ගීතාවලිය 26 - Sinhala New Revised Version 2018සුදනෙකුගේ අයැදුම දාවිත්ගේ ගීතයකි. 1 සමිඳාණන් වහන්ස, මා ගැන යුක්තිය ඉටු කළ මැනව. මන්ද, මාගේ හැසිරීම නිදොස් ය. සමිඳුන් කෙරේ අචල විශ්වාසයක් මට ඇත. 2 සමිඳුනි, මා සෝදිසි කොට, පරීක්ෂා කර බැලුව මැනව; මාගේ සිත හා මනස විමසා බැලුව මැනව. 3 ඔබේ මහා කරුණාව මාගේ දෙනෙතින් දිටිමි. ඔබට විශ්වාසී ව දවස් යැවීමි. 4 මම වැදගැම්මකට නැති මිනිසුන් සමඟ නොහැසිරෙමි; කෛරාටිකයන් ඇසුරු නොකරමි. 5 දුදනන්ගේ සමාගමට මම තදින් ම විරුද්ධ ය. ඔවුන් සමඟ පයිරුපාසනයක් මාගේ නැත. 6 නිදොස් බව දැක්වීමට මාගේ අත් සෝදා, සමිඳුනි, ඔබේ පුදසුන පැදකුණු කරන්නෙමි. 7 සමිඳුනි, තුති ගොස පතුරා හරින පිණිසත්, ඔබේ අසිරිමත් ක්‍රියා පසසන පිණිසත් මම එසේ කරමි. 8 සමිඳුනි, ඔබේ වාසභවනයටත්, ඔබ තේජසින් වැජඹෙන මන්දිරයටත් මම ප්‍රේම කරමි. 9 පවිටුන් හා සමඟ මා විනාශ නොකළ මැනව; මිනීමරුවන් සමඟ මා පහ නොකළ මැනව. 10 ඔවුන්ගේ අත්වල නපුරු උපායන් වේ; ඔවුන්ගේ දකුණත් අල්ලසින් දූෂණය වී ඇත. 11 මම මේ නිදොස්කමින් දවස් යවමි; මා මුදා, මට කරුණා කළ මැනව. 12 මාගේ පාද යහ මඟ පිහිටා ඇත. ප්‍රසිද්ධ නමස්කාරයේ දී සමිඳුන් හට පැසසුම් ගී ගයන්නෙමි. |