Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 86 - Sinhala New Revised Version


දාවිත්ගේ යාච්ඤාවකි.


විශ්වාස මෙහෙකරුවාගේ යැදුම

1 සමිඳුනි, ඔබ කන් යොමා මට පිළිතුරු දුන මැනව. මන්ද, මම අසරණ ය; මම දුබල ය.

2 මා භක්තිවන්ත බැවින් මා මරණින් මුදනු මැනව; ඔබ කෙරෙහි විශ්වාස කරන ඔබේ දාසයා මුදාලුව මැනව.

3 මාගේ සමිඳුනි, මට අනුකම්පා කළ මැනව. මුළු දවස පුරා මම ඔබට අයැදිමි.

4 ඔබේ දාසයාගේ සිත ප්‍රීතිමත් කළ මැනව. මන්ද, මාගේ සමිඳුනි, මම ඔබට යාච්ඤා කරමි.

5 මාගේ සමිඳුනි, ඔබ යහපත් ය, ඔබ කමා කරන සේක; ඔබට අයැදින සියල්ලන්ට තිර පෙම බහුල ව ප්‍රදානය කරන සේක.

6 සමිඳුනි, මාගේ අයැදුමට සවන් දුන මැනව. පිහිට පතමින් මා කරන අයැදුමට කන් දුන මැනව.

7 විපත් කාලයේ දී මම ඔබට හඬගසන්නෙමි. ඔබ මට පිළිතුරු දෙන සේක.

8 අහෝ සමිඳුනි! දෙවිවරුන් අතර ඔබට සමාන අන් කෙනෙක් නැත්තේ ය. ඔබේ ක්‍රියාවන්ට සම කළ හැකි අන් ක්‍රියා ද නැත්තේ ය.

9 මාගේ සමිඳුනි, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ වෙත පැමිණ ඔබට නමදින්නෝ ය. ඔව්හු ඔබේ නාමය පසසමින් ඔබට ගරු කරන්නෝ ය.

10 ඔබ බලසම්පන්න ය, අරුමපුදුම දේ කරන සේක. ඔබ පමණක් දෙවිඳාණෝ ය.

11 සමිඳුනි, ඔබේ සත්‍යයෙහි පමණක් ගමන් කරන පිණිස ඔබේ මාර්ගය මට පෙන්නුව මැනව. ඔබේ නාමයට ගරු කරන පිණිස හිතවත්කමින් ම හද එක් කළ මැනව.

12 මාගේ දෙවි සමිඳුනි, හද පත්ලෙන් මම ඔබට තුති කරමි. ඔබේ නාමය සදහට ම වර්ණනා කරමි.

13 මා වෙත ඇති ඔබේ තිර පෙම කොපමණ මහත් ද? ගැඹුරු පාතාලයෙන් ඔබ මා මිදූ සේක.

14 දෙවිඳුනි, අහංකාර අය මට එරෙහි ව නැඟිටින්නෝ ය. ඔබට ගරු නොකරන කුරිරු මිනිස් පිරිසක් මා මරන්නට සොයන්නෝ ය.

15 මාගේ සමිඳුනි, ඔබ මෙත් සිත් ඇති දයානුකම්පාව පාන දෙවිඳාණෝ ය, ඉවසන සුලු, කරුණාවෙන් සහ විශ්වාසවන්තකමින් සපිරි තැනැන් වහන්සේ ය.

16 මා වෙත හැරී මට අනුකම්පා කළ මැනව; මා ශක්තිමත් කොට මා ගැළෙවුව මැනව. මන්ද, මාගේ මව ඔබට සේවය කළ පරිදි මම ද ඔබට සේවය කරමි.

17 ඔබ මට ආධාරය සහ සැනසීම දුන් බව මාගේ සතුරන් දැන ලජ්ජා වන පිණිස, ඔබේ දයා කරුණාවට සාක්ෂියක් දුන මැනව.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්