ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ගීතාවලිය 108 - Sinhala Revised Old Version Sinhala Revised Old Version
ගීතාවලිය 108

වර්ණනාකිරීම. පිහිට ලැබීමට යාච්ඤාකිරීම

1 දෙවියන්වහන්ස, මාගේ සිත ස්ථිරය; මම ගී කියන්නෙමි, එසේය, මාගේ මහිමයෙන් ප්‍රශංසා ගී කියන්නෙමි.

2 වීණාව සහ මහා වීණාව පිබිදෙව්, මමද ඉතා අලුයම පුබුදින්නෙමි.

3 ස්වාමිනි, මනුෂ්‍ය වර්ගයන් අතරේ ඔබට ස්තුතිකරන්නෙමි, ජාතීන් අතරේ ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි.

4 මක්නිසාද ඔබගේ කරුණාව ස්වර්ගය ඉක්මවා මහත්ව තිබේ, ඔබගේ සත්‍යයද අහස දක්වා පවත්නේය.

5 දෙවියන්වහන්ස, ඔබ ස්වර්ගවලට වඩා උසස්වුව මැනව. ඔබගේ මහිමයද මුළු පොළොවෙහි උසස්වේවා.

6 ඔබගේ ප්‍රිය තැනැත්තන් මුදනුලබන පිණිස, ඔබගේ දකුණතින් ගළවා, අපට උත්තරදුන මැනව.

7 දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධකමින් කථාකළසේක; මම ප්‍රීතිමත්වන්නෙමි. ෂෙකෙම් බෙදන්නෙමි, සුක්කොත් මිටියාවත මැනදෙන්නෙමි.

8 ගිලියද් මාගේය; මනස්සේ මාගේය; එප්‍රායිම්ද මාගේ හිසට ආරක්ෂාවය; යූදා මාගේ ජයකොන්තයය.

9 මෝවබ් මාගේ පා සෝදන භාජනයය; ඒදොම පිට මාගේ වහන් හෙළන්නෙමි, පිලිස්තියාව සඳහා ජයඝෝෂා පවත්වන්නෙමි.

10 බලකොටු සහිත නුවරට මා පමුණුවන්නේ කවුද? ඒදොමට මා ගෙනගියේ කවුද?

11 දෙවියන්වහන්ස, ඔබ අප පහනොකළසේක්ද? දෙවියන්වහන්ස, ඔබ අපේ සේනාවන් සමඟ නොයනසේක.

12 එදිරිකාරයාට විරුද්ධව අපට පිහිටවුව මැනව, මක්නිසාද මනුෂ්‍යයාගේ පිහිට නිෂ්ඵලය.

13 දෙවියන්වහන්සේ කරණකොටගෙන වික්‍රමාන්විතව ක්‍රියාකරන්නෙමුව. මක්නිසාද අපේ එදිරිකාරයන් පාගා හෙළන්නේ උන්වහන්සේය.

Ceylon Bible Society

Ceylon Bible Society