උන් වහන්සේ දයාවන්ත දෙවි කෙනෙකු බැවින්, ඔබ අත් නොහරින සේක; ඔබ නොවනසන සේක; උන් වහන්සේ ඔබේ පියවරුන් හට දිවුරා පොරොන්දු වූ ගිවිසුම අමතක නොකරන සේක.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දයාවන්ත දෙවිකෙනෙක් බැවින් උන්වහන්සේ නුඹ අත්නොහරිනසේක, නුඹ විනාශනොකරනසේක, උන්වහන්සේ නුඹේ පියවරුන් සමඟ දිවුළාවූ ගිවිසුම මතකනැති නොකරනසේක.
තවද, දාවිත් තමාගේ පුත් සලමොන්ට කතා කොට, “ඔබ ශක්තිමත් ව, ධෛර්ය සම්පන්න ව සිට එය ඉෂ්ට කරන්න. බිය නොවන්න; නොකැළඹෙන්න. මන්ද, මාගේ දෙවියන් වහන්සේ වන දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ වසන සේක. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු කර්මාන්ත නිම වන තුරු උන් වහන්සේ ඔබෙන් ඉවත් නොවන සේක; ඔබ අත් නොහරින සේක.
මන්ද, ඔබ සමිඳාණන් වහන්සේ වෙත හැරුණොත්, ඔබේ සහෝදරයන් ද දරුවන් ද තමන් අල්ලාගෙන ගිය අයගෙන් කරුණාව ලැබ මේ දේශයට නැවත හැරී එනු ඇත. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ දයානුකම්පාව ඇති කෙනෙකි; ඔබ උන් වහන්සේ වෙත හැරුණොත්, උන් වහන්සේ ස්වකීය මුහුණ ඔබ කෙරෙන් හරවා නොගන්න සේකැ”යි කීවෝ ය.
“අහෝ! ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබට ප්‍රේම කරමින් ඔබේ ආඥා රක්ෂා කරන්නන් සමඟ විශ්වාසවන්ත ව ගිවිසුම පවත්වන, ගරුබිය දනවන දෙවියන් වහන්ස,
එසේ වී නමුත්, ඔබේ මහානුකම්පාව නිසා ඔබ ඔවුන් මුළුමනින්ම නැති කර දැමුවේ වත්, ඔවුන් අත්හැර දැමුවේ වත් නැත. කුමක් නිසා ද ඔබ දයාබර අනුකම්පා ඇති දෙවි කෙනෙකු බැවිනි.
සමිඳාණෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණ ය; නොකිපෙන සුලු ය, අතිශයින් කරුණාවන්ත ය.
එතුමන් පරම්පරා දහසක් දක්වා අණ කළ සිය ගිවිසුම සදහට ම සිහි කරන සේක.
සිය පුදුම ක්‍රියාවන් අපට අමතක වන්නට ඉඩ නාරින සේක. සමිඳාණෝ, දයාවන්ත ය; සානුකම්පිත ය.
එතුමාණෝ තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට ආහාර දෙන සේක. එතුමාණෝ සිය ගිවිසුම කිසි කලක අමතක නොකරන සේක.
එතුමාණෝ සිය සෙනඟ මුදා ලූ සේක; සිය ගිවිසුම සදහට ම පිහිටෙවු සේක. එතුමන්ගේ නාමය සුවිශුද්ධ ය; ගරු ගම්භීර ය.
සමිඳාණෝ දයාවන්ත ය; දැහැමි ය. එසේ ය, අපේ දෙවිඳාණෝ අනුකම්පාවෙන් යුක්ත ය.
මාගේ සමිඳුනි, ඔබ මෙත් සිත් ඇති දයානුකම්පාව පාන දෙවිඳාණෝ ය, ඉවසන සුලු, කරුණාවෙන් සහ විශ්වාසවන්තකමින් සපිරි තැනැන් වහන්සේ ය.
මාගේ සමිඳුනි, ඔබ යහපත් ය, ඔබ කමා කරන සේක; ඔබට අයැදින සියල්ලන්ට තිර පෙම බහුල ව ප්‍රදානය කරන සේක.
පසුව ආබ්‍රහම්ට ද ඊසාක්ට ද ජාකොබ්ට ද දෙන ලෙස මා දිවුළ දේශයට මම නුඹලා ගෙනෙන්නෙමි. මම එය නුඹලාට උරුම කොට දෙන්නෙමි. සමිඳාණන් වහන්සේ මම වෙමි’යි කියන්න.”
