Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෙසායා 54 - Sinhala New Revised Version 2018


ඉශ්රායෙල්වරුන්ට සමිඳුන්ගේ ප්‍රේමය

1 “දරුවන් නොලැබූ වඳ ස්ත්‍රියක වැනි ජෙරුසලම, ගී ගයන්න. ප්‍රසව වේදනාව නොවින්ද නුඹ ගී හඬ නඟා මොරගසන්න. මන්ද, විවාහක ස්ත්‍රියගේ දරුවන්ට වඩා, අත්හරිනු ලැබූ ගැහැණියක වැනි නුඹට දරු සම්පත් බොහෝ වෙති”යි සමිඳාණෝ වදාරන සේක.

2 “නුඹේ කූඩාරම පිහිටා ඇති ස්ථානය විශාල කරන්න. එහි සීමා පළල් කරන්න; පසු නොබසින්න; ලණු දික් කරගෙන ඇබ සවි කරන්න.

3 මන්ද, නුඹේ සීමා වමටත් දකුණටත් පැතිරී යනු ඇත. නුඹේ දරු පරපුර ජාතීන්ගේ දේශ හිමි කරගෙන පාළු වී ඇති නගර වැසියන්ගෙන් පුරවනු ඇත.

4 බිය නොවන්න; නුඹ නැවත ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැළඹෙන්න, නුඹ නින්දාවට පත් වන්නේ නැත. නුඹේ යොවුන් වියෙහි ලජ්ජාව නුඹ අමතක කරන්නෙහි ය. නුඹේ වැන්දඹුකමේ නින්දාව තවත් සිහි නොකරන්නෙහි ය.

5 නුඹේ මැවුම්කාරයාණෝ නුඹේ ස්වාමි පුරුෂයා මෙන් වන සේක. එතුමන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය. ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැන් වහන්සේ නුඹේ මිදුම්කාරයාණෝ ය. ‘මුළු පොළොවේ දෙවිඳාණෝ ය’යි එතුමන්ට කියනු ලබන්නේ ය.

6 ඉශ්රායෙල්, නුඹ සිය පුරුෂයා විසින් අත්හරිනු ලැබූ අතිශයෙන් ශෝකයට පත් වී සිටින තරුණ භාර්යාවක වැන්න. එහෙත්, සමිඳාණන් එතුමන් වෙත නුඹ කැඳවා ඇත.” නුඹේ දෙවිඳාණෝ නුඹට මෙසේ වදාරන සේක:

7 “මම ස්වල්ප කලකට නුඹ අත්හළෙමි. එහෙත් මහා දයානුකම්පාවෙන් නැවත නුඹ කැඳවාගන්නෙමි.

8 ඉමහත් උදහසින් මොහොතකට මාගේ මුහුණ නුඹ කෙරෙන් සඟවාගතිමි. එහෙත්, නොමියෙන සුලු ප්‍රේමයකින් මම නුඹට අනුකම්පා කරන්නෙමි.” නුඹේ මිදුම්කාරයාණන් වන සමිඳාණෝ මෙසේ වදාරන සේක:

9 “නෝවාගේ කාලයේ ඇති වූ ජලගැල්ම මට සිහි වේ. ඒ කාලයේ ඇති වූවාක් මෙන් නුඹ කෙරෙහි උදහස් නොවන බවටත්, නුඹට තරවටු නොකරන බවටත් මම දිවුරුම් දෙන්නෙමි.

10 කඳු පහ ව ගියත්, හෙල් සෙලවුණත්, නුඹට ඇති මාගේ තිර පෙම පහ වෙන්නේ වත්, මාගේ ගිවිසුම සෙලවෙන්නේ වත් නැත. මෙසේ වදාරන්නේ නුඹට අනුකම්පා කරන සමිඳාණන් වන මම ය.”


අලුත් ජෙරුසලම

11 සමිඳාණෝ මෙසේ වදාරන සේක: “අහෝ අසරණ කුණාටුවකින් මෙන් කැළඹී සිටින සැනසිල්ලක් නැති තැනැත්තියක වැනි ජෙරුසලම! මම නුඹේ ගඩොල් මරකතවලින් සාදා, නුඹේ අත්තිවාරම් නිල් මාණික්‍යවලින් ඉදි කරන්නෙමි.

12 නුඹේ කොත් රතුකැටවලින් ද නුඹේ දොරටු පද්මරාගවලින් ද නුඹ වටේ ඇති තාප්පය මැණික්වලින් ද මම තනන්නෙමි.

13 නුඹේ දරුවන්ට ස්වාමීන් වන මම උගන්වන්නෙමි. ඔවුන්ගේ සෞභාග්‍යය අධික වන්නේ ය.

14 නුඹ ධර්මිෂ්ඨකමෙහි පිහිටුවනු ලබන්නෙහි ය. නුඹ පීඩාවෙන් දුරු ව බිය නැති ව සිටින්නෙහි ය. භීතියක් නුඹට ළං වන්නේ නැත.

15 කිසිදාක නුඹට පහර දීමට කිසිවෙකුට මම අනුමැතිය නොදෙන්නෙමි. නුඹට විරුද්ධ ව සටන් කරන අය වැටෙන්නෝ ය.

16 ගිනි අඟුරු පිඹ නියම වැඩට ආයුධයක් තළාගන්නා වූ කම්මල්කරුවා මැව්වේ මම ය. ඒ ආයුධවලින් වනසාදැමීම සඳහා යුද්ධ භටයා මැව්වේත් මම ය.

17 නුඹට විරුද්ධ ව සාදන කිසි ම ආයුධයකින් වැඩක් නොවේ. නුඹට විරුද්ධ ව නඟන සියලු චෝදනා නුඹ නිෂ්ප්‍රභා කරන්නෙහි ය. මාගේ මෙහෙකරුවන්ගේ උරුමය මෙය වන්නේ ය. මම ඔවුන්ට ජය අත්කර දෙමි.”

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්