ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ගීතාවලිය 107 - Sinhala New Revised Version Sinhala New Revised Version
ගීතාවලිය 107

පස් වන කාණ්ඩය සමිඳුන්ගේ කරුණාව පැසසීම
( ගීතා 107—150 )

1 සමිඳුන් හට තුති පුදන්න. එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.

2 සමිඳුන් විසින් මුදන ලද්දෝ ඒ වදන් යළි යළිත් කියත් වා! මන්ද, එතුමාණෝ පීඩාකරුගේ අතින් ඔවුන් මිදූ සේක.

3 එතුමාණෝ විදෙස් රටවලින් ද නැගෙනහිරෙන් හා බස්නාහිරෙන් ද උතුරෙන් හා දකුණෙන් ද ඔවුන් එක් රැස් කළ සේක.

4 සමහරු වල් බිහි වූ පාළුකරයේ වල්මත් වූ හ. විසීමට නගරයක් ඔවුන්ට සොයාගත නොහැකි විය.

5 සාගින්නෙන් හා පිපාසයෙන් පෙළී ඔව්හු ක්ලාන්තයෙන් බෙලහීන වූ හ.

6 එවිට, ඔව්හු තම විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ගේ විපතින් ඔවුන් මුදාගත් සේක.

7 වාසය කිරීමට සුදුසු නුවරකට පැමිණෙන තුරු එතුමාණෝ හරි මඟකින් ඔවුන් ගෙන ගිය සේක.

8 සමිඳුන්ගේ තිර පෙම ගැන ද මිනිසුන්ට කළ පුදුම දේ ගැන ද ඔව්හු එතුමන්ට පැසසුම් කරත් වා!

9 මන්ද, එතුමාණෝ පිපාසිත වූවන් තෘප්තියට පමුණුවන සේක; සාගිනි වූවන් යහපත් දෙයින් පිනවන සේක.

10 සමහරු තිත්ත කළුවරෙහි ලැගුම් ගත්හ; පීඩනයට භාජන වී සිරගත වූ හ.

11 මන්ද, ඔව්හු දෙවිඳුන්ගේ ආඥාවට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය; මහෝත්තමයාණන්ගේ උපදෙස් හෙළා දුටුවෝ ය.

12 බර වැඩ නිසා ඔව්හු අධික වෙහෙසට පත් වූ හ. ඔව්හු ඇද වැටුණෝ ය, පිහිට වන්න කිසිවෙක් නො වූ හ.

13 එවිට ඔව්හු තම විපතේ දී සමිඳුන්ට මොරගැසුවෝ ය. එතුමාණෝ ඔවුන්ට පැමිණි විපතින් ඔවුන් ගළවාගත් සේක.

14 එතුමාණෝ තිත්ත කළුවරින් ඔවුන් පිටතට ගෙන, ඔවුන්ගේ යදම් බිඳදැමූ සේක.

15 සමිඳුන්ගේ තිර පෙම ද මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ද ගැන මනුෂ්‍යයෝ එතුමන්ට තුති පුදත් වා!

16 මන්ද, එතුමාණෝ ලෝකඩ දොරටු බිඳදැමූ සේක; යකඩ පොලු කපාදැමූ සේක.

17 ඇතැම් අනුවණයෝ තමන්ගේ අපරාධ නිසාත්, අයුතුකම් නිසාත් පීඩා විඳිති.

18 ඔවුන්ට සියලු ආකාර කෑම අප්‍රිය වේ; ඔව්හු මරුමුවට ළං ව සිටියෝ ය.

19 එවිට ඔව්හු තමන්ගේ විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ගේ විපතින් ඔවුන් ගළවාගත් සේක.

20 එතුමාණෝ සිය වදනින් ඔවුන් සුවපත් කළ සේක. ඔවුන් මරණින් ගොඩගත් සේක.

21 සමිඳුන්ගේ තිර පෙම ද මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ද ගැන මනුෂ්‍යයෝ එතුමන්ට තුති පුදත් වා!

