ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


හිතෝපදේශ 14 - Sinhala New Revised Version 2018 Sinhala New Revised Version 2018
හිතෝපදේශ 14

1 නැණවත් වනිතාව සිය පවුල ගොඩනඟන්නී ය; අනුවණ වනිතාව සිය අතින් ම එය බිඳදමන්නී ය.

2 අවංක මිනිසා සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්තෙකි; වංක මිනිසා එතුමන් හෙළා දකියි.

3 මෝඩයාගේ දොඩමළු කතා තමාට ම පහර දෙන ඉපලකි; ප්‍රාඥයාගේ කියුම් ඔහුට රැකවරණය දෙන්නකි.

4 ගවයන් නැති විට අටුකොටු හිස් ව ඇත; ගවයන් ඇති විට අටුකොටු පිරී ඇත.

5 විශ්වාසී සාක්ෂිකරු බොරු නොකියයි: බොරු සාක්ෂිකරුවෙක් බොරුව ම කියයි.

6 උඩඟු මිනිසා ප්‍රඥාව සොයතත්, එය නොලබයි; බුද්ධිමතා පහසුවෙන් ම දැනුම ලබයි.

7 අඥානයා කෙරෙන් ඈත් වන්න; ඔහුට කලඳක් වත් දැනුම නැති බව ඔබට පෙනේ.

8 නැණනුවණ ඇති අය ජීවන මඟ තේරුම්ගනිති; අනුවණ අය සිය මෝඩකමින් මංමුළා වෙති.

9 අනුවණයාට පාපය සෙල්ලමකි; අවංක අයට පාප කමාව අවශ්‍ය දෙයකි.

10 ඔබේ දුක සැප දන්නේ ඔබ ම ය; අන් කෙනෙකුට එය ඔබ සමඟ විඳිය නොහැකි ය.

11 දුෂ්ටයන්ගේ නිවෙස විනාශ වනු ඇත; අවංක අයගේ නිවෙස පවතිනු ඇත.

12 මිනිසෙකුට හරි යයි පෙනෙන මඟ අවසානයේ දී මරණය විය හැක.

13 සිනාවේ පවා සිත් තැවුලක් විය හැක; ප්‍රීතියේ කෙළවර ශෝකය විය හැක.

14 දුදනා සිය ක්‍රියාවල විපාකය ලබයි; සුදනා තම ක්‍රියාවල ප්‍රතිඵල ලබයි.

15 නූගතා තමාට ඇසෙන සැම දෙය ම විශ්වාස කරයි; උගතා තම පියවර හොඳින් විමසා බලයි.

16 ප්‍රඥාවන්තයා නපුරට බිය වී ඉන් ප්‍රවේසම් වෙයි; අඥානයා උඩඟු වී දුර දිග නොබලා, ක්‍රියා කරයි.

17 වහා කිපෙන්නා අනුවණ ලෙස ක්‍රියා කරයි. එහෙත් නුවණැතියා ශාන්ත ව සිටියි.

18 අනුවණයන්ට මෝඩකමේ පල විපාක උරුම වෙයි; එහෙත් නුවණැත්තෝ දැනුම නමැති කිරුළ පැළඳගනිති.

19 නපුරෝ යහපතුන් අබිමුව වැඳ වැටෙති; දුදනෝ දැහැමියන්ගේ දොරටු ළඟ වැඳ වැටෙති.

20 දිළින්දාට කිසි ම හිතවතෙක් නැත; පොහොසතාට නම් බොහෝ මිතුරෝ ඇත.

21 කෙනෙකු හෙළා දැකීම පාපයකි; දිළිඳුන්ට අනුකම්පා කිරීම වාසනාවකි.

22 නපුරු උපා යොදන්නා බරපතල වරදක් කරයි; යහපත කරන්නා කරුණාව ද විශ්වාසය ද ලබයි.

23 වැඩක යෙදුණොත් ජීවිකාව ලැබේ; කතාවට ම වැටුණොත් දිළිඳුකම ලැබේ.

24 නැණවතුන්ගේ කිරුළ ඔවුන්ගේ නැණනුවණ වේ; අඥානයන්ගේ ඔටුන්න ඔවුන්ගේ අනුවණකම වේ.

25 සැබෑ සාක්ෂිකරු ජීවිත ගළවයි; බොරු සාක්ෂිකරු ජීවිත පාවා දෙයි.

26 දේව ගරුබිය ඇත්තා හට ආත්ම විශ්වාසය ඇත; ඔහුගේ දූ දරුවන්ට ආරක්ෂාව ද ඇත.

27 දේව ගරුබිය ජීවන උල්පතකි; එයින් නුඹ මාරක මලපතින් මිදෙන්නෙහි ය.

28 රජුගේ මහේශාක්‍යය රඳා ඇත්තේ සෙනඟගේ සංබ්‍යාව පිට ය; සෙනඟ අඩුකම ඔහුට මදිකමකි.

29 කෝපයට පමා වන්නා ඉතා නුවණැති කෙනෙකි; වහා කිපෙන්නා සිය මෝඩකම විදහා පාන්නේ ය.

30 නිසල් සිත, ගතට සුවය දෙයි; ඊර්ෂ්‍යාව, ඇටකටුවලට පිළිකාවකි.

31 දිළිඳාට පීඩා කරන්නා සිය මැවුම්කරු හට නින්දා කරයි; දිළිඳාට කරුණාව දක්වන්නා එතුමන්ට ගරු කරයි.

32 දුෂ්ටයා දුෂ්ට ක්‍රියාවලින් පිරිහෙයි; ධර්මිෂ්ඨයා සිය දැහැමිකමින් සුරැකෙයි.

33 නුවණැතියාගේ සිතෙහි ප්‍රඥාව පවතියි; අඥානයා ප්‍රඥාව ගැන කිසිත් නොදනියි.

34 ධර්මිෂ්ඨකම ජාතියක් උසස් කරයි; කවර ජාතියට වුව ද පාපය නින්දාවකි.

35 කාර්යක්ෂම නිලධාරීන් හට නිරිඳෝ ප්‍රසන්න වෙති; යුතුකම් පැහැර හරින අයට ඔව්හු දඬුවම් දෙති.