ඔබේ නාමය නිසා අප ඉවත නොදැමුව මැනව. ඔබේ තේජසේ සිංහාසනය පිහිටි ජෙරුසලමට අගෞරව නොකළ මැනව. අප සමඟ තිබෙන ඔබේ ගිවිසුම සිහි කර එය කඩ නොකළ මැනව.
නුඹලා ගළවන පිණිස මම නුඹලා සමඟ සිටිමි. මම නුඹලා යම් යම් දේශවලට විසුරුවා හැරියෙම් ද, ඒ සියලු දේශ මම සහමුලින් ම විනාශ කරදමමි. එහෙත්, මම නුඹලා විනාශ නොකරතත්, නුඹලාට දඬුවම් නොකර නොසිටින්නෙමි. නිසි ප්‍රමාණයට මම නුඹලාට දඬුවම් කරමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
එවිට මම ජාකොබ් සමඟ කළ ගිවිසුම ද ඊසාක් සමඟ කළ ගිවිසුම ද ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම ද සිහි කරන්නෙමි; දීමට පොරොන්දු වූ දේශය ද සිහි කරන්නෙමි.
කෙසේ වුව ද, ඔවුන්ගේ සතුරන්ගේ රටවල සිටින විට ඔවුන් සහමුලින් ම වනසාලනු පිණිස ද මා සමඟ පිහිටුවාගත් ගිවිසුම කඩ කිරීමට මඟ නොපෑදෙන ලෙස ද මම ඔවුන් අත් නොහරිමි. මම ඔවුන් පිළිකුල් නොකරමි. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.
එහෙත්, ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන පිණිස, විජාතීන් ඉදිරිපිට දී ම මිසර දේශයෙන් ඔවුන් පිටතට ගෙනා මම, ඔවුන්ගේ මුතුන්මිත්තන් සමඟ පිහිටුවාගත් ගිවිසුම සිහි කරන්නෙමි. මම සමිඳාණන් වහන්සේ ය.”
ඔහු සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය: “අහෝ සමිඳුනි, මාගේ රටේ මා සිටිය දී, මා කීවේ මෙය ම නොවේ ද? තර්ෂිෂ්ට පලා යන්නට මා ඉක්මන් වූයේ එබැවිනි. මන්ද, ඔබ දයාවන්ත, අනුකම්පා සහගත, වහා නොකිපෙන සුලු, ඉතා කරුණාවන්ත, විපත්ති පැමිණ වීමට නොකැමැති දෙවි කෙනෙකු බව මම දැනගෙන සිටියෙමි.
සමිඳුනි, ඔබේ ඉතිරි කුඩා පිරිසේ අපරාධය මකා දමා, ඔවුන්ගේ පව් පහකරන, ඔබට සම අන් දෙවි කෙනෙක් සිටිත් ද? එතුමාණෝ උදහස සදහට ම තබා නොගන්න සේක. මන්ද, එතුමාණෝ තිරසර පෙම ප්‍රිය කරන සේක.
මෙසේ, අප පියවරුන්ට කළ දයා-පොරොන්දුව ඉටු කර, සිය ශුද්ධ ගිවිසුම සිහි කළ සේක.
ශක්තිමත් ව ධෛර්ය සම්පන්න ව සිටින්න; බිය නොවී, තැති නොගෙන ඉන්න; ඔබ සමඟ යන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ ඔබ අතරමං නොකරන සේක. ඔබ අත් නොහරින සේක.”
ඔබට පෙරටුවෙන් යන්නේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ අතරමං නොකරන සේක. ඔබ අත් නොහරින සේක. බිය නොවන්න; නොකැළඹෙන්නැ”යි කීවේ ය.
ලත් පමණින් සතුටු වන්න, වස්තු තණ්හාවෙන් තොර ව ඉන්න. මන්ද, “මම කිසි සේත් නුඹෙන් අහක් ව නොයමි; කිසි අයුරකින් නුඹ අත් නොහරිමි”යි දෙවියන් වහන්සේ ම වදාරා තිබේ.
දිවි ඇති තාක් නුඹලාට විරුද්ධ ව කිසිවෙකුට නැඟී සිටින්නට නොහැකි වන්නේ ය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටින්නෙමි. මම නුඹ කෙරෙන් අහක් ව යන්නේ වත්, නුඹ අත්හරින්නේ වත් නැත.