ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ගීතාවලිය 116 - Sinhala New Revised Version 2018 Sinhala New Revised Version 2018
ගීතාවලිය 116

මරණින් මිදීම ගැන ස්තුති දීම

1 සමිඳාණන් වහන්සේට ප්‍රේම කරමි, මන්ද, එතුමාණෝ මගේ අයැදුම ද මාගේ කන්නලව්ව ද ඇසූ සේක.

2 එතුමාණන් මා දෙසට කන් යොමු කළ බැවින් දිවි ඇතිතාක් මම එතුමාණන්ට යාච්ඤා කරන්නෙමි.

3 මාරක රැහැනෙන් මම වෙළුණෙමි. පාතාලයේ වේදනා මා අසු කරගත්තේ ය; විපත හා දුක මා වෙළාගත්තේ ය.

4 එවිට මම සමිඳුන්ගේ නාමයෙන් අයැදිමි; “සමිඳුනි, මා මිදුව මැනවැ”යි කීමි.

5 සමිඳාණෝ දයාවන්ත ය; දැහැමි ය. එසේ ය, අපේ දෙවිඳාණෝ අනුකම්පාවෙන් යුක්ත ය.

6 සමිඳාණෝ නිහතමානි අය සුරකින සේක. මා අනතුරේ වැටී සිටිය දී එතුමාණෝ මා ගළවාගත් සේක.

7 මාගේ සිත, යළි සන්සුන් වන්න. මන්ද, සමිඳාණෝ ඔබට බොහෝ සේ යහපත්කම් කළ සේක.

8 එතුමාණෝ මාගේ ජීවිතය මරණයෙන් ද මාගේ ඇස් කඳුළෙන් ද මාගේ පාද පැකිළීමෙන් ද ගළවාගත් සේක.

9 එසේ හෙයින්, මම ජීවතුන් අතර සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන්නෙමි.

10 “මම බොහෝ පීඩා විඳිමි”යි කී අතර වුව ද මාගේ විශ්වාසය තිර ලෙස රැකගතිමි.

11 මා භීතියට පත් ව සිටිය දී, “මිනිසෙකු තුළ බලාපොරොත්තුව තැබීම නිෂ්ඵල ය”යි කීවෙමි.

12 සමිඳුන් මා හට කළ සියලු යහපත්කම් ගැන එතුමාණන්ට මම කුමක් පුදම් ද?

13 මම ගැළවීමේ කුසලාන ගන්නෙමි; සමිඳුන්ගේ නාමයෙන් යාච්ඤා කරන්නෙමි.

14 එසේ ය, සමිඳුන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ බාරහාර මම ඉටු කරන්නෙමි.

15 සැදැහැවතුන්ගේ මරණය සමිඳුන් අබියස අගනේ ය.

16 සමිඳුනි, මම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; සැබැවින් ම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; ඔබේ දාසිගේ පුත්‍රයා වෙමි. ඔබ මාගේ බැඳුම් මිදූ සේක.

17 මම ඔබට ස්තුති පූජාව පුදන්නෙමි; සමිඳුන්ගේ නාමය අමතා අයැදින්නෙමි.

18 එසේ ය, සමිඳුන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ බාරහාර ඉටු කරන්නෙමි,

19 සමිඳුන්ගේ මාලිගාවේ මළුවල දීත්, එම්බා ජෙරුසලම! තී මධ්‍යයෙහි දීත් එසේ කරන්නෙමි. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.