Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 141 - Sinhala New Revised Version 2018


පරීක්ෂාවෙන් මිදීම පිණිස අයැදුම
දාවිත්ගේ ගීතයකි.

1 සමිඳාණන් වහන්ස, මම ඔබෙන් අයැදින්නෙමි. මා ළඟට විගසින් වැඩිය මැනව. ඔබෙන් අයැදින කල මට සවන් දුන මැනව.

2 මාගේ අයැදුම ඔබ ඉදිරියෙහි සුවඳ දුම් මෙන් ද මාගේ දෑත එසවීම සන්ධ්‍යා පූජාව මෙන් ද පිළිගනු මැනව.

3 සමිඳුනි, මාගේ කට රැක ගැන්මට පිහිට වුණ මැනව. මාගේ දෙතොල රක්ෂා කළ මැනව.

4 මා හද නපුරට ඇදී යාමට ද දුෂ්ට ක්‍රියාවලට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව. දුෂ්ටයන්ගේ මංගල බොදුනට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව.

5 සුදනෙකු මට දඬුවම් දී තරවටු කළත් එය කාරුණික ක්‍රියාවකි. එහෙත්, දුදනන් දෙන ගරු සම්මාන මම ප්‍රිය නොකරමි. මන්ද, මාගේ අයැදුම නිතර ම ඔවුන්ගේ දුෂ්ටකමට විරුද්ධ ව බැවිනි.

6 ඔවුන්ගේ විනිශ්චයකාරයන් ප්‍රපාතවලින් හෙළනු ලැබූ කල මාගේ වචන සැබෑ බව සෙනඟ පිළිගනු ඇත.

7 ලී කොට කැබලිකර දමන්නාක් මෙන් ඔවුන්ගේ ඇටකටු මිනී වළේ කට ළඟ විසිරී තිබේ.

8 එසේ ය, මහෝත්තම දෙවි ස්වාමීනි, මාගේ ඇස් ඔබ දෙස යොමු වී තිබේ. මාගේ විශ්වාසය ඔබ කෙරෙහි තබමි. මා අනාථ වන්නට ඉඩ නුදුන මැනව.

9 ඔවුන් මට තැබූ මලපතින් ද අයුතුකම් කරන්නන්ගේ උගුල්වලින් ද මා ආරක්ෂා කළ මැනව.

10 මා ගැළවී යන අතර, දුදනෝ තමන්ගේ ම දැල්වලට අසු වෙත් වා!

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්