එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤාකරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ටවෙයි.
නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව ඉඳ යාච්ඤාකරන්න. ආත්මය නම් කැමතිය, නුමුත් මාංසය බෙලහීනයයි කීසේක.
නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න.
උන්වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය.අප යම් දෙයක් ඉල්ලන කල උන්වහන්සේ අසන බව අපි දනිමු නම්, අප උන්වහන්සේගෙන් ඉල්ලූ දේ අපට ලැබෙන බව දනිමුව.
මාගේ නාමය දරන මාගේ සෙනඟ යටත්වී යාච්ඤාකර මාගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමාකොට ඔවුන්ගේ දේශය සුවකරන්නෙමි.
ස්වාමීන්වහන්සේ තමන්ට යාච්ඤාකරන සියල්ලන්ට, එනම් සැබවින් උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන්ට, ළංව සිටිනසේක.
නුමුත් නුඹ යාච්ඤාකරන කල්හි නුඹේ ඇතුල් ගෙට වැද, දොර වසා, රහසිගතව වසන නුඹේ පියාණන්වහන්සේට යාච්ඤාකරන්න, එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ ඔබට විපාකදෙනසේක.
එබැවින් නුඹලාට කියමි–නුඹලා යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහන්න, ඒවා නුඹලාට ලැබෙන්නේය.
උන්වහන්සේ ඒ ස්ථානයට පැමිණ සිටියදී කථාකොට: නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන ලෙස යාච්ඤා කරන්නැයි ඔවුන්ට කීසේක.
එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු.
මාගේ විපත්තියේදී ස්වාමීන්ට හඬගැසීමි, මාගේ දෙවියන්වහන්සේට මොරගැසීමි. උන්වහන්සේ තමන් මාලිගාවෙහි සිට මාගේ හඬ ඇසූසේක, උන්වහන්සේ ඉදිරියෙහි මාගේ මොරගැසීමද උන්වහන්සේගේ කණෙහි වැටුණේය.
ස්වාමීන්වහන්සේ දුෂ්ටයන්ගෙන් ඈත්ව සිටිනසේක; එහෙත් උන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාව අසනසේක.
තවද ඔවුන් විසින් නොමැළිව නිතර යාච්ඤාකරන්ට ඕනෑ බව දක්වන පිණිස උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියනසේක්:
නුඹලා මාගේ නාමයෙන් ඉල්ලන කොයි දෙයක් වුවත්, පුත්‍රයා තුළ පියාණන්වහන්සේ මහිමය ලබන පිණිස මම ඒක ඉෂ්ටකරන්නෙමි.නුඹලා විසින් මාගේ නාමයෙන් කොයි දෙයක් ඉල්ලුවත්, මම ඒක ඉෂ්ටකරන්නෙමි.
ඉල්ලන්න, එවිට නුඹලාට දෙනුලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ.
මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ඇස් ධර්මිෂ්ඨයන් කෙරෙහිත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ කන්නලව්ව දෙසටත් යොමා තිබේ. නුමුත් ස්වාමීන්වහන්සේගේ මුහුණ නපුර කරන්නන්ට විරුද්ධව තිබේ.
නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.
ඔවුන් යාච්ඤාකළ පසු, ඔවුන් රැස්ව සිටි ස්ථානය කම්පාවිය; ඔවුන් සියල්ලෝද ශුද්ධාත්මයෙන් පූර්ණව, දෙවියන්වහන්සේගේ වචනය නිර්භීත ලෙස කථාකළෝය.
ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.
එලෙසම ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක.
ඉතින් අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සන්සුන්කමින් සමාදානවූ නිශ්චල ජීවිතයක් ගත කරන පිණිස, රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් ඇතුළුව,
නුමුත් මධ්‍යම රාත්‍රිය පමණේදී පාවුල්ද සීලස්ද යාච්ඤාකරමින් දෙවියන්වහන්සේට ගී කීවෝය, හිරකාරයෝද ඔවුන්ට ඇහුම්කන්දීගන සිටියෝය;
ඒ පත්‍රය අත්සන් කළ බව දානියෙල් දැනගත් විට, තමාගේ ගෙදරට ගොස්, තමාගේ උඩුමහලේ කවුළු යෙරුසලම දෙසට ඇරී තිබියදී, තමා ඊට පළමු කළාක්මෙන් දවසට තුන්වරක් දණින් හිඳ තමාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යාච්ඤාකොට ස්තුතිකෙළේය.
ස්වාමිනි, මාගේ යාච්ඤාව ඇසුව මැනව; මාගේ කන්නලව්වට ඇහුම්කන්දුන මැනව. ඔබගේ විශ්වාසකමින්ද ධර්මිෂ්ඨකමින්ද මට උත්තරදුන මැනව.
