ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ගීතාවලිය 76 - Sinhala New Revised Version Sinhala New Revised Version
ගීතාවලිය 76


ආසාප්ගේ කාව්‍යයකි. ගීතයකි.

ජයග්‍රාහී දෙවියන් වහන්සේ

1 දෙවිඳාණෝ ජුදාහි ප්‍රකාශ වූ සේක. ඉශ්රායෙල්වරුන් අතර එතුමන්ගේ නාමය ශ්‍රේෂ්ඨ ය.

2 එතුමන්ගේ මණ්ඩපය ජෙරුසලමෙහි වූයේ ය. එතුමන්ගේ නිවාසය සියොන් කන්දෙහි වූයේ ය.

3 එහි දී එතුමාණෝ සතුරන්ගේ ඊ සැරය බිඳ දැමූ සේක. ඔවුන්ගේ කඩුවට, පලිහට හා යුද අවියට එලෙස ම කළ සේක.

4 අහෝ දෙවිඳුනි! ඔබ කොපමණ මහිමාන්විත ද? සදා පවතින කඳු වැටියට වඩා කොපමණ තේජාන්විත ද?

5 ඔවුන්ගේ එඩිතර සෙබළුන් සතු දේ කොල්ලකනු ලැබී ය. දැන් ඒ වීරයෝ අවසාන නින්දට වැටී ඇත්තෝ ය. ඔවුන්ගේ බල විකුම් නිෂ්ඵල වී ඇත්තේ ය.

6 ජාකොබ්ගේ පරපුරේ දෙවිඳුනි, ඔවුන්ට ඔබ තර්ජනය කළ සේක. අශ්වයෝ හා අසරුවෝ මැරී වැටුණෝ ය.

7 සමිඳුනි, සියලු දෙන ඔබට ගරුබිය පෑ යුතු ය. ඔබේ දැවෙන උදහසට මූණ දීමට කවරෙක් සමත් වන්නේ ද?

8 ඔබ සුරපුර සිට තීන්දුව දීමට සැලැසූ සේක. ලොව තැති ගෙන නිහඬ වූයේ ය.

9 දෙවිඳුනි, ඔබ වහන්සේ විනිශ්චය සඳහා නැඟිටින සේක; මිහි පිට පීඩිත වූවන් ගළවනු පිණිස වඩින සේක.

10 මිනිසාගේ උදහසින් පවා ඔබේ මහිමය වැඩි වන්නේ ය. ඒ උදහසින් මිදෙන අය ඔබේ මංගල්‍යය පවත්වන්නෝ ය.

11 ඔබේ දෙවි සමිඳුන් හට බාරහාර වී ඒවා ඉටු කරන්න. එතුමන් වටා සිටින්නෝ ගරුබිය පෑ යුතු තැනැන් වහන්සේට පඬුරු ගෙනෙත් වා!

12 එතුමාණෝ රජ දරුවන් මඬින සේක. ශ්‍රේෂ්ඨ භූපතීන් තුළ බිය ඇති කරවන සේක.

Ceylon Bible Society

Ceylon Bible Society