අනුන් විනිශ්චයකිරීම1 නුඹලා විනිශ්චයකරනු නොලබන පිණිස විනිශ්චය නොකරන්න. 2 මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චයකරනු ලබන්නහුය. යම් මිම්මකින් නුඹලා මැනදෙන්නහුද එයින්ම නුඹලාටත් මැනදෙනු ලබන්නේය. 3 නුඹේ ඇසේ තිබෙන දැවය නොසලකා, නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නෙහිද? 4 නොහොත් නුඹේම ඇසේ දැවය තිබියදී, සහෝදරයාට කථාකොට: නුඹේ ඇසේ තිබෙන රොඩ්ඩ පහකරන්ට අවසර දෙන්නැයි ඔහුට කෙසේ කියන්නෙහිද? 5 වංචාකාරය, පළමුකොට නුඹේ ඇසෙන් දැවය පහකරන්න; එවිට නුඹේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ පහකරන්ට ඔබට හොඳ හැටි පෙනෙන්නේය. 6 ශුද්ධ දේ බල්ලන්ට නොදෙන්න, නුඹලාගේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න, සමහරවිට උන් ඒවා පයින් පාගා හැරී නුඹලා ඉරාදමන්ට පුළුවන. යාච්ඤාකිරීමට ධෛර්යය දීම7 ඉල්ලන්න, එවිට නුඹලාට දෙනුලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ. 8 මක්නිසාද ඉල්ලන්නාවූ සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බවේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ. 9 නුඹලා අතරෙන් කවර මනුෂ්‍යයෙක් තමාගේ පුත්‍රයා රොටියක් ඉල්ලන්නේ නම්, ඔහුට ගලක් දේද? 10 නොහොත් ඔහු මත්ස්‍යයෙකු ඉල්ලන්නේ නම්, ඔහුට සර්පයෙකුදේද? 11 මෙසේ නපුරුවූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දන්නහු නම්, කොපමණ වැඩියෙන් ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ නොදෙනසේක්ද? රන් අණ12 එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න. ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් මේය. මාර්ග දෙක13 පටු දොරටුවෙන් ඇතුල්වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය. 14 මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය. බොරු ගුරුවරු සහ සැබෑ ගුරුවරු15 බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු කෲරවූ වෘකයෝය. 16 ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නහුය. මනුෂ්‍යයෝ කටුගස්වලින් මුද්‍රික ඵලවත් ගොකටුවලින් අත්තික්කා ඵලවත් නෙළාගනිද්ද? 17 එසේම සියලු හොඳ ගස් හොඳ ඵල දරයි; නුමුත් නරක ගහ නරක ඵල දරයි. 18 හොඳ ගහක නරක ඵලවත් නරක ගහක හොඳ ඵලවත් හටගන්නට බැරිය. 19 හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ, ගින්නෙහි දමනු ලැබේ. 20 එබැවින් ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳිනගන්නහුය. කීම සහ කිරීම21 ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය. 22 ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකීයෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත. 23 එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි. අත්තිවාරම් දෙක24 එහෙයින් යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළිපදීද, ඔහු පර්වතය පිට තමාගේ ගෙය සාදාගත් නුවණ ඇති මනුෂ්‍යයෙකුට සමානකරනු ලබන්නේය. 25 වැසි වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; එය පර්වතය පිට පිහිටා තිබුණු බැවින් නොවැටුණේය. 26 යමෙක් මාගේ මේ වචන අසා, ඒවා පිළි නොපදීද, ඔහු වැලි මත්තෙහි තමාගේ ගෙය සාදාගත් නුවණ නැති මනුෂ්‍යයෙකුට සමානකරනු ලබන්නේය. 27 වැසි වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; ඒක වැටුණේය. එහි වැටීමද බලවත්විය. 28 යේසුස්වහන්සේ මේ වචන කියා නිමකළ කල්හි, සමූහයෝ උන්වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මයට පත්වූවෝය. 29 මක්නිසාද උන්වහන්සේ ඔවුන්ගේ ලියන්නන් මෙන් නොව, බලය ඇති කෙනෙකු මෙන් ඔවුන්ට ඉගැන්වූසේක. |
Ceylon Bible Society
Ceylon Bible Society