Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

උපදේශකයා හෙවත් සිරාක් 44 - Sinhala New Revised Version 2018


ආදි පියවරුන් පැසසීම

1 පරපුරෙන් පරපුරට පැමිණි අපගේ ආදි පියවරුන් වන සත්කීර්තිමත් මිනිසුන් පැසසීම අපි දැන් අරඹමු.

2 සමිඳාණෝ විපුල මහිමයෙන් ඔවුන් සැරසූ සේක. ආදි යුගයෙහි සිට සිය ශ්‍රේෂ්ඨත්වය විදහා ලූ සේක.

3 ඇතැමෙක් භූපතීන් මෙන් අධිකාරි බලය පෙන්වූ හ. මෙලෙස ඔවුන්ගේ බලසම්පන්නකම නිසා ඔව්හු යසස් ලත්හ. ඇතැමෙක් නුවරුන්ට උපදේශකයෝ වූ හ. ඔව්හු දූරදර්ශී දිවැස් වැකි ප්‍රකාශ කළහ.

4 ඇතැමෙක් තම උවදෙස් මඟින් ද පොදු ජනතාව පිළිබඳ නැණනුවණින් ද තම ඉගැන්වීම්හි පැණසර වදනින් ද ජනතාවට මඟ පෙන්වූ හ.

5 ඇතැමෙක් කන්කලු ගීත රචනය කළහ. මෙලෙස ඔව්හු සැහැලි ගෙතූ හ.

6 ඇතැමෙක් ධනවත් වූ හ, බලවත් වූ හ; සාමකාමී ව සිය නිවෙස්හි විසූ හ.

7 මේ සියලු දෙන තත්කාලීනයන් විසින් ගරු කරනු ලැබූ හ. ඔව්හු සිය ජීවිත කාලයෙහි දී මහිමවත් වූ හ.

8 ඔවුන් අතරෙහි සමහරෙක් උදාර නාමයක් තබා ගියහ. එබැවින් තවමත් ඔවුන්ගේ ගුණ ගයනු ලැබේ.

9 තවත් අය ඔවුන් සිහි වීමට කිසිවක් තබා නොගියහ. ජීවත් වී නො සිටියාක් මෙන් ඔව්හු නොපෙනී ගියහ. දැන් ඔවුන් මිහි පිට කිසි දාක නොසිටියාක් මෙනි. ඔවුන්ගෙන් පැවතෙන දරුවන්ට ද එලෙස වනු ඇත.

10 එහෙත් මෙන්න, සත්ගුණවත් මිනිසුන්ගේ නාමාවලියක්. ඔවුන්ගේ සාධු ක්‍රියා අමතක වී ගොස් නැත.

11 ඔවුන්ගේ පරපුරෙන් පැවතෙන අය අතර, ඔවුන්ගෙන් ජනිත, වටිනා ප්‍රවේණියක් ඇති වන්නේ ය.

12 ඔවුන්ගෙන් පැවතෙන්නෝ ගිවිසුම්වලට ගරු කරති. ඔවුන් නිසා ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝ ද එලෙස කරති.

13 ඔවුන්ගේ දරුදැරියෝ සදා පවතින්නෝ ය. ඔවුන්ගේ මහිමය මලානික නොවනු ඇත.

14 ඔවුන්ගේ මළසිරුරු සාමයෙන් වළලන ලදී. පරපුරෙන් පරපුරට ඔවුන්ගේ නාමය පවතිනු ඇත.

15 සෙනඟ ඔවුන්ගේ ප්‍රඥාව පවසන්නෝ ය. සභාව ඔවුන් ගැන පසස් ගී ගයන්නී ය.


ඒනොක්

16 ඒනොක් සමිඳුන් හට ප්‍රසන්න වූයේ ය. ඔහු හැරගෙන යන ලද්දේ ය. සිය පරම්පරාවල සිත් හැරීමට ආදර්ශයකි.


නෝවා

17 නෝවා සම්පූර්ණ ලෙස දැහැමි ව සිටියේ ය. උදහස පැමිණි කාලයේ දී ඔහුගේ වංශය විනාශයෙන් ගළවා නැවත ඇති කළ සේක. ජලගැල්ම ඇති වූ කාලයෙහි දී ඔහු නිසා පොළොවෙහි ඉතා කුඩා පිරිසක් ආරක්ෂා කරන ලද්දේ ය.

18 ජීවමාන සත්ත්වයා නැවත ජලගැල්මකින් විනාශ නොවන පිණිස සදාකාලික ගිවිසුමක් ඔහු සමඟ පිහිටුවන ලද්දේ ය.


ආබ්‍රහම්

19 ආබ්‍රහම් ජාතීන් සමූහයකගේ කීර්තිමත් ආදි පියා විය. කිසිවෙක් මහිමයෙන් ඔහුට සමාන නො වී ය.

20 ඔහු මහෝත්තමයාණන් වහන්සේගේ නීතිය ඉටු කෙළේ ය; උන් වහන්සේ සමඟ ගිවිසුමක් කෙළේ ය. මේ ගිවිසුම ඔහු තම මාංසයෙහි ස්ථිර කෙළේ ය. පරීක්ෂා කරනු ලැබූ කාලයෙහි දී ඔහු විශ්වාසී ව සිටියේ ය.

21 එහෙයින් සමිඳාණෝ ඔහුගෙන් පැවත එන්නන් තුළ සියලු ජාතීන්ට ආශීර්වාද කිරීමට ද ඔහුගෙන් පැවත එන්නන් පොළොවේ වැලි මෙන් වැඩි කිරීමට ද අහසේ තරු මෙන් ඔවුන් උසස් කිරීමට ද මුහුදේ පටන් තවත් මුහුදක් දක්වාත් මහා ගංගාවේ පටන් පොළොවේ කෙළවර දක්වාත් දේශය ඔවුන්ගේ උරුමය වශයෙන් දීමට ද ගිවිසුමෙන් පොරොන්දු වූ සේක.


ඊසාක් සහ ජාකොබ්

22 උන් වහන්සේ ඊසාක්ට ඔහුගේ පියා වූ ආබ්‍රහම් නිසා සිය මනුෂ්‍යයන් කෙරෙහි ආශීර්වාදය අලුත් කළ සේක. ජාකොබ්ගේ හිස පිට ගිවිසුම පවතින්නට සැලැසූ සේක.

23 උන් වහන්සේ ඔහුගේ ආශීර්වාදයන් තුළ ඔහු ස්ථිර කළ සේක. දේශය ඔහුගේ උරුමය වශයෙන් දුන් සේක. උන් වහන්සේ එය කොටස්වලට බෙදා, ගෝත්‍ර දොළොස අතර හවුල් කොට දුන් සේක.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්