ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ගීතාවලිය 147 - Sinhala New Revised Version Sinhala New Revised Version
ගීතාවලිය 147

සව් බලැති දෙවිඳුන් පැසසීම

1 සමිඳුන්ට ප්‍රශංසා කරන්න; අපේ දෙවිඳුන්ට පසස් ගී ගැයීම යහපත් ය. එතුමන් පැසසීම පියකරු ය, හොබනේ ය.

2 සමිඳාණෝ ජෙරුසලම ගොඩනඟන සේක. විප්‍රවාසී වූ ඉශ්රායෙල් සෙනඟ රැස් කරන සේක.

3 එතුමාණෝ බිඳුණු සිත් ඇත්තන් සුව කරන සේක; ඔවුන්ගේ තුවාළ බඳින සේක.

4 එතුමාණෝ තාරකා ගණන නියම කළ සේක. ඒ සියල්ලට නම් තබන සේක.

5 අප සමිඳාණෝ උතුම් ය: ඉතා බලසම්පන්න ය; එතුමන්ගේ ඥානය අසීමිත ය.

6 සමිඳාණෝ දීනයන් ඔසවන සේක; දුදනන් පහතට හෙළන සේක.

7 තුති පුදා සමිඳුන්ට ගී ගයන්න; වීණා වැයීමෙන් අපේ දෙවිඳුන් පසසන්න.

8 එතුමාණෝ වලාකුළුවලින් අහස ආවරණය කරන සේක; පොළොවට වැසි වස්වන සේක. කඳු මත තෘණ වැවෙන්නට සලසන සේක.

9 එතුමාණෝ මෘගයන්ටත්, හඬන කපුටු පැටවුන්ටත් කෑම දෙන සේක.

10 සවි බලැති අසුන්ගෙන් එතුමන්ට කම් නැත. වේගයෙන් දුවන සෙබළුන්ගෙන් එතුමන්ට වැඩක් නැත.

11 එහෙත් සමිඳාණෝ, තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට, තමන්ගේ ප්‍රේමය පතන්නන්ට, ප්‍රසන්න වන සේක.

12 එම්බා ජෙරුසලම! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සියොන් ගිර, තිගේ දෙවිඳුන්ට ප්‍රශංසා කරන්න.

13 මන්ද, එතුමාණෝ තිගේ වාසල් දොරටුවල අගුල් සවිමත් කළ සේක; තිගේ දරුවන්ට ආශීර්වාද කළ සේක.

14 තිගේ සීමා තුළ සාමය සිදු කරන සේක; ඉස්තරම් තිරිඟු පිටියෙන් තෘප්තියට පමුණුවන සේක.

15 එතුමාණෝ ස්වකීය ආඥාව පොළොවෙහි ඉම දක්වා යවන සේක. එතුමන්ගේ වචන යුහු ව පැතිර යයි.

16 එතුමාණෝ බැටළු ලොම් මෙන් හිම වස්වන සේක. අළු මෙන් පිනි කැට විසුරුවන සේක.

17 සිය හිම කැට කැබෙලි කොට විසුරුවන සේක. එතුමන් එවන ශීතලය දරන්නට පුළුවන් කවරෙකුට ද?

18 එතුමාණෝ අණ දෙන සේක; හිම කැට දිය වන්න සලස්වන සේක. එතුමාණෝ හුළඟ හමන්න සලස්වන සේක. එවිට ජලය ගලා යන්නේ ය.

19 එතුමාණෝ ජාකොබ්ට සිය වචනය ද ඉශ්රායෙල්ට සිය පණත් සහ නියමයන් ද ප්‍රකාශ කරන සේක.

20 එතුමාණෝ වෙන කිසි ජාතියකට මෙසේ නොකළ සේක. ඔව්හු එතුමන්ගේ නියමයන් දැන නොගත්තෝ ය. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!

Ceylon Bible Society

Ceylon Bible Society