දාවිත්ගේ සංගීතයකි. ඒදොමිය ජාතික දොවෙග් නමැත්තා පැමිණ, “දාවිත් අබිමෙලෙක්ගේ ගෙදරට ඇතුළු වී ය”යි සාවුල්ට දැන් වූ පසු දාවිත් විසින් ලියන ලද්දකි.දුෂ්ටකමේ දුර්විපාක1 එම්බා බලවන්තය! ඔබේ දුෂ්ටකම ගැන පාරට්ටු කරගන්නේ මන් ද? දෙවියන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය. 2 දවස පුරා නිතර ම දුෂ්ට සිතුවිලි සිතන්නේ මන් ද? ඔබේ දිව මුවහත් දැළි පිහියක් බඳු ය; ඔබ කපටිකමට රුසියෙක් වන්නෙහි ය. 3 යහපතට වඩා අයහපතට ඔබ ආලය කරන්නෙහි ය. ඇත්තට වඩා බොරුවට ඔබ ප්රිය වන්නෙහි ය. 4 එම්බා කපටි දිව! විනාශකාරී සෑම වචනයකට ම ඔබ ප්රිය වන්නෙහි ය. 5 දෙවිඳාණෝ ඔබ සදහට ම නසා, වනසාදමන සේක; එතුමාණෝ ඔබ කූඩාරම්වලින් ඇද දමා, ජීවතුන් අතරෙන් ඔබ උදුරාදමන සේක. 6 එවිට දැහැමියෝ බියෙන් මේ දේ නරඹන්නෝ ය; ඔහුගේ විපත ගැන සිනාසෙමින් මෙසේ පවසන්නෝ ය: 7 “දෙවි තුමන් සරණ කොට නොගන්න මිනිසා මොහු ය; තම සම්පත කෙරෙහි විශ්වාසය තබමින් දුෂ්ටකම සරණ කොටගත් තැනැත්තා මොහු ය.” 8 මම වනාහි දෙව් විමනෙහි සරුසාර ඔලීව ගසක් මෙන් වන්නෙමි. දෙව් පෙම තුළ සදහට ම විශ්වාසය තබන්නෙමි. 9 ඔබ එසේ කළ බැවින් මම සදහට ම ඔබ පසසන්නෙමි. ඔබේ සැදැහැවතුන් අබිමුව ඔබේ නම යහපත් ය. එබැවින් මම එය පතුරා හරින්නෙමි. |
Ceylon Bible Society
Ceylon Bible Society