Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 148 - Sinhala New Revised Version


මුළු විශ්වයෙන් සමිඳුන්ට පැසසුම්

1 සමිඳුන් පසසන්න. සගලෝ සිට සමිඳුන් පසසන්න. උස් තැන්හි දී ඔබ හැම එතුමන් පසසන්න.

2 එතුමන්ගේ සියලු දූතයෙනි, එතුමන් පසසන්න. එතුමන්ගේ මුළු සේනාවෙනි, එතුමන් පසසන්න.

3 ඉර හඳ මඬලෙනි, එතුමන් පසසන්න. දිළිහෙන තරු සියල්ලෙනි, එතුමන් පසසන්න.

4 උසස් ම ස්වර්ගයෙනි, අහසට උඩින් තිබෙන ජලයෙනි, එතුමන් පසසන්න.

5 ඒ සියල්ලෝ සමිඳුන්ට ප්‍රශංසා කරත් වා! මන්ද, එතුමාණෝ අණ කළ සේක. එවිට ඒවා මවන ලද්දේ ය.

6 එතුමාණෝ සදහට ම ඒවා පිහිටෙවූ සේක. ඒවාට ඉක්මවා ගිය නොහැකි සීමාවක් තැබූ සේක.

7 මහ මුහුද හා එහි වසන මසුනි,

8 ගිනි හා ගල් වැහි වලාවෙනි, හිම හා වාෂ්පයෙනි, එතුමන්ගේ අණ ඉටු කරන මාරුතයෙනි, පොළොවේ සිට සමිඳුන් පසසන්න.

9 කඳු හා හෙල් සියල්ලෙනි, පල දෙන ගස් හා කිහිරි රුක් සියල්ලෙනි,

10 වන සතුන්, උරගයින්, පක්ෂීන් හා සියලු සිව්පාවෙනි, සමිඳුන් පසසන්න.

11 මිහි පිට රජවරුන් හා සියලු මිනිස් වර්ගයෙනි, අධිපතිවරුනි, ලොවේ සියලු විනිසකරුවෙනි,

12 තරුණ තරුණියනි, මහල්ලන් හා බාලයෙනි, සමිඳුන් පසසන්න.

13 මොවුහු සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරත් වා! එතුමන්ගේ නාමය පමණක් උදාරතර ය. එතුමන්ගේ මහිමය අහසත්, පොළොවත් ඉක්මවා යන්නේ ය.

14 එතුමන්ගේ සියලු සෙනඟ ද එතුමන්ට ප්‍රිය ඉශ්රායෙල් සෙනඟ ද සියලු සැදැහැවතුන් ද පැසසුමට හා මහිමයට එතුමාණෝ එසෙවූ සේක. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්