ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ප්‍රේම ගී 2 - Sinhala New Revised Version 2018 Sinhala New Revised Version 2018
ප්‍රේම ගී 2

1 මම ෂාරොන්හි සෙව්වන්දියක් ය; මිටියාවත්වල මානෙල් මලක් ය.


පෙම්වතා

2 කටු ගස් අතරේ මානෙල් මලක් යම් සේ ද යුවතියන් අතරේ මාගේ සොඳුරියත් එසේ ම ය.


පෙම්වතී

3 වනයේ ගස් අතරේ ජම්බු ගස් යම් සේ ද තරුණයන් අතරේ මාගේ පෙම්වතාත් එසේ ම ය. ඒ රුක් සෙවණෙහි හිඳීමට මම ප්‍රිය කරමි; එහි ඵල මා මුවට ඉමිහිරි ය.

4 ඔහු බොදුන් හලට මා ගෙනායේ ය. මට උඩින් එසෙවු කොඩිය ප්‍රේමය ය.

5 වියළි මිදි පලවලින් මා ශක්තිමත් කරන්න; ජම්බුවලින් මා පණ ගන්වන්න. මන්ද, මම අනුරාගයෙන් ගිලන් වී සිටිමි.

6 ඔහුගේ වමත මාගේ හිස යට ඇත; දකුණතින් ඔහු මා වැළඳගෙන ඇත.

7 ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප දෙදෙනා අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට කුඹුරේ දෙවි දේවතාවන්ගේ නාමයෙන් දිවුරන්න.


පෙම්වතී

දෙ වන ගීතය

8 අන්න, මා පෙම්වතාගේ කට හඬ; කඳු මත පනිමින්, හෙල් පිට නඟිමින් බලන්න එන හැටි විගසින්.

9 මා පෙම්වතා මුවෙකු වැනි ය. ඔහු මුව පැටවෙකු වැනි ය; බිත්තිය අයිනේ සිටගෙන, කවුළුව දෙස බලමින් ඔහු සිටියි, ගරාදි අතරෙන් එබිකම් කරමින්;

10 මා පෙම්වතා මා අමතමින් මට මෙසේ කී ය: “මා සුරතලිය, නැඟිටින්න; මා සොඳුරිය, දැන් එන්න.

11 සිසිර කාලය දැන් පසු වී ඇත; වැසි වරුසා නතර වී ඇත.

12 මිහි පිට මල් පිපී ඇත; ගී ගයනා කාලය පැමිණ ඇත; කොවුල් හඬ දසත පැතිර යත.

13 පැසුණු දිඹුල් පල ඉදෙන විට, මිදිවැල් සුවඳ හමන විට, මා සුරතලිය, නැඟිට එන්න; මා සොඳුරිය, දැන් එන්න.

14 කඳු විවරවල, හෙල් කුහර තුළ මා පරෙවි දෙන, ඔබේ මුහුණ මට දකින්න දෙන්න; ඔබේ කට හඬ මට ඇසෙන්නට දෙන්න; ඔබේ කට හඬ මිහිරි ය; ඔබේ මුහුණ සෝබන ය.”

15 මිදිවැල්වල මල් පිපී ඇති විට ඒවා වනසන සිවලුන්, කුඩා සිවලුන් අල්ලා ගන්න.

16 මාගේ පෙම්වතා මාගේ ය; මම ඔහුගේ ය. ඔහු මානෙල් අතරේ බැටළු රැළ කවයි.

17 මාගේ පෙම්වත, උදේ සුළං හමන තුරු, සෙවණැලි පහ වන තුරු බෙතෙල් කඳු පිට යන මුවෙකු නොහොත් මුව පැටියෙකු මෙන් හැරී එන්න.