මා ගොස් ඔබට ස්ථානයක් සූදානම් කළ විට, මා සිටින තැන ඔබත් සිටින පිණිස ඔබ කැඳවාගෙන යාමට මම නැවත එන්නෙමි.
1 කොරින්ති 11:26 - Sinhala New Revised Version 2018 ඔබ යම් පමණ වර මේ පූප අනුභව කරන්නහු ද, මේ කුසලානෙන් පානය කරන්නහු ද, එපමණ වර සමිඳාණන් වහන්සේ වඩින තුරු, ඔබ උන් වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහු ය. Sinhala New Revised Version ඔබ යම් පමණ වර මේ රොටි අනුභව කරන්නහු ද, මේ කුසලානෙන් පානය කරන්නහු ද, එපමණ වර සමිඳාණන් වහන්සේ වඩින තුරු, ඔබ උන් වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහු ය. සිංහල කාලීන පරිවර්තනය යම් පමණ වර ඔබ මෙම රොටි අනුභව කරන කල, මේ කුසලානෙන් පානය කරන කල, උන්වහන්සේ නැවත පැමිණෙන තෙක්, ස්වාමින්වහන්සේගේ මරණය ඔබ ප්‍රකාශ කරන්නේ ය. Sinhala Revised Old Version මක්නිසාද, නුඹලා යම් පමණ වරක් මේ රොටි කන්නහුද කුසලානෙන් බොන්නහුද එපමණ වරක් ස්වාමීන්වහන්සේ එන තුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශකරන්නහුය. |
මා ගොස් ඔබට ස්ථානයක් සූදානම් කළ විට, මා සිටින තැන ඔබත් සිටින පිණිස ඔබ කැඳවාගෙන යාමට මම නැවත එන්නෙමි.
ඔබ මා අනුව එන්නැ”යි වදාළ සේක. එහෙයින් ඒ ශ්‍රාවකයා නොමැරෙන්නේ ය යන කීම සහෝදරයන් අතර පතළ විය. එසේ වී නමුත් ජේසුස් වහන්සේ, ‘මා එන තුරු ඔහු සිටිනවාට මා කැමැති නම් ඔබට මොක දැ’යි කීවා මිස, ‘ඔහු නොමැරෙන්නේ ය’යි නොවදාළ සේක.
“ගලීලයේ වැසියෙනි, ඔබ අහස දෙස බලාගෙන සිටින්නේ කුමට ද? ඔබ කෙරෙන් ඔසවාගනු ලැබූ මෙම ජේසුස් වහන්සේ ස්වර්ගයට නඟිනු දුටු සේ ම, ආපසු වඩිනු ඇතැ”යි කී හ.
එසේ වන්නේ එක් එක්කෙනාට හිමි තැන අනුව ය. හැම දෙනාට ම පළමුවෙන් ක්‍රිස්තුන් වහන්සේ ය. ඉන්පසු ව, උන් වහන්සේගේ ආගමනයේ දී උන් වහන්සේ සන්තක අය ය.
එබැවින් සමිඳාණන් වහන්සේ එන තුරු නියම කාලයට පෙර කිසි විනිශ්චයක් නොකරන්න. උන් වහන්සේ අඳුරෙහි සැඟවුණු දේ ආලෝකයට පමුණුවා, සිත් සතන්හි අදහස් හෙළි කරන සේක. එවිට හැම දෙනෙක් ම තම තමන්ට හිමි ප්‍රශංසාව දෙවියන් වහන්සේගෙන් ලබති.
මන්ද, සමිඳාණන් වහන්සේ ම අණ දීමේ ශබ්දය ද, අග්‍ර දේව දූතයෙකුගේ හඬ ද, දෙවියන් වහන්සේගේ හොරණෑ නාදය ද ඇතිව ස්වර්ගයෙන් බැස වදාරන සේක. ක්‍රිස්තුන් වහන්සේ අදහමින් උන් වහන්සේ තුළ සැතපුණු අය පළමුකොට නැඟිටින්නෝ ය.
මෙය සිදු වන්නේ උන් වහන්සේ සියලු සැදැහැවතුන්ගෙන් මහිමයත්, සියලු ඇදහිලිවතුන්ගෙන් ගෞරවයත් ලැබීමට පැමිණෙන ඒ දවසේ දී ය. අප ඔබ වෙත ගෙන ආ පණිවුඩය ඔබ ඇදහූ බැවින් ඔබත් ඒ ගණයට ඇතුළත් ය.
බොහෝ දෙනෙකුගේ පව් දුරු කරන පිණිස එක ම වරක් ක්‍රිස්තුන් වහන්සේ දිවි පිදූ සේක. තවද, පාපය දුරු කරන පිණිස නොව, උන් වහන්සේගේ ආගමනය බලා සිටින්නන්ට ගැළවීම දෙන පිණිස, උන් වහන්සේ දෙ වන වර ප්‍රකාශ වන සේක.
එහෙත් සමිඳාණන් වහන්සේගේ දවස සොරෙකු මෙන් හදිසියෙන් පැමිණෙයි. ඒ දවසේ දී අහස ගිගුරුම් හඬ දෙමින් පහ වී යන්නේ ය; මහා භූතයෝ ද ගිනිගෙන උණු වී යන්නෝ ය; පොළොව ද එහි ඇති සියල්ල ද දැවී විනාශ වී යන්නේ ය.
ඉතින් මාගේ ප්‍රිය දරුවෙනි, උන් වහන්සේ තුළ පවතින්න. එසේ කළ යුත්තේ උන් වහන්සේ ප්‍රකාශ වූ විට ඔබ නිසැක ව සිටින පිණිසත්, උන් වහන්සේගේ ආගමනයේ දී ඔබ උන් වහන්සේ ඉදිරියේ ලජ්ජා රහිත ව සිටින පිණිසත් ය.
ආදම්ගේ පෙළපතෙහි සත්වැන්නා වූ ඒනොක් මොවුන් ගැන දිවැස් වැකි පවසමින්: “බලන්න, සමිඳාණන් වහන්සේ දස දහසක් ගණන් ස්වකීය ශුද්ධ දූතයන් සමඟ වැඩම කළ සේක.
බලන්න, උන් වහන්සේ වලාකුළු පිරිවරා වඩින සේක. සියල්ලෝ උන් වහන්සේ දකින්නෝ ය. කුරුසියේ ඇණ ගැසූ අය ද උන් වහන්සේ දකින්නෝ ය. මිහි පිට සියලු ජාතීහු උන් වහන්සේ නිසා වැලපෙන්නෝ ය. එය සැබෑ ම ය. ආමෙන්.
මේ කාරණා ගැන සාක්ෂි දරන තැනැන් වහන්සේ, “සැබැවින් ම මම ඉක්මනින් එමි”යි වදාරන සේක. ආමෙන්. ජේසුස් ස්වාමීන් වහන්ස වැඩිය මැනව!