටියටත් ඉශ්රායෙල් වංශයට පැවැත්වූ මහත් යහපත්කමද සඳහන්කරන්නෙමි.
අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලාගේ ඇදහිල්ලේ ක්‍රියාවද ප්‍රේමයේ වීර්යයද අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන බලාපොරොත්තුවේ ඉවසීමද අපි නොකඩව සිහිකරමින්, අපේ යාච්ඤාවලදී නුඹලා ගැන මතක්කරමින්, නුඹලා සියල්ලන් ගැන සෑමවේලේම දෙවියන්වහන්සේට ස්තුතිකරමුව.
ඔව්හු දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස්ගේ ගීතිකාවද බැටළුපැටවාණන්ගේ ගීතිකාවද ගායනාකරමින්: සර්ව පරාක්රමවූ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ ක්‍රියා මහත්ය, විස්මපත්ය; ජාතීන්ගේ රජ්ජුරුවෙනි, ඔබගේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය. ස්වාමීනි, ඔබගේ නාමයට භය නොවන්නෙක් ගෞරව නොකරන්නෙක් කවුද? මක්නිසාද ඔබ පමණක් ශුද්ධය; එබැවින් සියලු ජාතීන් පැමිණ ඔබ ඉදිරියෙහි නමස්කාරකරනවා ඇත; මක්නිසාද ඔබගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශකරනලද්දේයයි කීවෝය.
ස්වාමිනි, ස්වර්ගයෝ ඔබගේ ආශ්චර්යයන් වර්ණනාකරන්නෝය; ශුද්ධවන්තයන්ගේ රැස්වීමේදී ඔබගේ විශ්වාසකම වර්ණනාකරනු ලබන්නේය.
ස්වාමිනි, පොළොවේ සියලු රජවරු ඔබගේ මුඛයේ වචන ඇසූ බැවින් ඔබට ස්තුතිකරන්නෝය. එසේය, ස්වාමීන්ගේ මහිමය උතුම් නිසා, ඔව්හු ස්වාමීන්ගේ මාර්ගය ගැන ගීතිකාකරන්නෝය.
මා විසින් ඔබට ප්‍රශංසා ගී කියන කල මාගේ තොල්ද ඔබ මිදුවාවූ මාගේ ආත්මයද බොහෝ කොට ප්‍රීතිවන්නේය.
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්ට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා. මුළු සෙනඟ ආමෙන් කියත්වා. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
ස්වාමීන්ට අලුත් ගීතිකාවක් ගායනාකරව්; මක්නිසාද උන්වහන්සේ ආශ්චර්යයන් කළසේක. ස්වකීය දකුණු අතින්ද ශුද්ධවූ බාහුවෙන්ද තමන්වහන්සේට ගැළවීම ඉෂ්ටකරගත්සේක.
ස්වාමීන්ට ප්‍රශංසාකරව්; ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකරව්. ස්වාමීන්ගේ මෙහෙකරුවෙනි, උන්වහන්සේ බොහෝ ජාතීන්ට පහරදී, බලවත් රජුන් නැසූසේක; අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ද බාෂාන්හි රජවූ ඕග්ද කානාන්හි සියලු රාජ්‍යයන්ද නසා, ඔවුන්ගේ දේශය උරුමයක් පිණිස, ස්වකීය සෙනඟවූ ඉශ්රායෙල්ට උරුමයක් පිණිස, දුන්සේක. ස්වාමිනි, ඔබගේ නාමය සදාකල් පවත්නේය; ස්වාමිනි, ඔබ සිහිකිරීම සියලු පරම්පරා දක්වා වන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ විනිශ්චයකරනසේක, ස්වකීය මෙහෙකරුවන් ගැන තැවෙනසේක. ජාතීන්ගේ රූප රන් රිදීය, මනුෂ්‍යයන්ගේ අත් වැඩය. ඒවාට කටවල් ඇත, එහෙත් කථානොකෙරෙති; ඇස් ඇත, එහෙත් නොදකිති; කන් ඇත, එහෙත් නොඅසති; ඒවායේ කටවල හුස්මත් නැත. ඒවා සාදන්නොත්, එසේය, ඒවා කෙරෙහි විශ්වාසකරන සියල්ලොත් ඒවාට සමානවන්නෝය. එම්බා ඉශ්රායෙල් වංශය, ස්වාමීන්ට ප්‍රශංසාකරව්. එම්බා ආරොන්ගේ වංශය, ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ගේ ගෘහයෙහි, අපේ දෙවියන්වහන්සේගේ ගෘහ මළුවල සිටින්නෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
මක්නිසාද: මා ජීවත්ව සිටිනු සැබෑවා සේම සෑම දණහිස් මට නමන්නේය, සෑම දිව්ද දෙවියන්වහන්සේට ප්‍රශංසාකරන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ.