මක්නිසාද මේ කාරණය නුඹලාගේ ඉල්ලීමෙන්ද ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් ලැබීමෙන්ද මාගේ ගැළවීමට හැරෙන බව දනිමි.
නුමුත් ස්වාමීන්වහන්සේ විශ්වාසව සිටිනසේක, උන්වහන්සේ නුඹලා ස්ථිරකොට නපුරාගෙන් ආරක්ෂාකරනසේක.
තවද නුඹලා ඇදහිල්ල ඇතුව යාච්ඤාවෙන් ඉල්ලන කොයි දෙයක් නුමුත්, ඒ සියල්ල නුඹලාට ලැබේයයි ඔවුන්ට කීසේක.
මමද නුඹලාට කියමි: ඉල්ලන්න, එවිට නුඹලාට දෙනු ලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න; එවිට නුඹලාට දොර හරිනු ලැබේ.
තවද අපි උන්වහන්සේගේ ආඥා රක්ෂාකරමින් උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්නදේ කරන බැවින් අපි උන්වහන්සේගෙන් ඉල්ලන සියල්ල ලබමුව.
යාබෙශ්ද ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට: අහෝ, ඔබ මට ආශීර්වාදකර, මාගේ සීමාව විශාලකර, ඔබගේ අතින් මට පිහිටවී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනවයි කීවේය. දෙවියන්වහන්සේද ඔහුගේ ඉල්ලීම ඉෂ්ටකළසේක.
තවද ඒ දවස්වලදී උන්වහන්සේ යාච්ඤාකරන පිණිස කන්දකට ගොස් දෙවියන්වහන්සේට යාච්ඤාකරමින් මුළු රාත්‍රිය ගතකළසේක.
සහෝදරයෙනි, යුදයෙහි සිටින අකීකරුවන්ගෙන් මා ගළවනු ලබන ලෙසත්, යෙරුසලම උදෙසා මා කරන උපස්ථානය ශුද්ධවන්තයන්ට ප්‍රසන්න වන ලෙසත්,
ජනයෙනි, සෑමවිටම උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරව්; උන්වහන්සේ ඉදිරියේ නුඹලාගේ සිත් වගුරුවව්. දෙවියන්වහන්සේ අපට රක්ෂාස්ථානයක්ය.
එහෙත් මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ යාච්ඤාවද කන්නලව්වද සලකා අද ඔබ ඉදිරියෙහි ඔබගේ මෙහෙකරුවා ඔප්පුකරන ඉල්ලීමද යාච්ඤාවද ඇසුවමැනව.
නුමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ.
උන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ගේ ආශාව ඉෂ්ටකරදෙන සේක; ඔවුන්ගේ මොරගැසීම අසා ඔවුන් ගළවනසේක.
නැවතත් නුඹලාට කියමි: පොළොවේදී නුඹලාගෙන් දෙදෙනෙක් තමුන් ඉල්ලන යමක් ගැන එක්සිත්වන්නෝ නම්, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගෙන් ඒ දේ ඔවුන්ට ලැබෙන්නේය.
නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු.
දුෂ්ටයන්ගේ පූජාව ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් ඇද නැත්තන්ගේ යාච්ඤාවට උන්වහන්සේ ප්‍රසන්නය.
මාගේ යාච්ඤාව ඔබ ඉදිරියේ සුවඳ දුම් මෙන්ද මාගේ අත් එසවීම සන්ධ්‍යා පූජාව මෙන්ද පිහිටා ගනීවා.
එවිට නුඹ යාච්ඤාකරන්නෙහිය, ස්වාමීන්වහන්සේ උත්තරදෙනසේක; නුඹ මොරගසන කල්හි: මම මෙහියයි උන්වහන්සේ කියනසේක. නුඹ වියගහද ඇඟිල්ල දික්කිරීමද දුෂ්ටලෙස කථා කිරීමද නුඹ වෙතින් පහකරන්නෙහි නම්,
නුඹලා මා තුළෙහි පවතින්නෝ නම්, මාගේ වචනය නුඹලා තුළෙහි පවතී නම්, නුඹලා කැමති දෙයක් ඉල්ලන්න, එවිට නුඹලාට ලැබේ.
නුඹලාත් එක්ව නුඹලාගේ කන්නලව් කරණකොටගෙන අප වෙනුවට උපකාර කරන්නහුය. එසේ කරන්නේ බොහෝදෙනෙකු කරණකොටගෙන අපට ලැබුණු දීමනාව නිසා අප වෙනුවට බොහෝ දෙනෙක් ස්තුතිකරන පිණිසය.
මේ දරුවා ලබාගන්ට යාච්ඤාකෙළෙමි; ස්වාමීන්වහන්සේද මා උන්වහන්සේගෙන් ඉල්ලූ මාගේ ඉල්ලීම මට දුන්සේක.
