ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


යෝබ් 28 - Sinhala New Revised Version 2018 Sinhala New Revised Version 2018
යෝබ් 28

ප්‍රඥාවට ප්‍රශංසා

1 රිදී කණින ආකර ඇත; රන් පවිත්‍ර කරන කෝව ඇත.

2 මිනිස්සු පොළොවෙන් යකඩ හාරාගනිති; ගල් උණු කර තඹ ලබාගනිති.

3 මිනිස්සු ගන ‘ඳුර ඉක්මවා බලති; පොළෝ ගැබෙහි යට තැන් සොයති. අඳුරෙන් වැසුණු පර්වත සොයා හාරති.

4 මිනිස් වාසයෙන් ඈත, මිනිසෙකු කිසි දා පා නොතැබූ තැන්වල මිනිස්සු පතල් හාරති. කඹවල එල්ලී ඒවාට බැස තනියම වැඩ කරති.

5 මහ පොළොවෙන් ආහාර හට ගනියි; එහි යට පෙදෙස්වල පස ගින්නෙන් මෙන් දැවෙනු ඇත.

6 එහි ගල් අතර නිල්මිණි ද එහි දූවිල්ලෙහි රන් කුඩු ද ඇත.

7 පතල්වලට යන මාවත උකුස්සාට නොපෙනෙයි; ඊට උඩින් පියාඹා යන්නට ගිජු ලිහිණියාට එය නොපෙනෙයි.

8 සිංහයෙක් වත්, අන් කිසි චණ්ඩ මෘගයෙක් වත් ඒ හුදකලා මාවත්වල කිසි දා නොයයි.

9 මිනිස්සු කළුගල් පර්වත හාරති; කඳු හෙල් මුලින් ම උදුරා දමති.

10 ඔව්හු පර්වතවල බිංගෙවල් හාරා නන් වැදෑරුම් මැණික් සොයාගනිති.

11 ඔව්හු ගංගා නොගලන ලෙස අමුණු බැඳ, සැඟවී ඇති ධන සම්පත් හාරා පාදා ගනිති.

12 එහෙත්, ප්‍රඥාව සම්බ වන්නේ කොතැන්හි ද? නැණ නුවණ ඇත්තේ කොතැන ද?

13 ප්‍රඥාව මිනිසුන් අතර සම්බ වන්නේ නැත; කිසිවෙක් එහි අගය නොදනිති.

14 ‘එය මා තුළ නැතැ’යි ගැඹුරු මහ සයුර කියයි; ‘එය මා වෙත නොවේ ය’යි මහ මුහුද පවසයි.

15 රත්රන් දී, එය මිලට ගත නොහැකි ය; එහි වටිනාකම රිදීයෙන් මිල කළ නොහැකි ය.

16 එය ඕපීර් රටේ රනින් වත්, අනගි නඛමාණික්‍යයෙන් වත්, නීල මාණික්‍යයෙන් වත් මිල කළ නොහැකි ය.

17 රන් වත්, වෛදූර්ය වත් ඊට සම කළ නොහැකි ය; පිවිතුරු රන් ආභරණවලට එය මාරු කළ නොහැකි ය.

18 රතු කැට හෝ පළිඟු හෝ සඳහන් කරන්නට වත් උවමනාවක් නැත. ප්‍රඥාව මුතුවලට වඩා අගනේ ය.

19 එතියෝපියාවේ පුෂ්පරාග ඊට සම කළ නොහැකි ය; දඹ රනින් වත් එහි අගය නියම කළ නොහැකි ය.

20 එසේ නම්, ප්‍රඥාව උදා වන්නේ කොතැනින් ද? නැණ නුවණ ඇත්තේ කොහේ ද?

21 මෙලෝ වැසි කිසිවෙකුගේ ඇසට ප්‍රඥාව නොපෙනේ. අහසේ පියාඹන පක්ෂියෙකුට වත් එය නොපෙනේ.

22 ‘අප අසා ඇත්තේ ඒ ගැන කට කතා පමණකැ’යි විනාශයත්, මරණයත් කියති.

23 ප්‍රඥා මාර්ගය දන්නේ දෙවිඳාණෝ ය; එය තිබෙන තැන දන්නේත් එතුමාණෝ ය.

24 මන්ද, එතුමාණෝ පොළොවේ සීමාන්ත දන්න සේක; අහස යට සියල්ල දකින සේක.

25 එතුමාණන් සුළඟට බලවේගය දුන් විටත්, මුහුදේ ප්‍රමාණය නියම කළ විටත්,

26 වැසි වසින තැන් නියම කළ විටත්, මේඝගර්ජනා යා යුතු මඟ සලකුණු කළ විටත්,

27 එතුමාණෝ ප්‍රඥාව දැක එහි වටිනාකම ප්‍රකාශ කළ සේක. එය සොයා බලා සම්මත කළ සේක.

28 එතුමාණෝ මිනිසාට මෙසේ වදාළ සේක: ‘දෙවිඳුන්ට ගරුබිය දැක්වීම ප්‍රඥාව වේ. නපුරෙන් වැළකී සිටීම නැණ නුවණ වේ.’ ”