මනුෂ්‍ය වර්ගයෙනි, අපේ දෙවියන්වහන්සේට ප්‍රශංසාකරව්, උන්වහන්සේට නඟන ප්‍රශංසා හඬ ඇසෙන්ට සලස්වව්.
ඒ පැයේදීම උන්වහන්සේ ශුද්ධාත්මයෙන් ප්‍රීතිමත්ව කියනසේක්: ස්වර්ගයටත් පොළොවටත් ස්වාමිවූ පියාණෙනි, ඔබවහන්සේ ප්‍රඥාවන්තයන්ටත් නුවණ ඇත්තන්ටත් මේ කාරණා සඟවා බාලයන්ට එළිදරව්කළ බැවින් ඔබට ස්තුතිකරමි. එසේය, පියාණෙනි; මක්නිසාද ඔබගේ කැමැත්ත එසේ විය.
ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලයට පවත්නේය.
උන්වහන්සේගේ බලවත් ක්‍රියා නිසා උන්වහන්සේට ප්‍රශංසාකරව්. උන්වහන්සේගේ මහෝත්තමභාවය පරිද්දෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්.
ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම, සියලු පරම්පරාවන් දක්වා සභාවෙහි ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සදාකාලයටම ගෞරවය වේවා ආමෙන්.
මක්නිසාද සියල්ල උන්වහන්සේ කෙරෙන්ය, උන්වහන්සේ කරණකොටගෙනය, උන්වහන්සේ උදෙසාය. උන්වහන්සේට සදාකල්ම මහිමය වේවා. ආමෙන්.
ස්වාමීන්වහන්සේ විසින් මුදනලද්දෝ ගී කියමින් සියොන්ට හැරීඑන්නෝය; සදාකාල ප්‍රීතියද ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. සන්තෝෂයද ප්‍රීතිමත්කමද ඔවුන් පිටට පැමිණෙන්නේය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.
නුමුත් ඔබ සරණකොට ගන්න සියල්ලෝ සන්තෝෂවෙත්වා, ඔබ ඔවුන් ආරක්ෂාකරන බැවින් සදාකල් ප්‍රීතිනාදකෙරෙත්වා. ඔබගේ නාමයට ප්‍රේමකරන්නෝ ඔබ කෙරෙහි ප්‍රීතිවෙත්වා.
ස්වාමිනි, ඔබගේ සියලු කර්මාන්තයෝ ඔබට ස්තුතිකරන්නෝය; ඔබගේ ශුද්ධවන්තයෝද ඔබට ප්‍රශංසාකරන්නෝය.
එක එකාට පියාපත් සයක් බැගින් තිබුණාවූ ඒ ජීවමාන සත්වයන් සතරදෙනා අවටද ඇතුළතද ඇස් පුරාම තිබුණේය. ඔව්හුද: සිටියාවූ සිටින්නාවූ මතු සිටින්නාවූ සර්වපරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධයයි රෑ දාවල් නොනැවතී කියති.
යෙරුසලමේ පාළු ඉඩම්, ප්‍රීතියෙන් ඝෝෂාකරමින් එක්ව ගී කියව්. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සනසා, යෙරුසලම මුදාගන තිබේ.
එහෙත් මම නිතරම බලාපොරොත්තු වෙමින් වඩ වඩා ඔබට ප්‍රශංසාකරන්නෙමි. මාගේ මුඛය දවස මුළුල්ලේ ඔබගේ ධර්මිෂ්ඨකම හා ඔබගේ ගැළවීම ප්‍රකාශකරන්නේය; මක්නිසාද එහි ගණන නොදනිමි.
