දිවැසිවර යෙසායා කැඳවනු ලැබීම1 උශ්ශියා රජු මරණයට පත් වූ අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ උස් වූ උදාර වූ සිංහාසනයක් මත වැඩ හිඳිනු මම දිටිමි. උන් වහන්සේගේ සළුවෙන් දේව මාලිගාව පිරී තිබුණේ ය. 2 සෙරාප්වරු උන් වහන්සේ සිසාරා සිටියෝ ය, එක් එක් කෙනාට පියාපත් සය බැගින් තිබුණේ ය; දෙකකින් මුහුණු වසා ගත්තෝ ය, දෙකකින් ඇඟ වසා ගත්තෝ ය; දෙකකින් පියාසර කළෝ ය. 3 එක් කෙනෙක් අනිකෙකුට හඬගසමින් මෙසේ කී ය: “සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය. සව් බලැති සමිඳාණන් වහන්සේ සුවිශුද්ධ ය. උන් වහන්සේගේ තේජසින් මුළු ලොව පිරී ගියේ ය.” 4 ඔවුන්ගේ මොරගැසීමේ හඬට දේව මාලිගාවේ අත්තිවාරම සෙලවුණේ ය; දේව මාලිගාව ද දුමෙන් පිරුණේ ය. 5 එවිට මම මෙසේ කීමි: “අහෝ! මා වැනි කාලකණ්ණියෙක්; මට කිසි බලාපොරොත්තුවක් නැත. මන්ද, අපවිත්‍ර තොල් ඇති මිනිසෙකු වන, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ ජීවත් වන, මම සියලු බලැති ස්වාමීන් වන රජාණන් වහන්සේ මාගේ දෑසින් ම දිටිමි.” 6 එවිට සෙරාප්වරුන්ගෙන් එක් කෙනෙක් අඬුවකින් පූජාසනය මත්තෙන් ගත් ගිනි අඟුරක් රැගෙන මා ළඟට පියාසර කර අවුත්, 7 එය මාගේ මුඛයෙහි තවරා, “මෙය නුඹේ තොල්වල තැවරුණේ ය; මෙසේ නුඹේ අපරාධය පහ කරන ලද්දේ ය; නුඹේ පාපය කමා කරන ලද්දේ ය”යි කී ය. 8 එවිට, “මම කවරෙකු යවම් ද? අප වෙනුවෙන් යන්නේ කවරෙක් දැ”යි කියන සමිඳාණන් වහන්සේගේ හඬ මට ඇසුණේ ය. මම ද, “මෙන්න, මම මෙහි ය, මා යැව්ව මැනවැ”යි කීමි. 9 උන් වහන්සේ මට යන්න කියා සෙනඟට මේ පණිවුඩය දෙන්න යයි මට වදාළ සේක: “නුඹලා කොතෙක් සවන් දුන්නත් තේරුම් නොගන්නහු ය; කොතෙක් දුටුවත් වටහා නොගන්නහු ය. 10 මේ සෙනඟගේ සිත් අඳුරු වනු ඇත; කන් බිහිරි වනු ඇත, ඇස් අන්ධ වනු ඇත. ඒ නිසා ඔවුන්ට සුවය නොලැබෙන ලෙස ඔවුන්ගේ ඇස්වලින් ඔවුන්ට නොපෙනේ; කන්වලින් ඔවුන්ට නො ඇසේ; සිත්වලින් ඔවුන්ට නොවැටහේ.” 11 එවිට මම, “සමිඳුනි, මෙසේ වන්නේ කොපමණ කලකට දැ”යි ඇසීමි. එතුමාණෝ මෙසේ පිළිතුරු දුන් සේක: “වැසියෙකු නැති ව නගර ද මිනිසෙකු නැති ව ගෙවල් ද පාළු වන තුරුත්, දේශය සහමුලින් ම ජනශූන්‍ය වන තුරුත් ය. 12 මම ජනයා ඈතට පහකර දමා මුළු දේශය පාළු කරන්නෙමි. 13 දේශයේ දසදෙනෙකුගෙන් එක් කෙනෙකු වත් ඉතිරි වූවොත් ඔහු ද විනාශ කරනු ලැබේ. ඔහු සිඳ දමනු ලැබූ ආලෝන ගසක ඉතිරි වන කොටස හා සමාන වේ.” මේ කොටසෙන් ඉශ්රායෙල් සෙනඟගේ නවෝදය නිරූපණය කෙරේ. |
Ceylon Bible Society
Ceylon Bible Society