ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


උපදේශකයා හෙවත් සිරාක් 51 - Sinhala New Revised Version 2018 Sinhala New Revised Version 2018
උපදේශකයා හෙවත් සිරාක් 51

ස්තෝත්‍ර ගීතය

1 ස්වාමීනි, රජාණෙනි, මම ඔබට තුති පුද කරන්නෙමි. මාගේ ගැළවුම්කාර දෙවියෙනි, ඔබ පසසන්නෙමි. ඔබේ නාමයට තුති පුදන්නෙමි.

2 මන්ද, ඔබ මට ආරක්ෂකයෙකු ද ආධාරකරුවෙකු ද වන හෙයිනි. ඔබ මාගේ ශරීරය විනාශයෙන් ගැළෙව් සේක. දුෂ්ට දිවේ මලපතෙන් ද බොරු ගොතන තොල්වලින් ද ඔබ මා බේරාගත් සේක. මා අවට සිටින අය ඉදිරියෙහි මාගේ රුකුල වී ඔබ මා මුදාගත් සේක.

3 ඔබේ මහත් දයාව හා ඔබේ නාමයේ මහිමය පරිද්දෙන් මා ගිලගන්නට බලා සිටින්නන්ගේ දළවලින් ද මාගේ ජීවිතයට ඊර්ෂ්‍යා කරන අයගේ හස්තවලින් ද මා වින්ද බොහෝ වූ හිරිහැරවලින් ද

4 මා වට කර මාගේ හුස්ම හිර කළ ගින්නෙන් ද මා නොදැල්වූ ගිනි දැල්ල මැදින් ද

5 පාතාල ලෝකයේ ගැබ් පත්ලෙන් ද අපිරිසිදු දිවෙන් හා මුසා වචනයෙන් ද

6 රජුට මා ගැන අපවාද කී අසාධාරණ දිවෙන් ද ඔබ මා මුදාගත් සේක. මම මරණයට බොහෝ ආසන්න ව සිටියෙමි. මාගේ ප්‍රාණය පාතාල ලෝකයේ ගැටියට බැස්සේ ය.

7 ඔව්හු හැම පැත්තෙන් ම මා වට කළෝ ය. මාගේ ආධාරයට කිසිවෙක් නොසිටියෝ ය. මට උදව් වීමට කැමැති මිනිසෙකු සෙව්වෙමි; එහෙත්, පලක් නො වී ය.

8 එවිට සමිඳුනි, ඔබේ දයාව ගැන සිහි විය. අනාදියේ පටන් ඔබේ කෘතීන් මතක් කෙළෙමි. ඔබ කෙරෙහි බලාපොරොත්තුව තබන්නන් ගළවන සැටි ද ඔවුන්ගේ සතුරන්ගේ අත්වලින් ඔබ ඔවුන් මුදන සැටි ද දැනගතිමි.

9 මම පොළොවෙන් මාගේ කන්නලව්ව එසවීමි; මරණයෙන් ගැළවෙන්නට ඔබෙන් ඉල්ලා සිටියෙමි.

10 මාගේ පියාගේ සමිඳුන් වන සමිඳාණන් වහන්සේට මෙසේ අඬගැසුවෙමි. “පීඩා කාලයේ දී මා අත් නොහැරිය මැනව. අහංකාරයන්ගේ කාලයෙහි දී කිසිවෙකුගේ පිහිටක් නැති, මා අත් නොහැරිය මැනව. මම ඔබේ නාමය පසසන්නෙමි; කළගුණ සලකා, නොනවත්වා, ගීයෙන් ඔබ පසසන්නෙමි.”

11 මාගේ අයැදුම අසන ලද්දේ ය. ඔබ මා විනාශයෙන් ගළවාගත් සේක. නපුරු සමයෙහි දී මා ආරක්ෂා කළ සේක.

12 එහෙයින් මම ඔබට තුති පැසසුම් පුදන්නෙමි. සමිඳුන්ගේ නාමය පසසන්නෙමි.

