ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


එස්තර් (ග්‍රීක් පිටපත) 6 - Sinhala New Revised Version 2018 Sinhala New Revised Version 2018
එස්තර් (ග්‍රීක් පිටපත) 6

හාමාන්ගේ පරාජය

1 ඒ රාත්‍රියෙහි දී රජුට නින්ද නොගිය හෙයින් පසුගිය කාලයේ කරුණු සඳහන් ලේඛන පොත ගෙනවුත් තමාට කියවන්නට ඔහු අණ කෙළේ ය.

2 එවිට අහෂ්වේරොෂ් රජ මරන්නට උපායක් යොදා වරදට පත් වූ දොරටු රැකවලුන් අතරෙන් රජුගේ නපුංසකයන් දෙදෙනෙකු වූ බිග්තාන් ද තෙරෙෂ් ද ගැන මොර්දෙකායි රජුට දැන් වූ වග ලියා තිබී සම්බ විය.

3 “මේ සම්බන්ධයෙන් මොර්දෙකායිට කුමන ගරුසම්මානයක් හෝ කුමන උසස් තනතුරක් දෙන ලද්දේ දැ”යි රජ ඇසුවේ ය. “ඔහු උදෙසා කිසිවක් කර නැතැ”යි පිරිවර සේවකයෝ කීවෝ ය.

4 එවිට රජ කතා කොට, “ප්‍රවේශ ශාලාවෙහි රාජකාරියෙහි යෙදී සිටින්නේ කවරෙක් දැ”යි ඇසුවේ ය. ඒ මොහොතෙහි දී ම හාමාන් තමා විසින් මොර්දෙකායිට සාදන ලද පෝරකයෙහි ඔහු එල්ලා දැමීම ගැන රජුට කතා කරන පිණිස රජ ගෙදරින් පිටත ප්‍රවේශ ශාලාවට පැමිණියේ ය. එහෙයින් රජුගේ සේවකයෝ උත්තර දෙමින්,

5 “හාමාන් ප්‍රවේශ ශාලාවෙහි සිටී”යි කීවෝ ය. “ඔහුට ඇතුළට එන්නට ඉඩ දෙන්නැ”යි රජ අණ කෙළේ ය.

6 හාමාන් ඇතුළු වූ කෙණෙහි ම රජ ඔහුට කතා කොට, “රාජ ගෞරව දක්වන්නට කැමැති මනුෂ්‍යයෙකු සැලකිය යුත්තේ කෙසේ දැ”යි ඇසුවේ ය. ‘රජු ගෞරව කරන්නට කැමැත්තෙන් සිටින්නේ මට මිස වෙන කාට දැ’යි සිතා,

7 හාමාන්, රජුට කතා කොට, “රජ යමෙකුට ගෞරව කරන්නට කැමැත්තේ නම්,

8 රජු පළඳින වස්ත්‍ර ද, රජු නැඟී යන රාජ ඔටුන්නක් හිසේ දරන අශ්වයෙකු ද ගෙන

9 වස්ත්‍ර ද අශ්වයා ද රජුගේ ඉතා උසස් සේවකයන් මෙන් කෙනෙකුට භාර දෙනු ලැබේ වා! එවිට ඔහු රාජ ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට ඒ වස්ත්‍ර අන්දවා ඔහු අශ්වයා පිට නංවා නුවර මහා වීථිය දිගේ ගෙන යමින්, ‘රාජ ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට මෙසේ කරනු ලැබෙන්නේ ය’යි ඔහුට පෙරටු ව යමින් කෑගසා කියන්නට සලසන්නැ”යි කීයේ ය.

10 එවිට රජ හාමාන්ට උත්තර දෙමින්, “ඉක්මන් කර ඔබ කී ලෙස වස්ත්‍ර ද අශ්වයා ද රැගෙන රජ වාසල භාණ්ඩාගාරය සේවයෙහි හිඳින ජුදෙව් ජාතික මොර්දෙකායිට එසේ කරන්න. ඔබ කී සියල්ලෙන් කිසිවක් අඩු නොකෙරේවා”යි කීවේ ය.

11 එවිට හාමාන් වස්ත්‍ර ද අශ්වයා ද රැගෙන මොර්දෙකායි සරසා නුවර මහා වීථිය දිගේ අසු පිටින් යන්නට සලසා, “රාජ ගෞරවය කරන්නට කැමැති මනුෂ්‍යයාට මෙසේ කරනු ලැබේ ය”යි ඔහුට පෙරටු ව යමින් ශබ්ද නඟා කීවේ ය.

12 ඉන්පසු මොර්දෙකායි රාජකීය භාණ්ඩාගාරයට හැරී ගියේ ය. එහෙත් හාමාන් කැළඹුණු සිත් ඇති ව මුහුණ වසාගෙන තම ගෙදරට ඉක්මනින් ගියේ ය.

13 ඔහු තමාට සිදු වූ සියලු දේ තම භාර්යාව වූ ශෙරෙෂ්ට ද තම සියලු මිතුරන්ට ද කීවේ ය. ඔහුගේ භාර්යාව වූ ශෙරෙෂ් සහ ඔහුගේ මිතුරෝ ඔහුට කතා කොට, “ඔබ මොර්දෙකායි ඉදිරියේ පිරිහෙන්නට පටන්ගත් හෙයින්, ඔහු ජුදෙව් වංශයේ කෙනෙක් නම්, ඔහුට ඉහළින් සිටින්නට ඔබට බැරි වේ ය. එසේ නොව මේ අන්දමින් පටන්ගත් ඔබ ඔහු නිසා වඩ වඩාත් පහතට වැටෙනු ඇතැ”යි කීවෝ ය. ඔවුන් ඔහු සමඟ කතා කරමින් සිටිය දී ම රජුගේ නපුංසකයෝ අවුත් එස්තර් පිළියෙළ කළ මංගල භෝජනයට ඔහු ඉක්මනින් කැඳවාගෙන ගියෝ ය.