ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ගීතාවලිය 81 - Sinhala New Revised Version Sinhala New Revised Version
ගීතාවලිය 81


ආසාප්ගේ ගීතයකි.

මංගල ගීයක්

1 අපේ ශක්තිය වන දෙවිඳුන්ට ඉමහත් ප්‍රීති හඬ නඟන්න; ජාකොබ්ගේ දෙවිඳුන්ට තුති ගී හඬ නඟන්න.

2 ගී ගයා කිකිණි රබන් ගසන්න; මිහිරි වීණාව සහ කුඩා වීණාව වයන්න.

3 අමාවක දවසේ දී ද පසළොස්වක දවසේ දී ද අපේ මහා මංගල දවසේ දී ද හොරණෑව පිඹින්න.

4 එය ඉශ්රායෙල් ජනයාට නීතියක් වන්නේ ය; ජාකොබ්ගේ දෙවිඳුන් පැනවූ නියෝගයක් වන්නේ ය.

5 ජෝසෙප් මිසර දේශයෙන් පිටත් ව යන ගමනේ දී එතුමාණෝ එය ඔහුට නියෝගයක් ලෙස භාර දුන් සේක. නුපුරුදු හඬක් මෙසේ කියනු මම ඇසුවෙමි:

6 “මම ඔබේ කරෙන් බර ඉවත් කෙළෙමි; ඔබේ අත් දෙක කූඩා ඇදීමෙන් නිදහස් කෙළෙමි.

7 විපතේ දී ඔබ අඬගැසුවහු ය; මම ඔබ නිදහස් කෙළෙමි. මම අහස් ගිගුරුමේ සිට ඔබට පිළිතුරු දුන්නෙමි. මෙරිබා දිය උල්පත ළඟ දී මම ඔබ සෝදිසි කෙළෙමි.

8 අහෝ මාගේ සෙනඟෙනි! මා ඔබට විරුද්ධ ව අනතුරු අඟවන විට මට සවන් දෙන්න; අහෝ ඉශ්රායෙල්වරුනි! ඔබ මට සවන් දෙන්නහු නම්, කොපමණ යහපත් ද?

9 ඔබ අතර බොරු දෙවි දේවතාවන් නොසිටිය යුතු ය; විදේශීය දෙවි දේවතාවන් හට නමස්කාර නොකළ යුතු ය.

10 මිසරයෙන් ඔබ මුදා, ඔබ පිටතට ගෙනා දෙවි සමිඳාණෝ මම වන්නෙමි. ඔබේ මුව හොඳින් විවර කරන්න; එවිට මම ඔබ පෝෂණය කරන්නෙමි.

11 එහෙත්, මාගේ සෙනඟ මාගේ හඬට සවන් නුදුන්නෝ ය. ඉශ්රායෙල්වරු මට කීකරු නො වූ හ.

12 ඔවුන්ගේ ගල් සිත නිසා, මම ඔවුන් ප්‍රතික්ෂේප කෙළෙමි. එවිට ඔව්හු ඔවුන්ගේ ම මතිමතාන්තර අනුව ගමන් කළෝ ය.

13 මාගේ සෙනඟ මට සවන් දෙන්නෝ නම්, ඉශ්රායෙල්වරු මා අනුව එන්නෝ නම්, කොතරම් යහපත් ද?

14 එවිට මම ඔවුන්ගේ සතුරන් වහා පරාජය කරන්නෙමි; ඔවුන්ගේ එදිරිකාරයන්ට විරුද්ධ ව මම පහර දෙන්නෙමි.

15 සමිඳුන් හට වෛර කරන්නෝ එතුමන් අබිමුව බියෙන් පැකිළෙන්නෝ ය. ඔවුන්ගේ විපත සදහට ම තිර වන්නේ ය.

16 එතුමාණෝ ඉස්තරම් ධාන්‍යයෙන් ඔබ පෝෂණය කරන සේක. වන මී පැණියෙන් මම ඔබ සෑහීමට පත් කරන්නෙමි.”

Ceylon Bible Society

Ceylon Bible Society