ප්‍රඥාව සෙවීම පිළිබඳ කාව්‍යයක්

13 මාගේ තරුණ කාලයෙහි දී දේශාටනයෙහි යෙදෙන්නට පෙර මාගේ යාච්ඤාවල දී අවංක ලෙස ප්‍රඥාව ඉල්ලීමි.

14 ශුද්ධස්ථානයෙන් පිටත දී ඒ සඳහා යාච්ඤා කෙළෙමි. මාගේ අන්තිමය දක්වා මම එය සොයා ගියෙමි.

15 මලකින් ආරම්භ වී මෝරන මුද්‍රික ඵලයක් වැනි එය කෙරෙහි මාගේ හෘදය එහි ප්‍රීතිය තැබුවේ ය. මාගේ පාද කෙළින් ම එය ඉදිරියට ගියේ ය. මාගේ තරුණ කාලයේ පටන් ම මම එය සොයා ගියෙමි.

16 මාගේ කන මඳක් යොමා මම එය ලබාගත්තෙමි. මට මහත් පුහුණුවක් අත්වූයේ ය.

17 ඒ නිසා මම දියුණු වූයෙමි. මට ප්‍රඥාව දුන් තැනැන් වහන්සේට මම ප්‍රශංසා කරන්නෙමි.

18 මන්ද, එය ක්‍රියාවෙහි යෙදවීමට මා අධිෂ්ඨාන කරගෙන සිටින හෙයිනි. මම උද්‍යෝගයෙන් යහපත් දේ සෙව්වෙමි. මම ලජ්ජාවට පත් නොවන්නෙමි.

19 එය අත්කරගැනීමට මාගේ සිත සටන් කෙළේ ය. නීතිය පිළිපැදීම ගැන මම උත්සුක ව සිටියෙමි. මාගේ අත් ස්වර්ගය දෙසට දිගු කෙළෙමි. මාගේ අවිද්‍යාව ගැන වැලපුණෙමි.

20 එය දෙසට මාගේ සිත යොමු කෙළෙමි. පිරිසිදුකමෙහි එය මට සම්බ වූයේ ය. මුල පටන් ම මාගේ මුළු සිතින් ම මම එයට ඇලුම් වූයෙමි. කිසි කලෙක මම අත්හරිනු නොලබන්නෙමි.

21 මාගේ හද පත්ල එය සෙවීමෙහි උනන්දු වූයේ ය. මම මහත් ලාභයක් අත්කරගතිමි.

22 විපාකයක් වශයෙන් සමිඳාණෝ මට දිවක් දුන් සේක. එයින් මම උන් වහන්සේට ප්‍රශංසා කරන්නෙමි.

23 නූගතුනි, මා ළඟට එන්න; මාගේ පාසලේ වාඩි වෙන්න.

24 ඔබේ සිත් අප්‍රමාණ ලෙස පිපාසිත ව තිබිය දී, මේ දේ නැති වීම ගැන ඔබ කොඳුරන්නේ මන් ද?

25 කතා කරන්නට මම මුඛය ඇරියෙමි. මුදල් නැති ව එය ලබාගන්න.

26 ඔබේ කර එහි වියගස යට තබන්න. ඔබේ සිතට පුහුණුව ලැබේ වා! එය ඔබ ළඟ ම ඇත්තේ ය.

27 ඔබේ ඇස්වලින් බලන්න. මෙපමණ මහත් චිත්ත සාමයක් ලබාගැනීමට මාගේ උත්සාහය කොපමණ අල්ප වූයේ ද?

28 බොහෝ රිදී වැය කොට උපදෙස් ලබාගන්න. එය නිසා ඔබ බොහෝ රත්රන් ලබාගන්නෙහි ය.

29 ඔබේ සිතට සමිඳුන්ගේ දයාව තුළ ප්‍රීතිය ලැබේ වා! උන් වහන්සේට ප්‍රශංසා කිරීමට ලජ්ජා නොවන්න.

30 නියම කාලයට පෙර ඔබේ කාර්යය ඉටු කරන්න. නියම දිනයෙහි දී උන් වහන්සේ ඔබට ඔබේ විපාකය දෙන සේක.