Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 80 - Sinhala New Revised Version


ප්‍රසිද්ධ ආඥාවකි. ආසාප්ගේ ගීතයකි.


ජාතියේ ශෝක ගීය

1 ජෝසෙප්ගේ පරපුර බැටළු රැළක් මෙන් ගෙන යන ඉශ්රායෙල්වරුන්ගේ එඬේරාණෙනි, අපට සවන් දුන මැනව.

2 කෙරුබ්වරුන් මත අසුන් අරා දර්ශනය වුව මැනව. එප්‍රායිම්, බෙන්ජමින් සහ මනස්සේ යන අයගේ පෙළපත් අබිමුව තෙදින් වැජඹෙනු මැනව. අප මුදාගැනීමට වැඩිය මැනව.

3 අහෝ දෙවිඳුනි! අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.

4 අහෝ සමිඳුනි! සව් බලැති දෙවිඳුනි, ඔබේ සෙනඟගේ අයැදීම ගැන කොපමණ කල් ඔබ උදහස් ව සිටින සේක් ද?

5 දුක් නමැති ආහාර ඔබ අපට කන්න දුන් සේක; අපට කඳුළින් පිරුණු බඳුනක් බොන්න දුන් සේක.

6 අපේ අසල්වැසියන්ගේ පරිහාසයට ඔබ අප ලක් කළ සේක. අපේ සතුරෝ අපට උසුළු-විසුළු පෑවෝ ය.

7 සව් බලැති දෙවිඳුනි, අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.

8 ඔබ මිදි වැලක් වන අප මිසරයෙන් ගෙනා සේක; විජාතීන් පන්නාදමා ඔබ එය රෝපණය කළ සේක.

9 එය වැඩෙන පිණිස ඔබ තැනක් සූදානම් කළ සේක; එය ගැඹුරට මුල් ඇද්දේ ය. එය දේශය පුරා පැතිර ගියේ ය.

10 එහි සෙවණින් කඳුකර පෙදෙස ද එහි අතු රිකිලිවලින් මහ සීඩර් ගස් ද පවා වැසී ගියේ ය.

11 එහි අතු මුහුද දක්වා ද එහි රිකිලි යුප්‍රටීස් දක්වා ද විහිදී ගියේ ය.

12 මඟ යන එන සියල්ලන් එහි පල නෙළනු පිණිස එහි වැට කඩුලු වනසාලූයේ කුමක් නිසා ද?

13 වල් ඌරෝ එය පාගා දැම්මෝ ය; නිදැල්ලේ සැරිසරන වල් සත්තු එය කා දැම්මෝ ය.

14 අහෝ සව් බලැති දෙවිඳුනි! අප වෙත හැරුණ මැනව. සගලොව සිට නෙත් යොමා බලා මේ මිදිවැල වන අප රැකගත මැනව.

15 ඔබේ දකුණතින් රෝපණය කළ දේ සැලකුව මැනව; ඔබට ම සවිමත් කරගත් දේ බැලුව මැනව.

16 අපේ සතුරෝ එය කපා ගින්නෙන් පුළුස්සා දැමුවෝ ය. ඔබේ බැල්මේ තර්ජනයෙන් ඔව්හු වැනසී යති.

17 ඔබේ හස්තය ඔබේ දකුණු පස සිටින මිනිසා කෙරෙහි පතිත වේ වා! ඔබේ යහපතට ඔබ ම සවි ශක්තිමත් කළ ජාතිය කෙරෙහි එය පහළ වේ වා!

18 එවිට අපි කවදාවත් ඔබට පිටුපා නොයන්නෙමු. අපට ජීවත් වීමට ඉඩ දුන මැනව. අපි ඔබේ නාමයෙන් අයැද ඔබ පසසන්නෙමු.

19 අහෝ සමිඳුනි! සව් බලැති දෙවිඳුනි! අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්