Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 36 - Sinhala New Revised Version 2018


මිනිසාගේ දුෂ්ටකම
සමිඳාණන් වහන්සේගේ සේවක දාවිත්ගේ ගීතයකි.

1 දුදනාගේ හද පත්ලෙහි පවට පෙළඹීම ඇත; ඔහු තුළ දේව ගරුබිය නැත.

2 සිය අයුතුකම් හෙළි වී පිළිකුල් කරනු නොලබන්නේ යැයි ඔහු තමා ම පාරට්ටු කරගනියි.

3 ඔහුගේ මුඛය අයුතුකම හා වංචාවෙන් පිරී ඇත; ඔහු ප්‍රඥාවට පිටුපා යහපත නොකරයි.

4 ඔහු යහනේ සිටින විට පවා මැරවරකම් යෝජනා කරයි; අයහපත් මඟක ම හැසිරෙයි; නපුරු කිසිවකට පිළිකුල් නොකරයි.


දෙවියන් වහන්සේගේ යහපත්කම

5 සමිඳාණන් වහන්ස, ඔබේ නොනස්නා පෙම්කඳ අහස දක්වා නඟියි; ඔබේ විශ්වාසවන්තකම වලාකුළු ඉක්මවා යයි.

6 ඔබේ දැහැමිකම උස් කඳුවැටි හා සමාන ය; ඔබේ විනිශ්චයයෝ මහ සයුර මෙන් ගැඹුරු ය. සමිඳුනි, ඔබ මිනිසා ද මෘගයා ද රක්නා සේක.

7 ඔබේ නොනස්නා පෙම්කඳ කොතරම් අනගි ද? නර සුර දෙගොල්ල ම ඔබේ පියාපත් සෙවණෙහි රැකවරණය ලබති.

8 ඔව්හු ඔබේ මැදුරෙහි සව්සිරි සැපතින් මොනවට සතුටු වෙති; ගලා යන ඔබේ ප්‍රීති ගංගාවෙන් ඔබ ඔවුන්ට බොන්න දෙන සේක.

9 ජීවන උල්පත ඔබ වෙත ඇත; ඔබේ එළියෙන් අපි එළිය දකිමු.

10 ඔබ හඳුනන අයට ඔබේ තිර පෙම්කඳ ද අවංක සිත් ඇති අයට ඔබේ දැහැමිකම ද නොනවත්වා පෙන්නුව මැනව.

11 උඩඟු අය මට පහර නොදෙත් වා! නපුරු අය මා පලවා නොහරිත් වා!

12 දුදනෝ බිමට වැටී පෙරළී සිටිති. ඔවුන්ට තවත් නැඟිටීමක් නැත.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්