රහසක්ව තිබූ අන්‍ය-ජාතිකයින් ගැන දේව සැලැස්ම1 මේ හේතුව නිසා, අන්‍ය-ජාතික වූ ඔබ උදෙසා ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සිරකරුවකු වන පාවුල් නම් මම— 2 ඔබ උදෙසා මට පවරනු ලැබ ඇති දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ භාරකාරත්වය ගැන ඔබ අසා ඇතැයි සිතමි. 3 එය නම්, දැනටමත් ලුහුඬින් මා ඔබට ලියා ඇති පරිදි, එළිදරවු කිරීම මඟින් මට දැනගන්නට සලසන ලද අබිරහසයි. 4 මේ දෑ කියවීමෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ අබිරහස ගැන මට ඇති අවබෝධය ඔබට වටහා ගත හැකි වෙයි. 5 උන්වහන්සේගේ ශුද්ධ අපෝස්තුලුවරුනට හා දිවැසිවරුනට ආත්මයාණන්වහන්සේ මඟින් දැන් හෙළිකර ඇති ඒ අබිරහස, ඉහත පරම්පරාවල මනුෂ්‍ය-පුත්‍රයින්ට හෙළි කරන ලද්දේ නැත. 6 ඒ අබිරහස නම්, ශුභාරංචිය මඟින් අන්‍ය-ජාතිකයින් ද ඉශ්‍රායෙල් ජනයා සමඟ සම උරුමකරුවන් බවත්, එකම ශරීරයක සම සාමාජිකයින් බවත්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ වූ පොරොන්දුවට සම කොටස්කරුවන් බවත් ය. 7 දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ තිළිණය මඟින් උන්වහන්සේගේ බලයේ ක්‍රියා කිරීම තුළින්, මම ඒ ශුභාරංචියේ සේවකයකු කරනු ලැබ සිටිමි. 8 සියලු ශුද්ධවන්තයින් අතරේ ඉතාම සුළු තැනැත්තා මා වුවත්, මට ඒ අනුග්‍රහය දී ඇත්තේ, තේරුම් ගෙන නිම කළ නො හැකි ක්‍රිස්තුස්වහන්සේගේ ඉසුර අන්‍ය-ජාතිකයිනට ප්‍රකාශ කිරීමටත්, 9 සෑම සියල්ල මැවූ දෙවියන්වහන්සේ තුළ යුග ගණනාවක් සඟවා තබන ලද මෙම අබිරහසේ සැලැස්ම හැම කෙනකුටම පහදා දීමටත් ය. 10 උන්වහන්සේගේ අරමුණ නම් දෙවියන්වහන්සේගේ අනේක විධ ප්‍රඥාව, දැන් සභාව මාර්ගයෙන් ස්වර්ගීය බලමණ්ඩලවල පාලකයින්ටත්, අධිපතීන්ටත් දැනගන්නට සැලැස්වීමයි. 11 එය කරනුයේ අපගේ ස්වාමියාණන් වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ උන්වහන්සේ මුදුන් පැමිණවූ උන්වහන්සේගේම සදාතනික අරමුණට අනුකූලව ය. 12 ක්‍රිස්තුස්වහන්සේ අදහා ගැනීම මඟින්, නිදහසේ, බිය සැක නැතිව ළඟා වීමට උන්වහන්සේ තුළ අපට පුළුවන. 13 එබැවින්, ඔබ උදෙසා මා විඳින දුක් ගැහැට ගැන අධෛර්යය නො වන ලෙස මම ඔබෙන් ඉල්ලමි, සැබවින් ම ඒවා ඔබගේ ගෞරවයයි. එපීසයයන් ගැන යැදුම14 මේ හේතුව නිසා පියාණන්වහන්සේ ඉදිරියේ මම දණ නමමි. 15 ස්වර්ගයේ හා පොළොවේ හැම පවුලක්ම තම නාමය ලබන්නේ උන්වහන්සේගෙනි. 16 උන්වහන්සේ තම ආත්මයාණන් මඟින් ස්වකීය තේජසේ ඉසුරෙන් ඔබේ ඇතුළාන්ත පුද්ගලයා බලයෙන් සවිමත් කරන ලෙස මම යාච්ඤා කරමි. 17 එසේ කරන්නේ, ඇදහිල්ල මඟින් ක්‍රිස්තුස්වහන්සේ ඔබේ හදවත්හි වාසය කරන පිණිස ය. තවද ප්‍රේමයෙහි ඔබ මුල් ඇද, ස්ථිරව පිහිටන පිණිසත්, 18 සියලු ශුද්ධවන්තයින් හා එක්ව ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයේ දිග හා පළලත්, උස හා ගැඹුරත් කොතෙක් ද කියා ග්‍රහණය කර ගැනීමේ බලය ඔබට ලැබෙන පිණිසත්, 19 දැනුම ඉක්මවාලන ඒ ප්‍රේමය දැනගැනීමට දෙවියන්වහන්සේගේ සකල පරිපූර්ණත්වයේ මිනුමට ඔබ පූර්ණ කරන පිණිසත් ය. 20 අප තුළ ක්‍රියා කරන ස්වකීය බලයට අනුව අප ඉල්ලන හෝ අප සිතන හෝ හැම දේටම වඩා බොහෝ වැඩියෙන් ක්‍රියා කිරීමේ අපරිමේය හැකියාවක් ඇති දෙවියන්වහන්සේට, 21 සභාව තුළත්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මඟින් සියලු පරම්පරාවන්හිදීත් සදහට ම තේජෝ මහිම වේවා. ආමෙන්! |
ශුද්ධ බයිබලය, සිංහල කාලීන පරිවර්තනය™, අලුත් ගිවිසුම
සියලු හිමිකම් ඇවිරිණි © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.
අවසර ඇතුව උපුටා ගනු ලැබී ය. ලොව පුරා සියලු හිමිකම් ඇවිරිණි.
Sinhala Contemporary Version™, New Testament
Copyright © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.
Used with permission. All rights reserved worldwide.
Biblica, Inc.