Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 116 - Sinhala New Revised Version


මරණින් මිදීම ගැන ස්තුති දීම

1 සමිඳුන්ට ප්‍රේම කරමි, මන්ද, එතුමාණෝ මගේ අයැදුම ද මාගේ කන්නලව්ව ද ඇසූ සේක.

2 එතුමාණන් මා දෙසට කන් යොමු කළ බැවින් දිවි ඇතිතාක් මම එතුමන්ට යාච්ඤා කරන්නෙමි.

3 මාරක රැහැනෙන් මම වෙළුණෙමි. පාතාලයේ වේදනා මා අසු කරගත්තේ ය; විපත හා දුක මා වෙළාගත්තේ ය.

4 එවිට මම සමිඳුන්ගේ නාමයෙන් අයැදිමි; “සමිඳුනි, මා මිදුව මැනවැ”යි කීමි.

5 සමිඳාණෝ දයාවන්ත ය; දැහැමි ය. එසේ ය, අපේ දෙවිඳාණෝ අනුකම්පාවෙන් යුක්ත ය.

6 සමිඳාණෝ නිහතමානි අය සුරකින සේක. මා අනතුරේ වැටී සිටිය දී එතුමාණෝ මා ගළවාගත් සේක.

7 මාගේ සිත, යළි සන්සුන් වන්න. මන්ද, සමිඳාණෝ ඔබට බොහෝ සේ යහපත්කම් කළ සේක.

8 එතුමාණෝ මාගේ ජීවිතය මරණයෙන් ද මාගේ ඇස් කඳුළෙන් ද මාගේ පාද පැකිළීමෙන් ද ගළවාගත් සේක.

9 එසේ හෙයින්, මම ජීවතුන් අතර සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන්නෙමි.

10 “මම බොහෝ පීඩා විඳිමි”යි කී අතර වුව ද මාගේ විශ්වාසය තිර ලෙස රැකගතිමි.

11 මා භීතියට පත් ව සිටිය දී, “මිනිසෙකු තුළ බලාපොරොත්තුව තැබීම නිෂ්ඵල ය”යි කීවෙමි.

12 සමිඳුන් මා හට කළ සියලු යහපත්කම් ගැන එතුමන්ට මම කුමක් පුදම් ද?

13 මම ගැළවීමේ කුසලාන ගන්නෙමි; සමිඳුන්ගේ නාමයෙන් යාච්ඤා කරන්නෙමි.

14 එසේ ය, සමිඳුන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ බාරහාර මම ඉටු කරන්නෙමි.

15 සැදැහැවතුන්ගේ මරණය සමිඳුන් අබියස අගනේ ය.

16 සමිඳුනි, මම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; සැබැවින් ම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; ඔබේ දාසිගේ පුත්‍රයා වෙමි. ඔබ මාගේ බැඳුම් මිදූ සේක.

17 මම ඔබට ස්තුති පූජාව පුදන්නෙමි; සමිඳුන්ගේ නාමය අමතා අයැදින්නෙමි.

18 එසේ ය, සමිඳුන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ බාරහාර ඉටු කරන්නෙමි,

19 සමිඳුන්ගේ මාලිගාවේ මළුවල දීත්, එම්බා ජෙරුසලම! තී මධ්‍යයෙහි දීත් එසේ කරන්නෙමි. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්