ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ගීතාවලිය 25 - Sinhala New Revised Version 2018 Sinhala New Revised Version 2018
ගීතාවලිය 25

මඟපෙන්වීම පතා යැදුම
දාවිත්ගේ ගීතයකි.

1 ඔබ වෙත සමිඳාණන් වහන්ස මා හදවත ඔසවමි.

2 මාගේ දෙවියෙනි ඔබ කෙරේ විශ්වාසය තබමි. මා ලජ්ජාවට පත් වන්න ඉඩ නුදුන මැනව; මා පරදා ජය හඬ නඟන්න මා සතුරන්ට ඉඩ නොතැබුව මැනව.

3 ඔබ කෙරේ විශ්වාසය තබන කිසිවෙකු පරාජය වන්නේ නැත. හිතුවක්කාර ලෙස විශ්වාසය කඩ කරන අය පරාජය වන්නෝ ය.

4 සමිඳුනි, ඔබේ ක්‍රියා මාර්ගය මට හෙළි කළ මැනව; ඔබේ මාවත් මට පැහැදිලි කළ මැනව.

5 ඔබේ සත්‍යය අනුව මා ගෙන ගිය මැනව; මට එය ඉගැන්නුව මැනව; මන්ද, ඔබ මාගේ විමුක්තිදායක දෙවිඳාණෝ ය. දවස පුරා ඔබ එන මඟ බලා සිටිමි.

6 සමිඳුනි, ඔබේ කරුණා ගුණයත්, තිර පෙමත් සිහි කළ මැනව. මේවා ඔබේ චිරාගත ගුණාංගයෝ ය.

7 සමිඳුනි, මාගේ යොවුන් වියේ පාප ද අපරාධ ද සිහි නොකළ මැනව. සමිඳුනි, ඔබේ යහපත්කම ද මහා කරුණාව ද අනුව මා සිහි කළ මැනව.

8 සමිඳාණෝ යහපත් ය; අවංක ය. එතුමාණෝ පවිටුන් හට යා යුතු මාර්ගය උගන්වන සේක.

9 එතුමාණෝ නිහතමානී අය යුක්තියෙහි හසුරුවන සේක. එතුමාණෝ යටහත් පහත් අයට තම මාර්ගය උගන්වන සේක.

10 හිමිතුමාණන්ගේ ගිවිසුම හා ශික්ෂා පද පිළිපදින අයට එතුමාණන්ගේ සියලු මාවත් කරුණාවේ හා සත්‍යයේ මාවත් වනු ඇත.

11 හිමි සමිඳුනි, මාගේ අයුතුකම් මහත් බැවින්, ඔබේ නාමය නිසා, මට කමාවුව මැනව.

12 සමිඳුන් කෙරේ ගරුබිය ඇති අය හට ඔහු යා යුතු මඟ එතුමාණෝ පහදා දෙන සේක.

13 ඔහු සුව සේ වාසය කරයි; ඔහුගේ වංශයට දේශය හිමි වෙයි.

14 හිමිතුමාණන්ගේ රහස් සැලැස්ම එතුමාණන් කෙරේ ගරුබිය දක්වන අයට පෙන්වා ඇත; එතුමාණන් ස්වකීය ගිවිසුම ඔවුන්ට දන්වා ඇත.

15 මාගේ දෙනෙත නිරතුරු හිමි සමිඳාණන් දෙසට යොමුව ඇත; මන්ද, එතුමාණෝ මාගේ දෙපා සතුරාගේ දැලෙන් මුදාගන්න සේක.

16 මා දෙස බලා මට කරුණා කළ මැනව. මන්ද, මම අසරණවෙමි; පීඩිතවෙමි.

17 මසිත දුකින් පිරී ඇත; මාගේ විපත්වලින් මා මිදුව මැනව.

18 මාගේ දුක්ගැනවිලි හා වේදනා කල්පනාවට ගත මැනව; මාගේ සියලු පව් කමා කළ මැනව.

19 බලන්න, මාගේ සතුරෝ බොහෝ ය. කෲර වෛරයෙන් ඔව්හු මට වෙර බඳිති.

20 මා රැකවල් කොට මා මිදුව මැනව. ඔබ කෙරේ විශ්වාසය තැබූ මම පරාජය නොවෙම් වා!

21 සත්‍යය හා අවංකකම මාගේ රැකවරණ වේ වා! මාගේ බලාපොරොත්තුව ඔබ ය.

22 දෙවිඳුනි, ඉශ්රායෙල් ජනතාව සියලු ආපදාවලින් මිදුව මැනව.