Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 77 - Sinhala New Revised Version


ආසාප්ගේ ගීතයකි.


විපතේ දී මඟපෙන්වීම

1 මම දෙවිඳුන් හට මොරගසමි; එසේ ය, උස් හඬින් දෙවිඳුන් හට මොරගසමි. එතුමාණෝ මට සවන් දෙන සේක.

2 විපත්ති කාලයේ දී මම මාගේ සමිඳුන්ට යදිමි. මුළු රැය ම එතුමන් වෙත දෑත ඔසවා යැදුම් යදිමි. එහෙත්, මට සැනසුම සොයාගත නොහැකි ය.

3 දෙවිඳුන් ගැන සිතමින් මම සුසුම් හෙළන්නෙමි; මා භාවනා කරන විට මම අධෛර්ය වන්නෙමි.

4 එතුමාණෝ මුළු රැය ම මා අවදිව තබන සේක. කතා කරන්නට බැරි තරමට මම කැළඹී සිටින්නෙමි.

5 යටගිය දවස් ගැන මම කල්පනා කරන්නෙමි; ගෙවී ගිය අවුරුදු සිහිපත් කරන්නෙමි.

6 මුළු රෑ පුරා මම භාවනා කරන්නෙමි. මම මෙනෙහි කරමින් මාගෙන් ම මෙලෙස අසන්නෙමි.

7 “සමිඳාණෝ සදහට ම අප අත් හරින සේක් ද? එතුමාණෝ යළි අපට කරුණාව නොපෙන්වන සේක් ද?

8 එතුමන්ගේ තිර පෙම සහමුලින් ම පහ ව ගොස් තිබේ ද? එතුමන් දුන් පොරොන්දුව සදහට ම ඉටු නොකරන සේක් ද?

9 දෙවිඳාණෝ කරුණාව පෑමට අමතක කර ඇද් ද? නැතහොත් උදහස නිසා දයාව අත්හළ සේක් ද?”

10 එවිට මම කතා කොට, “මට ඉතා වේදනා දෙන්නේ මෙය වේ; මන්ද, මහෝත්තමයාණන්ගේ බලය ඉවත් ව ගොස් තිබේ යැ”යි කීවෙමි.

11 සමිඳුනි, ඔබේ තේජාන්විත ක්‍රියා මම සිහි කරන්නෙමි. ඔබ පෙර කළ අරුමපුදුම දේ මම කියා පාන්නෙමි.

12 ඔබේ ක්‍රියා සියල්ල මම සිහි කරන්නෙමි, ඔබේ ප්‍රබල ක්‍රියා ගැන මම භාවනා කරන්නෙමි.

13 අහෝ දෙවිඳුනි! ඔබේ ක්‍රියා මාර්ගය විශුද්ධ ය; අපේ දෙවිඳුන්ට වඩා ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් ඇද් ද?

14 හාස්කම් පාන දෙවිඳාණෝ ඔබ වහන්සේ ය. ජාතීන් අතර ඔබේ බල මහිමය ඔබ පෙන්වා ඇත්තේ ය.

15 ඔබේ බලවත් හස්තයෙන් ඔබ තුමන් සෙනඟ මුදා ලූ සේක. ජාකොබ්ගේ සහ ජෝසෙප්ගේ පෙළපත් ඔබ ගළවා ලූ සේක.

16 අහෝ දෙවිඳුනි! ජලධාරාවෝ ඔබ දුටු විට භය වූ හ. සාගර පත්ල පවා බියෙන් ඇලළී ගියේ ය.

17 වලාකුළුවලින් වැසි වැස්සේ ය; අහස ගිගුරුම් හඬ දුන්නේ ය; විදුලි සැර දසත විහිදී ගියේ ය.

18 ඔබේ හෙණ හඬ අහස් කුසේ ගිගුම් දිනි. විදුලි කෙටීම් ලොව එළි කෙළේ ය. පොළොව කම්පා වී දෙදරා ගියේ ය.

19 මුහුද මැදින් ඔබේ මාවත විය. ගැඹුරු සමුදුර මැදින් ඔබ ගමන් කළ සේක. එහෙත්, ඔබේ පා සටහන් පෙනෙන්නට නො වී ය.

20 මෝසෙස්ගේ සහ ආරොන්ගේ මඟපෙන්වීම ඇති ව, ඔබ ඔබේ ජනතාව බැටළුවන් මෙන් ගෙන ගිය සේක.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්