ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්රා 1:1 - Sinhala New Revised Version

පර්සියාවේ රජ වූ සයිරස්ගේ පළමු වන අවුරුද්දේ දී, සමිඳාණන් වහන්සේ ජෙරමියා මඟින් ප්‍රකාශ කළ වචනය ඉටු වන පිණිස, උන් වහන්සේ පර්සියාවේ රජ වූ සයිරස්ගේ සිත උද්‍යෝගවත් කළ සේක. ඔහු තමාගේ රාජ්‍යයේ සතර දිග් භාගයෙහි ප්‍රසිද්ධියේ කියවන පිණිස ප්‍රකාශනයක් නිකුත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පර්සියාවේ රජ වූ සයිරස්ගේ පළමු වන අවුරුද්දේ දී, සමිඳාණන් වහන්සේ ජෙරමියා මඟින් ප්‍රකාශ කළ වචනය ඉටු වන පිණිස, උන් වහන්සේ පර්සියාවේ රජ වූ සයිරස්ගේ සිත උද්‍යෝගවත් කළ සේක. ඔහු තමාගේ රාජ්‍යයේ සතර දිග් භාගයෙහි ප්‍රසිද්ධියේ කියවන පිණිස ප්‍රකාශනයක් නිකුත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ පළමුවෙනි අවුරුද්දේදී ස්වාමීන්වහන්සේ යෙරෙමියාගේ මුඛයෙන් කියෙවූ වචනය ඉෂ්ටවෙන පිණිස ස්වාමීන්වහන්සේ පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ සිත පෙළෙඹවුසේක.

පරිච්ඡේදය බලන්න



එස්රා 1:1
23 හුවමාරු යොමු  

ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන පිණිස, දෙවියන් වහන්සේ විසින් සිත් උද්‍යෝගවත් කරවන ලද සියලු දෙනා ම එනම්, ජුදාවරුන්ගේත්, බෙන්ජමින්වරුන්ගේත් පිය වංශවල ප්‍රධානීහු ද පූජකයෝ ද ලෙවීවරු ද එහි යන්නට සූදානම් වූ හ.


එහෙත්, සෙරුබ්බාබෙල් ද ජෝෂුවා ද ඉශ්රායෙල් පිය වංශවල සෙසු ප්‍රධානීහු ද ඔවුන්ට කතා කොට, “අපේ දෙවියන් වහන්සේට මාලිගාවක් ගොඩනැඟීමේ දී ඔබ අප සමඟ එක් වීමෙන් අපට කිසි වැඩක් නැත. පර්සියාවේ සයිරස් රජ අපට අණ කර තිබෙන පරිදි, අපි පමණක් ම ඉශ්රායෙල් දෙවි සමිඳාණන් වහන්සේට එය ගොඩනඟන්නෙමු”යි කී හ.


ජුදෙව්වරුන්ගේ ප්‍රජා මූලිකයෝ ද දිවැසිවර හග්ගයිගේත්, ඉද්දෝගේ පුත් ශෙකරියාගේත් දිවැස් වැකියෙන් උනන්දු වී දේව මාලිගාව ගොඩනැඟීම සාර්ථක ලෙස කරගෙන ගියහ. ඔව්හු ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ ආඥාවේ හැටියටත්, සයිරස්ගේ ද දාරියුස්ගේ ද පර්සියාවේ රජ වූ අර්තක්ෂස්තාගේ ද නියෝගයේ හැටියටත් මාලිගාව ගොඩනඟා නිම කළෝ ය.


ඔව්හු මුහුන් නොදැමූ රොටි මංගල්‍යය සත් දවසක් හරසරින් පැවැත්වූ හ. මන්ද, දෙවියන් වහන්සේගේ එනම්, ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩට ඔවුන් දිරි ගන්වන අසිරියාවේ රජුගේ සිත ඔවුන්ට ප්‍රියමනාප වන ලෙස වෙනස් කිරීමෙන් සමිඳාණන් වහන්සේ ඔවුන් ප්‍රීතියෙන් පිනවූ සේක.


“සයිරස් රජුගේ පළමු වන අවුරුද්දේ දී සයිරස් රජ ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව ගැන මෙසේ නියෝගයක් කෙළේ ය: ‘ඒ මාලිගාව පූජා ඔප්පු කරන ස්ථානයක් වශයෙන් ගොඩනඟනු ලැබේවා. එහි අත්තිවාරම් සවි කොට පිහිටුවනු ලැබේවා. එහි උස මීටර් විසිහතක් ද පළල මීටර් විසිහතක් ද විය යුතු ය.


