පිළිසරණ සඳහා යැදුමදාවිත්ගේ ගීතයකි. 1 සමිඳාණන් වහන්ස, මාගේ විවාදකරුවන් සමඟ විවාද කළ මැනව; මා හා සටනට එන අය සමඟ සටන් කළ මැනව. 2 පලිහත්, මහා පලිහත් ගෙන මට පිහිට වුව මැනව. 3 හෙල්ලය ඇද, මා ලුහුබැඳ එන අය වළකා ලුව මැනව; ඔබ මාගේ පිළිසරණ බව මට පැවසුව මැනව. 4 මා වැනසීමට සොයන්නෝ ලජ්ජාවට හා නින්දාවට පැමිණෙත් වා! මා නැසුමට උපා යොදන්නෝ වියවුල් වී ආපසු යත් වා! 5 ඔව්හු පවනෙහි පා වන බොල් මෙන් වෙත් වා! සමිඳුන්ගේ දූතයා ඔවුන් පලවා හරී වා! 6 ඔවුන්ගේ මාවත අඳුරු, ලිස්සන පාරක් වේ වා! සමිඳුන්ගේ දූතයා ඔවුන් ලුහුබැඳ යේ වා! 7 කරුණක් නැතිව ම මා ඇල්ලීමට ඔව්හු මලපත් දැමූ හ; මා බැඳගැන්මට ගැඹුරු වළක් තැනූ හ. 8 නොදැනුවත්ව ම ඔව්හු විපතට යත් වා! තමන් දැමූ දැලෙහි තුමූ ම අසු වෙත් වා! තමන් කැපූ වළෙහි තුමූ ම වැටෙත් වා! 9 මම හිමිතුමාණන් ගැන ප්රීති ප්රමෝද වන්නෙමි; මා ගැළෙව්වේ හිමිතුමාණන් බැවින් තුටු පහටු වන්නෙමි. 10 මාගේ මුළු සිතින් මෙපවත් මම පවසන්නෙමි: “ඔබ වැනි උතුමෙක් මුළු ලොව ඇද් ද? ප්රබලයන්ගෙන් දුබලයන් රක්නා, පීඩාකරුන්ගෙන් දිළිඳුන් රැකගන්න වෙන උතුමෙක් තවත් ඇද් ද?” 11 අදමිටු දන නැඟී ඉදිරිපත් ව මා කිසිවක් නොදන්න අපරාධ ගැන වරද තබා සාක්කි කියති. 12 යහපත කළ මට ඇත්තේ නපුර පමණි; මට කිසි බලාපොරොත්තුවක් දැන් නැත. 13 ඔවුන් රෝගාතුර වූ දවසේ දී මම ගෝණි රෙදි ඇන්දෙමි; උපවාසයේ සිටියෙමි; සිරස නමා යාදිනි පිදුවෙමි. 14 මිතුරෙකු හෝ සොහොයුරෙකු හෝ ගැන මෙන් ක්රියා කෙළෙමි; සිය මව ගැන දුක් වන සේ දුකින් වැතිර සිටියෙමි. 15 එහෙත්, මා විපතට වැටුණු දිනේ ඔව්හු මා අවටින් රැස් කකා ප්රීති වූ හ. මා නොදත් දුදනෝ නොනැවතී මට නිගා කළහ. 16 මට දුක් දී සමච්චල් කොට, මා කෙරේ වෙර බැඳ දත්මිටි කෑ හ. 17 සමිඳුනි, මෙය දැක දැක කොපමණ කල් ඔබ බලා සිටින සේක් ද? ඔවුන්ගේ පහරවලින් මා මිදුව මැනව; මේ රුදුරු සිංහයන්ගෙන් මා දිවි රැක දුන මැනව. 18 එවිට මම මහා සභාවේ දී ඔබට තුති පුදන්නෙමි; විසල් ජනකායක් අබිමුව ඔබට පැසසුම් කරන්නෙමි. 19 මාගේ සතුරෝ අයුක්ති සහගත ව මාගේ දුක ගැන ප්රීතිමත් නොවෙත් වා! මාගේ දුක් ගැනවිලි ගැන බැල්මෙන් සෙනඟ කුල්මත් නොවෙත් වා! 20 සුහද කතා ඔවුන් වෙත නැත; රටේ සාමකාමී අයට එරෙහි ව ඔව්හු බොරු බේගල් ගොතති. 21 ඔව්හු මට විරුද්ධ ව කට අයා, “අනේ හොඳ යි! ඔබ කළ දේ අප දුටුවා”යි කියති. 22 සමිඳුනි, ඔබ එය දුටු සේක. නිහඬ ව නොසිටිය මැනව. මා වෙතින් ඈත් ව නොගිය මැනව. 23 මාගේ දෙවිඳුනි, මාගේ සමිඳුනි, මා වෙනුවෙන් ඉදිරිපත් වුව මැනව; මාගේ නඩුව අසා, යුක්තිය ඉටු කළ මැනව. 24 මාගේ දෙවි සමිඳුනි, ඔබ සාධාරණකම අනුව මා විනිශ්චය කළ මැනව; සතුරෝ මා ගැන කුරිරු සිතින් ප්රීති නොවෙත් වා! 25 “අපේ වැඩේ හරි”යි ඔව්හු නොකියත් වා! “අප ඔහු කා දැම්මා” කියා ඔව්හු නොකියත් වා! 26 මාගේ දුක ගැන හිත පුරා ප්රීති වන අය ලජ්ජාවට හා වියවුලට පැමිණෙත් වා! මට අපහාස කරන අය ලජ්ජාවට හා අපකීර්තියට ලක් වෙත් වා! 27 මා නිදහස්වීම ගැන සන්තෝෂ වන අය ප්රීති ඝෝෂා පවත්වමින්, යළි යළිත් මෙසේ කියත් වා! “සමිඳාණෝ උසස් වන සේක; තම මෙහෙකරුගේ ජය ගැන එතුමාණෝ ප්රීති වන සේක.” 28 එවිට මා මුවින් ඔබේ දැහැමිකම වර්ණනා කරමි; දවස පුරා ඔබ ගැන ප්රශස්ති ගීත ගයන්නෙමි. |