ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


නික්මයාම 13 - Sinhala Revised Old Version Sinhala Revised Old Version
නික්මයාම 13

කුලුඳුලන් ස්වාමීන්වහන්සේට කැපකිරීම

1 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:

2 ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි මනුෂ්‍යයන්ගෙන්ද මෘගයන්ගෙන්ද ගර්භයේ ප්‍රථම ඵලවූ සියලු කුලුඳුලන් මට කැපකරව. එය මට අයිතියයි කීසේක.

3 මෝසෙස් සෙනඟට කථාකොට: නුඹලා මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් පිටතට ආවාවූ මේ දින සිහිකරන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය හස්ත බලයෙන් එතැනින් නුඹලා ගෙනාසේක. එහෙයින් මුහුන් මුසු කිසිවක් නොකෑ යුතුය.

4 ආබීබ්නම් මාසයේ මේ දවසේ නුඹලා නික්මයන්නහුය.

5 තවද ස්වාමීන්වහන්සේ නුඹට දෙන පිණිස නුඹේ පියවරුන්ට දිවුළාවූ, කානානිවරුන්ගේත් හිත්තීවරුන්ගේත් අමෝරිවරුන්ගේත් හිවීවරුන්ගේත් යෙබූසිවරුන්ගේත් දේශය වන කිරි සහ මීපැණි ගලායන දේශයට නුඹ ගෙනා කල මේ මාසයේ මේ මෙහෙය පැවැත්විය යුතුය.

6 සත් දවසක් මුහුන් නුමුසු රොටි කෑ යුතුය, සත්වෙනි දවසේදී ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් වන්නේය.

7 ඒ සත් දවස මුළුල්ලෙහි මුහුන් නුමුසු රොටි කෑ යුතුය; මුහුන් මුසු රොටි නුඹ වෙත නොතිබිය යුතුය, නුඹේ සියලු සීමාවල නුඹ වෙත මුහුන් නොතිබිය යුතුය.

8 මෙසේ කරන්නේ මා මිසරයෙන් ඊමේදී ස්වාමීන්වහන්සේ මට කළ දේ නිසාය කියා ඒ දවසේ නුඹේ පුත්‍රයාට දන්වන්න.

9 ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව නුඹේ මුඛයෙහි තිබෙන පිණිස එය නුඹේ අතේ නුඹට ලකුණක් ලෙසද නුඹේ ඇස් අතරේ සිහිවීමක් ලෙසද වන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ බලවත් හස්තයකින් නුඹ මිසරයෙන් පිටතට ගෙනාසේක.

10 එබැවින් අවුරුද්දෙන් අවුරුද්ද නියම කාලයෙහි මේ නියෝගය පවත්වන්න.

11 ස්වාමීන්වහන්සේ නුඹටත් නුඹේ පියවරුන්ටත් දිවුළ ලෙස කානානිවරුන්ගේ දේශයට නුඹ ගෙනවුත් එය නුඹට දුන් කල්හි,

12 ගර්භයෙහි ප්‍රථම ඵලවූ සියල්ලන්ද නුඹ සන්තක මෘගයන්ගෙන් සියලු කුලුඳුලන්ද ස්වාමීන්වහන්සේට වෙන්කරන්නෙහිය; පිරිමි ස්වාමීන්වහන්සේට වන්නෝය.

13 නුමුත් නුඹ කොටළුවන්ගේ සියලු කුලුඳුලන් බැටළු පැටවෙකු බැගින් දී මුදාගත යුතුය; ඌ මුදන්ට නොකැමැත්තෙහිනම් උගේ බෙල්ල කැඩිය යුතුය. එහෙත් නුඹේ පුත්‍රයන් අතරෙන් සියලු මනුෂ්‍ය කුලුඳුලන් මුදාගත යුතුය.

14 තවද මතු පැමිණෙන කාලයෙහි නුඹේ පුත්‍රයා: මේ කිමෙක්දැයි අසන කල ස්වකීය හස්ත බලයෙන් ස්වාමීන්වහන්සේ මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් අප පිටතට ගෙනාසේක.

15 තවද ඵාරාවෝ අප නාරින ලෙස සිත දැඩිකරගන සිටි කල්හි ස්වාමීන්වහන්සේ මිසර දේශයේ සියලු කුලුඳුලන් එනම් මනුෂ්‍යයන්ගේද මෘගයන්ගේද සියලු කුලුඳුලන් මැරූසේක. එබැවින් ගර්භයෙහි ප්‍රථම ඵලවූ සියලු පිරිමින් මම ස්වාමීන්වහන්සේට පූජාකරමි; එහෙත් මාගේ පුත්‍රයන් අතරේ සියලු කුලුඳුලන් මුදාගනිමි.

16 ඒක නුඹේ අතෙහි ලකුණක් පිණිසද ඇස් අතරෙහි නළල් පටි පිණිසද වන්නේය. මක්නිසාද ස්වකීය හස්ත බලයෙන් ස්වාමීන්වහන්සේ මිසරයෙන් අප පිටතට ගෙනාසේකැයි ඔහුට කියන්නැයි කීවේය.

රතු මුහුද පසුකර යාම

17 තවද ඵාරාවෝ සෙනඟ යන්ට හැරිය කල්හි පිලිස්තිවරුන්ගේ දේශය මැදින් යාම කිට්ටු නුමුත් දෙවියන්වහන්සේ ඒ මාර්ගයෙන් ඔවුන් ගෙන නොගියසේක; මක්නිසාද: සෙනඟ යුද්ධය දැක සමහරවිට පසුතැවිලිව මිසරයට හැරී නොයන පිණිසයයි දෙවියන්වහන්සේ කීසේක.

18 එහෙත් දෙවියන්වහන්සේ සෙනඟ රතු මුහුද ළඟ වනාන්තරය පාරේ වටකර යන්ට සැලැස්වූසේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසර දේශයෙන් සන්නාහ සන්නද්ධව ගියෝය.

19 මෝසෙස්ද යෝසෙප්ගේ ඇට තමා සමඟ ගෙනගියෝය. මක්නිසාද යෝසෙප්: සැබවින් දෙවියන්වහන්සේ නුඹලා දෙස බලනසේක; නුඹලා සමඟ මාගේ ඇට මෙතැනින් ගෙනයන්ට ඕනෑයයි ඉශ්‍රායෙල් පුත්‍රයන් තදින් දිවුරවා තිබුණේය.

20 ඔව්හු සුකොත් නම් ස්ථානයෙන් ගමන්කර වනාන්තරය අද්දර ඒතාම්හි කඳවුරු බැඳගත්තෝය.

21 තවද ඔවුන් දවාලෙත් රාත්‍රියෙත් ගමන්කරන පිණිස ස්වාමීන්වහන්සේ ඔවුන්ට මගපෙන්වීමට දාවල් වලා ටැඹකින්ද රාත්‍රියේ ඔවුන්ට එළිය දීමට ගිනි ටැඹකින්ද ඔවුන්ට පෙරටුව ගියසේක.

22 දාවල් වලා ටැඹද රාත්‍රියේ ගිනි ටැඹද සෙනඟ ඉදිරියෙන් පහව නොගියේය.

Ceylon Bible Society

Ceylon Bible Society