ස්වාමීන්වහන්සේ එලියාගේ හඬට ඇහුම්කන්දුන්සේක; ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුළට පැමිණ ඔහු ජීවත්වුණේය.
එබැවින් පේතෘස් හිරගෙයි රැකවල්කරනලද්දේය. නුමුත් සභාව ඔහු උදෙසා දෙවියන්වහන්සේට උදක්ම යාච්ඤාකළාය.
ඒ දවසේදී නුඹලා මාගෙන් කිසිවක් අසන්නේ නැත. සැබැවක් සැබැවක් නුඹලාට කියමි–පියාණන්වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලුවොත්, උන්වහන්සේ මාගේ නාමයෙන් ඒ දේ නුඹලාට දෙනසේක.
එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගසති, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් පිටතට ගෙනෙනසේක.උන්වහන්සේ මුහුදේ රැළ නිශ්චල වන ලෙස කුණාටුව සන්සිඳවනසේක.දේශවලින් එනම් නැගෙනහිරින් හා බස්නාහිරින්ද උතුරෙන් හා දකුණෙන්ද ඔවුන් රැස්කොට ගත්සේක.එවිට නිශ්චලයක් වූ බැවින් ඔව්හු සන්තෝෂවෙති; උන්වහන්සේද රිසිවූ වරායට ඔවුන් පමුණුවනසේක.
විපත්ති දවසේදී ස්වාමීන්වහන්සේ නුඹට උත්තරදෙනසේක්වා; යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ නාමය නුඹ උසස්කෙරේවා;
තවද යෝබ් තමාගේ මිත්‍රයන් උදෙසා යාච්ඤාකළ විට ස්වාමීන්වහන්සේ ඔහුගේ වහල්කම පහකොට, පෙර තිබුණු සියල්ලට වඩා දෙගුණයක් වැඩිකොට ඔහුට දුන්සේක.
නුමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න;
නුඹ හැරී ගොස් මාගේ සෙනඟගේ අධිපතියාවූ හෙසකියාට මෙසේ කියන්න–නුඹේ පියා වන දාවිත්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුලු දුටිමි. බලව, මම නුඹ සුවපත්කරන්නෙමි. තුන්වෙනි දින නුඹ ස්වාමීන්වහන්සේගේ ගෘහයට යන්නෙහිය.
මාගේ විපතේදී ස්වාමීන්ට අයැදීමි, එසේය, මාගේ දෙවියන්වහන්සේට මොරගැසීමි. උන්වහන්සේ තමන් මාලිගාවේ සිට මාගේ හඬ ඇසූසේක, මාගේ හඬ උන්වහන්සේගේ කණෙහි වැටුණේය.
ඔහු දෙස ඇස් යොමා බලා, භයපත්ව: ස්වාමිනි, කිමෙක්දැයි ඇසීය. ඔහු කථාකොට: නුඹේ යාච්ඤාද දානද සිහිවීමක් කොට දෙවියන්වහන්සේ ඉදිරියට පැමුණුණේය.
ස්වාමීන්ට ප්‍රේමකරමි, මක්නිසාද උන්වහන්සේ මාගේ ශබ්දයද මාගේ කන්නලව්වද ඇසූසේක.මම විශ්වාසකරමි, එබැවින් කථාකරන්නෙමි. මම බොහෝසේ පීඩිතවීමි.සියලු මනුෂ්‍යයෝම බොරුවකැයි මාගේ ඉක්මන්කමින් කීමි.ස්වාමීන් විසින් මට කළාවූ සියලු යහපත්කම් ගැන උන්වහන්සේට කුමක් දෙම්ද?මම ගැළවීමේ කුසලාන රැගෙන, ස්වාමීන්ගේ නාමයෙන් යාච්ඤාකරන්නෙමි.එසේය, ස්වාමීන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ භාර උන්වහන්සේට ඉෂ්ටකරන්නෙමි.ස්වාමීන්ගේ ශුද්ධවන්තයන්ගේ මරණය උන්වහන්සේ ඉදිරියෙහි අනර්ඝය.ස්වාමිනි, සැබවින් මම ඔබගේ මෙහෙකරුයෙමි. ඔබගේ මෙහෙකරුයෙමි, ඔබගේ දාසියගේ පුත්‍රයෙමි; ඔබ මාගේ බැඳුම් මිදූසේක.මම ඔබට ස්තුති පූජාව පුදන්නෙමි. ස්වාමීන්ගේ නාමයෙන් යාච්ඤාකරන්නෙමි.එසේය, ස්වාමීන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ භාර උන්වහන්සේට ඉෂ්ටකරන්නෙමි.ස්වාමීන්ගේ ගෘහ මළුවලදීත් එම්බා යෙරුසලම, නුඹ මැදදීත් එසේ කරන්නෙමි. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.උන්වහන්සේ මා දෙසට කන් නැමූ බැවින් ජීවත්ව සිටින තෙක් මම උන්වහන්සේට යාච්ඤාකරන්නෙමි.
