ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


උත්පත්ති 10 - Sinhala New Revised Version 2018 Sinhala New Revised Version 2018
උත්පත්ති 10

නෝවාගේ දරු පරම්පරාව
( 1 වංශා 1:5-23 )

1 නෝවාගේ දරුවන් වන ෂෙම්, හාම් සහ ජපෙත් යන තිදෙනාගේ පරම්පරා මෙසේ ය. මහා ජලගැල්මෙන් පසු ඔවුන්ට පුත්‍රයෝ උපන්නා හ.

2 ජපෙත්ගේ පුත්‍රයෝ නම්: ගොමෙර්, මාගොග්, මාදයි, ජාවාන්, තුබල්, මෙෂෙක් සහ තීරස් ය.

3 ගොමෙර්ගේ පුත්‍රයෝ නම්: අෂ්කෙනස්, රිපත් සහ තොගර්මා ය.

4 ජාවාන්ගේ පුත්‍රයෝ නම්: එලිෂා, තර්ෂිෂ්, කිත්තිම් සහ දෙදානිම් වැසියෝ ය.

5 මොවුන්ගෙන් වෙරළබඩ පෙදෙස්වලට සහ දිවයින්වලට ජනතාව පැතිරී ගිය හ. කණ්ඩායම් වශයෙන් තමන්ගේ ම භාෂාව කතා කරන, විවිධ ගෝත්‍රවලට අයත්, විවිධ රටවල වසන මොවුහු ජපෙත්ගේ පරම්පරාවෙන් පැවත එන්නෝ වෙති.

6 හාම්ගේ පුත්‍රයෝ නම්: කුෂ්, මිශ්‍රයිම්, පූට් සහ කානාන් ය.

7 කුෂ්ගේ පුත්‍රයෝ නම්: ෂෙබා, හවීලා, සබ්තා, රාමා සහ සබ්තෙකා ය. රාමාගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන් ය.

8 කුෂ්ට දාව නිම්රොද් නම් පුතෙක් උපන්නේ ය. ඔහු ලෝකයේ පළමු වන බලසම්පන්න පාලකයා විය.

9 සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔහු විශිෂ්ටතම දඩයම්කාරයා ද විය. “සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි විශිෂ්ටතම දඩයම්කාරයා වූ නිම්රොද් වාගේ ය”යි යන කියමන ද ඇති වූයේ එසේ ය.

10 ෂිනාර් දේශයෙහි ඔහු පාලනය කළ පළමු වන රාජ්‍යයට බාබෙල්, එරෙක්, අක්කද් සහ කල්නේ යන පෙදෙස් අයත් විය.

11 ඒ දේශයෙන් අසිරියාවට නික්ම ගොස් නිනිවය ද රෙහොබොත්-ඊර් නගරය ද කලා ද

12 නිනිවය සහ කලා අතර වූ මහ නගරයක් වන රෙසෙන් ද ගොඩනැඟී ය.

13 මිශ්‍රයිම් වනාහි ලුදිම්වරුන්ගේ ද අනාම්වරුන්ගේ ද ලෙහාබිම්වරුන්ගේ ද නප්තුහිම්වරුන්ගේ ද

14 පත්රුසිම්වරුන්ගේ ද කස්ලුහිම්වරුන්ගේ ද කප්තොරිම්වරුන්ගේ ද පියා විය. පිලිස්තිවරුන්ගේ පෙළපත ආයේ කප්තොරිම්වරුන්ගෙන් ය.

15 කානාන් වනාහි සිය කුලුඳුල් පුත් වන සීදොන්ගේ ද හෙක්ගේ ද

16 ජෙබුසිවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද ගිර්ගාෂිවරුන්ගේ ද

17 හිවීවරුන්ගේ ද අර්කිවරුන්ගේ ද සිනීවරුන්ගේ ද

18 අර්වාදිවරුන්ගේ ද ශෙමාරිවරුන්ගේ ද හමාතිවරුන්ගේ ද පියා විය. ඉන්පසු කානානිවරුන්ගේ ගෝත්‍රයෝ පැතිරී ගියෝ ය.

19 කානානිවරුන්ගේ දේශ සීමා සීදොන් සිට ගෙරාර් දෙසට පිහිටි ගාසා දක්වා ද සොදොම්, ගොමොරා, අදිමා සහ ශෙබොයිම් දෙසට පිහිටි ලාෂා දක්වා ද පැතිරී ඇත.

20 විවිධ ගෝත්‍රවලට අයිති ව, තම තමන්ගේ ම භාෂා කතා කරමින්, විවිධ දේශවල වසන, විවිධ ජාතීන්ට අයිති මොවුහු හාම්ගේ පෙළපතින් පැවත එන්නෝ ය.

21 එබෙර්ගේ සියලු පුත්‍රයන්ගේ මීමුතු පියා ද, ජපෙත්ගේ වැඩිමහල් සහෝදරයා ද වූ ෂෙම්ටත් පුත්‍රයෝ උපන්නෝ ය.

22 ෂෙම්ගේ පුත්‍රයෝ නම්: ඒලාම්, අෂුර්, අර්පක්ෂද්, ලූද් සහ අරාම් ය.

23 අරාම්ගේ පුත්‍රයෝ නම්: ඌශ්, හුල්, ගෙතෙර් සහ මෂ් ය.

24 අර්පක්ෂද් ෂෙලාගේ පියා ය. ෂෙලා ඒබෙර්ගේ පියා ය.

25 ඒබෙර්ට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්නෝ ය; එක් කෙනෙකුගේ නම පෙලෙග් ය; මිහි පිට මුළු මනුෂ්‍ය වර්ගයා බෙදී ගියේ ඔහුගේ කාලයේ දී ය. ඔහුගේ සහෝදරයාගේ නම ජොක්තන් ය.

26 ජොක්තන්ට දාව අල්මෝදාද්, ෂෙලෙප්, හශාර්මාවෙත්, ජෙරා,

27 හදෝරාම්, ඌසාල්, දික්ලා,

28 ඕබාල්, අබිමායෙල්, ෂෙබා,

29 ඕපිර්, හවීලා සහ ජෝබාබ් උපන්නෝ ය. මේ සියල්ලෝ ජොක්තන්ගේ පුත්‍රයෝ ය.

30 ඔවුන් විසූ ප්‍රදේශය මේෂා පටන් පෙරදිග කඳු දක්වා පිහිටි ෂෙපාර් අතර විය.

31 විවිධ ගෝත්‍රවලට අයිති ව, තම තමන්ගේ ම භාෂා කතා කරමින්, විවිධ දේශවල වසන, විවිධ ජාතීන්ට අයත් මොවුහු ෂෙම්ගේ පෙළපතින් පැවත එන්නෝ ය.

32 විවිධාකාර පරම්පරාවලට හා ජාතීන්ට අයත් මොවුහු නෝවාගේ පෙළපතින් පැවතෙන ගෝත්‍රයෝ ය. මහා ජලගැල්මෙන් පසු පොළෝ තලයෙහි සියලු ජාතීහු මොවුන්ගෙන් පැවත එන්නෝ වෙති.