සාපිපාසා ඇත්තන් කැඳවීම1 “පිපාසා ඇති සියල්ලෙනි, ඇල දොළ වෙත පැමිණෙන්න; මුදල් නැති තැනැත්තෙනි, එන්න, අරගන්න, වළඳන්න. එන්න, මිදියුස හා කිරි ගන්න, නොමිලේ ම ලබාගන්න. 2 කෑමක් නොවන දේට මුදල් ගෙවන්නේ කුමට ද? තෘප්තිය නොදෙන දේට වෙහෙස වන්නේ මන් ද? මා හට සවන් දී, මා කී දේ කර, හොඳ ම ආහාර වළඳා පෝෂණය වී ප්‍රීති වන්න.” සෙනඟ සමඟ ගිවිසුම3 “මට සවන් දී, මා වෙත එන්න; අවුත් ජීවනය ලබාගන්න; දාවිත්ට මා ප්‍රේම කළාක් මෙන් ම නුඹටත් ප්‍රේම කරන ලෙසට සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි. 4 දාවිත්, ජාතීන්ගේ ප්‍රධානියෙකු ද ආඥාපතියෙකු ද කෙළෙමි. මාගේ සෙනඟට ඔහු මාගේ සාක්ෂිකාරයෙකු කරමි. 5 නුඹේ සමිඳුන් හා දෙවිඳුන් වන, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ වන මා නුඹ ගෞරවයට පත් කළ බැවින්, නුඹ නොහැඳින සිටි ජාතීන් කැඳවා, නුඹ අණ කළ පමණින් නුඹ වෙත විගසින් ඇදී එනු ඇත.” පසුතැවී සිත් හරවා ගැනීමට ආරාධනාව6 හමු විය හැකි බැවින් සමිඳුන් සොයා යන්න; ළඟ ම සිටිය දී එතුමන් අයැදින්න. 7 දුෂ්ටයා සිය මාර්ගයෙන් හැරී, අදමිටු මිනිසා තම සිතුවිලි දුරලා, සමිඳුන් වෙත ඇදී ඒවා! එතුමන් ඔහුට අනුකම්පා කරනු ඇත. දෙවිඳුන් වෙත ඔහු හැරී ඒවා; එතුමන් ඔහුට බොහෝ සේ කමා කරනු ඇත. 8 සමිඳාණන් වන මම මෙසේ පවසමි. “මාගේ සිතුවිලි නුඹේ සිතුවිලි මෙන් නොවේ; මාගේ මාර්ග නුඹේ මාර්ග මෙන් නොවේ. 9 අහස පොළොවට වඩා බොහෝ ඉහළින් ඇති සේ නුඹේ මාර්ගවලට වඩා මාගේ මාර්ග උසස් ය. නුඹේ සිතුවිලිවලට වඩා මාගේ සිතුවිලි බොහෝ සේ උසස් ය.” දෙවිඳුන්ගේ නොවරදින වචනය10 “අහසින් වැටෙන හිම හා වසින වැස්ස නැවත හැරී නොගොස් පොළොව සරුසාර කර, පැළ නංවා, කරල් හටගන්වා වපුරන්නාට ධාන්‍ය ද මිනිසාට ආහාර ද ගෙන දෙයි. 11 එලෙස මා මුවින් නික්මෙන වචන මා වෙත ම හිස් ව නොපැමිණ මාගේ අදහස් සඵල කර නියමයන් සිකුරට ම ඉටු කරයි.” වහල්කමින් නික්ම යාම12 “නුඹලා ප්‍රීතියෙන් බබිලෝනියෙන් නික්ම යන්නහු ය. සාමදානයෙන් නගරයෙන් ගෙනයනු ලබන්නහු ය. කඳු හෙල් නුඹලා ඉදිරියේ බියෙන් ඉපිළෙයි. වනයේ සියලු ගස් කොළන් අත් පොළසන් දෙයි. 13 කටු ගස් වෙනුවට දේවදාර ගස් ද ගොකටු වෙනුවට මරඳ ගස් ද හටගනියි. මෙය සමිඳුන්ගේ නමට සදහට පවතින සලකුණක් වන්නේ ය. එතුමන්ට මැකී නොයන සිහිවටනයක් වන්නේ ය.” |