22 ඔව්හු තුති පූජා පුදත් වා! ප්‍රීති ගී ගයා එතුමන්ගේ ක්‍රියා ප්‍රකාශ කරත් වා!

23 සමහරු නැව්වලින් සමුදුර තරණය කරති; මෙලෙස සිය ජීවිකාව සඳහා වෙළෙඳාම් කරති.

24 ඔව්හු සමිඳුන්ගේ ක්‍රියා ද මුහුද මත එතුමන් කළ අරුමපුදුම දේ ද දකිති.

25 මන්ද, එතුමාණෝ අණ දෙමින් එහි රැළ නංවන චණ්ඩ මාරුතය හටගැන්වූ සේක.

26 නැව් අහස උඩට විසි වී ගැඹුරේ පතිත විය. ඒ විපතින් නැවියෝ අධෛර්යයට පත් වූ හ.

27 ඔව්හු බේබද්දන් මෙන් වීසි වෙමින් වැනි වැනී ගියහ. ඔවුන්ගේ දස්කමින් පලක් නො වී ය.

28 එවිට ඔව්හු තමන්ගේ විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ට පැමිණි විපතින් ඔවුන් මුදාගත් සේක.

29 එතුමාණෝ කුණාටුව සංසිඳෙවු සේක. එවිට මුහුදේ රැළ නිසල විය.

30 නිසලතාව ඇති වූ බැවින් ඔව්හු සතුටු වූ හ. එතුමාණෝ ඔවුන් අදහස් කළ වරායට ඔවුන් පැමිණෙවු සේක.

31 සමිඳුන්ගේ තිර පෙම හා මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ එතුමන්ට තුති පුදත් වා!

32 ඔව්හු මහා සභාව මැද එතුමන්ගේ ශ්‍රේෂ්ඨත්වය පසසත් වා! ප්‍රජා මූලිකයන්ගේ රැස්වීමේ දී එතුමන්ට ප්‍රශංසා කරත් වා!

33 එතුමාණෝ ගංගා වැලි කතරට හරවන සේක; දිය උල්පතක් වියළි බිමක් කරන සේක.

34 එතුමාණෝ සරු බිම ලුණු කතරක් කරන සේක. ඊට හේතුව වැසියන්ගේ අපරාධ වන්නේ ය.

35 එතුමාණෝ කාන්තාරය දිය පොකුණක් කරන සේක; වියළි බිමක් දිය උල්පතක් ද කරන සේක;

36 සාගිනි වූවන් එහි වාසය කරවූ සේක; ඔව්හු ජීවත් වීමට සුදුසු නුවරක් සෑදුවෝ ය.

37 ඔව්හු කෙත් වපුරා මිදි වතු වගා කළෝ ය; එයින් සරු අස්වැන්න ලබාගත්හ.

38 ඔවුන්ට බොහෝ දරුපල ලැබෙන ලෙස එතුමාණෝ ඔවුන්ට ආසිරි දුන් සේක; ඔවුන්ගේ සිවුපාවුන්ගේ ගණන අඩු වන්න ඉඩ නුදුන් සේක.

39 ඉන්පසු දුක් පීඩා හා විපත්ති නිසා ඔවුන්ගේ ගණන අඩු වී ඔව්හු දුබල වූ හ.

40 එතුමාණෝ අධිපතීන් නින්දාවට පත් කොට, මං නැති පාළු තැන්වල මුළා වී යන්න සැලැසූ සේක.

41 එහෙත්, එතුමාණෝ දිළිඳුන් පීඩාවෙන් මුදා උසස් කොට බැටළු රැළක් මෙන් ඔවුන්ගේ පවුල් වැඩි කළ සේක.

42 සුදනෝ ඒ දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; දුදනෝ කලකිරීමට පත්වන්නෝ ය.

43 නුවණැත්තෝ මේ දේ සිතට ගනිත් වා! ඔව්හු සමිඳුන්ගේ තිර පෙම පිළිගනිත් වා!

Ceylon Bible Society

Ceylon Bible Society