එවිට එස්රා මෙසේ කීවේ ය: “ජෙරුසලමෙහි තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාව අලංකාර කරන්නට රජුගේ සිතෙහි කැමැත්තක් ඇති කළා වූ ද රජු ද උපදේශකයන් ද රජුගේ සියලු බලවත් අධිපතීන් ද ඉදිරියෙහි මට කරුණාව ලැබීමට සැලසුවා වූ ද අපේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! එබැවින් මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ හස්තය මා පිට තිබෙන බව දැනගෙන, මා ධෛර්යවත් වී මා සමඟ යන පිණිස, ඉශ්රායෙල්වරුන් අතරෙන් ප්‍රධානීන් මම රැස් කරගතිමි.”


ඔවුන් වහල්කමට ගෙන ගිය සියල්ලන්ගෙන් ඔවුන්ට අනුකම්පාව ලැබෙන්නට සැලැසූ සේක.


රජුගේ සිතුම්පැතුම් සමිඳුන්ගේ පාලනය යටතේ ය, එතුමාණෝ ඒවා දිය පාරක් මෙන් රිසි අතට හරවන සේක.


සයිරස්ට කතා කොට, ‘නුඹ මාගේ එඬේරා වන්නෙහි ය; මාගේ අදහස් නුඹ ඉටු කරන්නෙහි ය. ජෙරුසලම නැවත ගොඩනඟන්නත්, දේව මාලිගාවේ අත්තිවාරම් දමන්නත් නුඹ නියම කරන්නෙහි ය’යි කියන්නේත් මම ය.”


සමිඳුන්ගේ අභිෂේක ලත් රජ්ජුරුවෝ සයිරස් ය. ජාතීන් යටත් කිරීමටත්, රජවරුන්ගේ බලය බිඳලීමටත්, සමිඳාණෝ ඔහු සහායට ගත් සේක. නැවත නොවැසෙන පිණිස නගරවල දොරටු සමිඳාණෝ විවෘත ව තබන සේක. එතුමාණෝ සයිරස්ට මෙසේ වදාරන සේක:


මේ වනාහි බෙන්ජමින් වංශයට අයිති අනාතොත්හි විසූ පූජකයන්ගෙන් එක් කෙනෙකු වූ හිල්කියාගේ පුත් ජෙරමියාගේ පණිවුඩය ය.


“තවද, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බබිලෝනියේ අවුරුදු සැත්තෑව සම්පූර්ණ වූ පසු මම නුඹලා ගැන සලකා ආපසු නුඹලාගේ මවුබිමට නුඹලා පැමිණවීමට මා කළ පොරොන්දුව ඉෂ්ට කරන්නෙමි.


ඔවුන් සමඟ පාර්සිවරු ද එතියෝපිවරු ද පූට්වරු ද සිටිති. ඔවුන් සියල්ලන්ට පලිස් ද යුද්ධ තොප්පි ද තිබේ.


දානියෙල්, සයිරස් රජුගේ පළමු වන අවුරුද්ද දක්වා එහි සිටියේ ය.


නෙබුකද්නෙශර් රජකම් කරන දෙ වන අවුරුද්දේ දී ඔහු ස්වප්න දුටුවේ ය. එයින් ඔහුගේ සිත බොහෝ සේ කැළඹුණේ ය; නිදාගන්න වත් ඔහුට නොහැකි විය.


දාරියුස් රජ ලොව පුරා සිටි සකල ජනයාටත්, ජාතීන්ටත්, හැම භාෂාවක් කතා කරන අයටත් මෙසේ ලියා යැව්වේ ය: “ඔබ හැමට සාමදානය වේ වා!


ඔහුගේ රජ දවස පළමු වන අවුරුද්දේ දී දානියෙල් නම් මම ශුද්ධ ලියවිලි කියවමින් සමිඳාණන් වහන්සේ දිවැසිවර ජෙරමියාට එළිදරව් කර තිබුණු පරිදි, ‘ජෙරුසලම අවුරුදු සැත්තෑවක් ගත වන තුරු ජරාවාස ව තිබෙන්නේ යැ’යි තේරුම්ගතිමි.


“මම නම්, යෙසායා දිවැසිවරයා කී පරිදි, ‘සමිඳාණන්ගේ මඟ පිළියෙළ කරන්නැ’යි පාළුකරයෙහි මොරගසන්නෙකුගේ හඬ වෙමි”යි ජොහන් පිළිතුරු දුනි.