මක්නිසාද අනුග්‍රහය වැඩිදෙනා කරණකොටගෙන අධිකවී, ස්තුතිකිරීම දෙවියන්වහන්සේගේ තේජස සඳහා අධිකවන පිණිස ඒ සියල්ල නුඹලා උදෙසා වන්නේය.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ආදර්ශය ලෙස නුඹලා එකිනෙකා සමඟ එක්සිත්ව සිටින්ට, ඉවසිල්ලේද සැනසිල්ලේද දෙවියන්වහන්සේ වර දෙනසේක්වා.
දෙවියන්වහන්ස, ඔබට අලුත් ගීයක් ගායනාකරන්නෙමි. තත් දසයේ වීණාව ගෙන ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි.
නුමුත් සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාරකරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයනසේක.
එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත් ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් එක ශබ්දයක් ඇසෙන පිණිස එක්කෙනෙකු මෙන් සිට, නළාවලින්ද අත්තල්වලින්ද වෙනත් තූර්ය භාණ්ඩවලින්ද: මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, ගෘහය වලාපටලයෙන් පිරීගියේය. ඒ වලාපටලය නිසා පූජකයන්ට සේවය කිරීම පිණිස සිටින්ට බැරිවිය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ තේජසින් දෙවියන්වහන්සේගේ ගෘහය පිරීගියේය.
නුඹේ දේශයෙහි බලාත්කාරයද නුඹේ සීමා ඇතුළේ නාස්තිය හා විනාශයද ගැන තවත් අසන්ට නොලැබෙන්නේය; නුඹේ පවුරු ගැළවීමය කියාද නුඹේ දොරටු ප්‍රශංසාවය කියාද නුඹ කියන්නෙහිය.
ස්වාමිනි, ඔබගේ කර්මාන්ත කොපමණ නානාප්‍රකාරද! ඔබ මේ සියල්ල ප්‍රඥාවෙන් සෑදූසේක. පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය.
ස්වාමීන්වහන්සේට ගී කියන්න, ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්න. මක්නිසාද උන්වහන්සේ දිළින්දාගේ ප්‍රාණය නපුරකරන්නන්ගේ අතින් නිදහස් කළසේක.
අන්‍යජාතීන් විසින් දෙවියන්වහන්සේගේ දයාව ගැන උන්වහන්සේට ගෞරවකරන පිණිසත්ය. ඒ හැටියට: එබැවින් අන්‍යජාතීන් අතරේ ඔබ වර්ණනාකරන්නෙමි, ඔබගේ නාමයට ගීතිකා කියන්නෙමියි ලියා තිබේ.
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්ට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේවා. මුළු සෙනඟද: ආමෙන් කියා ස්වාමීන්වහන්සේ වර්ණනාකළෝය.
නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.
ස්වාමීන්වහන්ස, දෙවිවරුන් අතරේ ඔබට සමාන කවුද? ශුද්ධකමින් මහිමවත්වූ, ප්‍රශංසාවලින් භයංකරවූ, පුදුම දේ කරන්නාවූ ඔබ සමාන කවුද?
මොව්හු ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා; මක්නිසාද උන්වහන්සේගේ නාමය පමණක් උසස්ය. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය හා පොළොව මත්තෙහි පවත්නේය.
අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද අන්තිම කාලයෙහි එළිදරව්වෙන්ට සූදානම්ව තිබෙන ගැළවීමට දෙවියන්වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරණකොටගෙන ආරක්ෂාකරනු ලබන්නාවූ,
ස්වාමීන්ට ප්‍රශංසාකරව්. මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසාකරව. එම්බා සියොන් නගරය, ස්වාමීන්වහන්සේ, එනම් නුඹේ දෙවියන්වහන්සේ, සදාකාලේටද සියලු පරම්පරා දක්වාද රජකම්කරනසේක. ස්වාමීන්ට ප්‍රශංසාකරව්. දිවිහිමියෙන් ස්වාමීන්ට ප්‍රශංසාකරන්නෙමි. මා පවතින තුරු මාගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.