මක්නිසාද දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මැද සිටිමියි කීසේක.
නුඹලා අතරෙහි යමෙක් දුක්විඳින්නේද? ඔහු යාච්ඤාකරාවා. යමෙක් ප්‍රීතියෙන් සිටින්නේද? ඔහු ගී කියාවා.
භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.
ස්වාමිනි, උදය වේලෙහි ඔබ මාගේ හඬ අසනසේක; උදය වේලෙහි ඔබට මාගේ යාච්ඤාව පිළියෙළකොට බලාසිටින්නෙමි.
මාගේ ශුද්ධ කන්දට පමුණුවා මාගේ යාච්ඤා-ගෘහයෙහි ඔවුන් ප්‍රීතිවන්ට සලස්වන්නෙමි; ඔවුන්ගේ දවන පූජා සහ යාග මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේය. මක්නිසාද මාගේ ගෘහය සියලු ජනයන්ට යාච්ඤා-ගෘහයක්යයි කියනු ලබන්නේය.
මක්නිසාද නුඹලා භය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා, පුත්‍රකමේ ආත්මය ලබාගත්තහුය; එයින් අපි: අබ්බා, පියාණනි, කියා හඬගසමුව.
ඔහු දෙවියන්වහන්සේට යාච්ඤා කරනවා ඇත, උන්වහන්සේ ඔහු පිළිගෙන, උන්වහන්සේගේ මුහුණ ප්‍රීතියෙන් දකින්ට සලස්වා, නැවත මනුෂ්‍යයාට ඔහුගේ ධර්මිෂ්ඨකම පමුණුවනවා ඇත.
දෙවියන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය; අලුයම ඔබ සොයන්නෙමි. වතුර නැති, වියලුණ, වෙහෙස උපදවන්නාවූ දේශයකදී මාගේ ආත්මය ඔබ කෙරෙහි පිපාසා ඇත්තේය, මාගේ මාංසය ඔබ කෙරෙහි ආශා ඇත්තේය.
ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම,
එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ජයගෙන ගැළවෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටින පිණිසද කන්නලව්කරමින්, සැම කාලයේදීම අවදිව හිඳින්නැයි කීසේක.
එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.
ස්වාමිනි, මම ඔබට යාච්ඤාකෙළෙමි; මා ළඟට ඉක්මනින් අව මැනව. ඔබට යාච්ඤාකරන කල මාගේ ශබ්දයට ඇහුම්කන්දුන මැනව.
නුඹ ගොස් හෙසකියාට මෙසේ කියන්න–නුඹේ පියා වන දාවිත්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුළු දුටිමි. නුඹේ වයසට අවුරුදු පහළොහක් එකතුකරන්නෙමි.
ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණකරනසේක්වා.
නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත්කෙළෙමි. එසේ කළේ නුඹලා ගොස් ඵල දරන පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නුමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය.
උන්වහන්සේ කියනසේක්: නුඹලාගේ ඇදහිල්ලේ මදිකම නිසාය. සැබවක් නුඹලාට කියමි–අබ ඇටයක් පමණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ කන්දට කථාකොට: මෙතැනින් අහක්ව, එතැනට යවයි කීවත් ඒක යන්නේය;
නුඹේ මුඛයෙන් ඉක්මන්කාර නොවෙන්න, නුඹේ සිතද දෙවියන්වහන්සේ ඉදිරියෙහි කාරණයක් නිකුත්කරන්ට ඉක්මන් නොවේවා; මක්නිසාද දෙවියන්වහන්සේ ස්වර්ගයෙහිය, නුඹ පොළොවෙහිය; ඒ නිසා නුඹේ වචන ස්වල්ප වේවා.
අප යම් දෙයක් ඉල්ලන කල උන්වහන්සේ අසන බව අපි දනිමු නම්, අප උන්වහන්සේගෙන් ඉල්ලූ දේ අපට ලැබෙන බව දනිමුව.
ඇරත් මා විසින් නුඹලා උදෙසා යාච්ඤා නොකර සිටීමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කිරීම මාගෙන් දුරුවේවා. මම යහපත්වූ හරිවූ මාර්ගය නුඹලාට උගන්වන්නෙමි.
එහෙත් ස්වාමීන්වහන්සේ තමන්ගේ කරුණාගුණය දිවාභාගයේදී නියමකරනසේක, රාත්‍රිභාගයේදීත් උන්වහන්සේට ගීතිකාවක්, එනම් මාගේ ජීවනයේ දෙවියන්වහන්සේට යාච්ඤාවක්, මා සමඟ වන්නේය.