සුදනෙකු මට දඬුවම් දී තරවටු කළත් එය කාරුණික ක්‍රියාවකි. එහෙත්, දුදනන් දෙන ගරු සම්මාන මම ප්‍රිය නොකරමි. මන්ද, මාගේ අයැදුම නිතර ම ඔවුන්ගේ දුෂ්ටකමට විරුද්ධ ව බැවිනි.
ධර්මිෂ්ඨයා මට පහරදේවා, ඒක කරුණාවක් වන්නේය; ඔහු මට තරවටුකෙරේවා, එය හිස පිට තෙල් මෙන් වන්නේය; මාගේ හිස ඊට අප්‍රිය නොකෙරේවා. මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම අතරේදී පවා මාගේ යාච්ඤාව පවතින්නේය.
මෙසේ ඔහු රජු සමඟ කතා කරද්දී අමශියා ඔහුට කතා කොට, “ඔබ රජුගේ මන්ත්‍රීවරයෙකු කොට පත් කෙළෙමු ද? ඔබ මැරුම්කන්න කැමැති නැත්නම් නිකම් සිටින්නැ”යි කීවේ ය. එවිට දිවැසිවරයා නැවතී, “ඔබ මාගේ දැනුමැතිකම නොඅසා මෙය කළ බැවින්, දෙවියන් වහන්සේ ඔබ විනාශ කරන්න තීරණය කර ගත් බව මට පෙනේ ය”යි කීවේ ය.
සමිඳුනි, යහපත් අයට යහපත කළ මැනව; අවංක සිත් ඇත්තන්ටත් එසේ ම කළ මැනව.
ඔබ මාගේ සතුරන් ඉදිරියේ දී, මංගල බොජුනක් පිළියෙළ කර දී, මා සිරස තෙලින් ආලේප කරන සේක. මාගේ කුසලාන උතුරා යන්නේ ය.
සියොන් ගිරට ඔබ කරුණාව පා සෙත සැලසුව මැනව; ජෙරුසලමේ කොටු පවුරු යළි ඉදි කළ මැනව.
අවවාදය පිළිගන්නා දැනුමට පෙම් කරන්නෙකි; එහෙත් තරවටුව නොඉවසන්නා මෝඩයෙකි.
උවදෙස් නැති ව හදන සැලැස්ම නිසරු වෙයි; බොහෝ උවදෙස් ඇති විට එය සරු වෙයි.
මෝඩයා තම පියාගේ ඔවා බස් හෙළා දකියි. ඔහුගේ අවවාදය සලකන්නා නුවණැතියෙකි.
උඩඟු මිනිසාට තළන්න, අනුවණයා නැණවත් වන්නේ එවිට ය. තේරුම් ඇත්තාට ඔවා බස් දෙන්න, ඔහු දැනුම ලබන්නේ එවිට ය.
මැනවින් සවන් දෙන අයට නැණවතාගේ ඔවා බස් රන් අරුංගල් ජෝඩුවක් ද තනි රන් මාලයක් ද වැන්න.
අනුශාසනාව ඔබට පහනකි, උවදෙස් ඔබට එළියකි, ගුරූපදේශ ඔබට ජීවන මඟකි.
අඥානයන්ගේ පැසසුමට සවන් දීමට වඩා ප්‍රඥාවන්තයාගේ තරවටුවට සවන් දීම හොඳ ය.
“නුඹේ සහෝදරයාට විරුද්ධ ව හිතේ ක්‍රෝධය තබා නොගත යුතු ය. අසල්වැසියාගේ වරදක් ඇත්නම්, නොසඟවා ඔහුට කිව යුතු ය. එවිට ඔහු නිසා නුඹ පාපයට නොවැටෙනු ඇත.
එහෙත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න.
සහෝදරයෙනි, මිනිසෙකු යම් වරදක් කරද්දී අසු වුණොත් ශුද්ධාත්ම දායාදය ඇති ඔබ මෘදුකමින් ඔහු යහමඟට හරවාගත යුතු ය. ඔබ ද පරීක්ෂාවට නොවැටෙන පිණිස ප්‍රවේසම් වන්න.
මා ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කර මම ඔවුන් හික්මවමි. එබැවින් උද්‍යෝගිමත් ව, පසුතැවී සිත් හරවා ගන්න.