ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ගීතාවලිය 148 - Sinhala Revised Old Version Sinhala Revised Old Version
ගීතාවලිය 148

මුළු මැවිල්ල ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකළ යුතු බව

1 ස්වාමීන්ට ප්‍රශංසා කරව්. ස්වර්ගවල සිට ස්වාමීන්ට ප්‍රශංසාකරව්. උස් තැන්හිදී උන්වහන්සේට ප්‍රශංසාකරව්.

2 උන්වහන්සේගේ සියලු දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. උන්වහන්සේගේ මුළු සේනාව, උන්වහන්සේට ප්‍රශංසාකරව්.

3 චන්ද්‍ර සූර්යයෙනී, උන්වහන්සේට ප්‍රශංසාකරව්. දීප්තිමත් තාරකා සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.

4 ස්වර්ගවල ස්වර්ගයෙනි, අහසට උඩින් තිබෙන ජලයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.

5 ඒ සියල්ලෝ ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා. මක්නිසාද උන්වහන්සේ අණකළසේක, එවිට ඒවා මවනලද්දේය.

6 උන්වහන්සේ සදාකාලේටම ඒවා පිහිටෙවුසේක. උන්වහන්සේ නැතිනොවන නියෝගයක් කළසේක.

7 මහා සර්පයන් හා ගැඹුරු තැන් සියල්ලෙනි,

8 ගිනි සහ ගල් වර්ෂාවෙනි, හිම සහ වාෂ්පයෙනි, උන්වහන්සේගේ ආඥාව ඉෂ්ටකරන මාරුතයෙනි,

9 කඳු හා හෙල් සියල්ලෙනි, ඵල දෙන ගස් හා කිහිරි වෘක්ෂ සියල්ලෙනි,

10 තිරිසනුන් හා සියලු සිව්පාවෙනි, උරගුන් හා පියාඹන පක්ෂීනි,

11 පොළොවේ රජුන් හා සියලු මනුෂ්‍ය වර්ගයෙනි, අධිපතීන් හා පොළොවේ සියලු විනිශ්චයකාරයෙනි,

12 තරුණයන් හා තරුණියෙනි, මහල්ලන් හා බාලයෙනි, පොළොවේ සිට ස්වාමීන්ට ප්‍රශංසාකරව්.

13 මොව්හු ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා; මක්නිසාද උන්වහන්සේගේ නාමය පමණක් උසස්ය. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය හා පොළොව මත්තෙහි පවත්නේය.

14 උන්වහන්සේ ස්වකීය සෙනඟගේ අඟ එසෙවුසේක, ස්වකීය සියලු ශුද්ධවන්තයන්ට එනම් තමන්ට ළංව සිටින සෙනඟක් වන ඉශ්‍රායෙල් පුත්‍රයන්ට, ප්‍රශංසා හේතුවක් නැගූසේක. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.

Ceylon Bible Society

Ceylon Bible Society