මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 7 - Sinhala New Revised Version 2018හාමාන් එස්තර්ගේ මංගල භෝජනයට සහභාගි වීම 1 රජ ද හාමාන් ද එස්තර් බිසොවගේ මංගල භෝජනයට පැමිණ සිටියෝ ය. 2 රජ මේ දෙ වන දවසෙහි ද එස්තර්ට නැවත කතා කොට, “එස්තර් බිසොව, ඔබ ඉල්ලන දේ මට කියන්න. ඔබ ඉල්ලූ පමණින් එය ලැබේ. ඔබ ආශා කරන්නේ කුමක් දැ යි මට කියන්න. ඒ ඉල්ලීම මාගේ රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද එය ඉටු කරනු ලැබේ”යි කීයේ ය. 3 එවිට එස්තර් බිසොව ඔහුට උත්තර දෙමින්, “රජතුමාණනි, ඔබ ඉදිරියෙහි මට සැබැවින් ම කරුණාව ලැබී තිබේ නම්, එය ඔබට ප්‍රසන්න වන්නේ නම් මට මාගේ ප්‍රාණය දුන මැනව. මාගේ ඉල්ලීම මෙය වේ. 4 මාගේ ජාතියේ ප්‍රාණය ද දෙනු ලැබේ වා! මෙය මාගේ ආශාව යි. මන්ද, මාගේ ජාතියත්, මාත් සම්පූර්ණ විනාශයට ද ඝාතනයට ද නාස්තියට ද නියම ව සිටින හෙයිනි. දාසයන් හා දාසියන් වීමට පමණක් අප නියම වී සිටියා නම්, මම නිශ්ශබ්ද වී සිටින්නෙමි. එහෙත් දැන් තිබෙන තත්ත්වය අනුව රජුට සිදු වන්න යන පාඩුව පිරිමසන්නට පීඩකයාට නොහැකි වන්නේ ය”යි කීවා ය. 5 අහෂ්වේරොෂ් රජ එස්තර් බිසොවගේ කතාව අතරමඟ දී නවත්වමින්, “ඒ කවු ද? මෙබඳු දුෂ්ට අපරාධයක් කරන්නට සිතූ මිනිසා කවු දැ”යි ශබ්ද නඟා ඇසුවේ ය. 6 එවිට එස්තර් කතා කොට, “පීඩකයෙක් ද සතුරෙක් ද වන මේ නීච හාමාන් ය”යි කීවා ය. 7 රජු සහ බිසොව ඉදිරියෙහි හාමාන් භයින් ගල්ගැසුණි. කෝපාවිෂ්ට වූ රජ නැඟිට මංගල භෝජනයෙන් ඉවත් ව මාලිගාවේ උයනට ගියේ ය. ඒ අතර රජු තමා විනාශ කරන්නට ඉටාගෙන සිටි බව තේරුම්ගත් හාමාන් තම ප්‍රාණය ඉල්ලා එස්තර් බිසොවට කන්නලව් කරන පිණිස එහි නැවතුණේ ය. 8 රජතෙම උයනේ මංගල භෝජන ශාලාවට හැරී ආ කල එස්තර් ඇලවී සිටි යහනෙහි හාමාන් සිටිනු දුටුවේ ය. එවිට රජ කෑ ගසා, “මොහු මාගේ මාලිගාවෙහි මා ඉදිරිපිට බිසොවට බලහත්කාරකමක් කරන්නට යන්නේ දැ”යි ඇසුවේ ය. මේ වචන රජුගේ මුවින් පිට වනු සමඟ ම ඔව්හු හාමාන්ගේ මුහුණ රෙදි කඩකින් වැසුවෝ ය. 9 රජුට සේවය කළ නපුංසකයන්ගෙන් කෙනෙක් වූ හර්බෝනා එහි සිටියේ ය. ඔහු කතා කොට, “රජුගේ ප්‍රාණය ගැළවීම සඳහා ආරංචියක් දැන් වූ අර මොර්දෙකායිට හාමාන් පිළියෙළ කළ පනස් රියනක් උස ඇති පෝරකයක් තිබේ. එය මේ දැන් ඔහුගේ ගෙය ළඟ තිබේ ය”යි කීවේ ය. “මොහු එල්ලා දමන්නැ”යි රජ අණ කෙළේ ය. 10 මෙසේ හාමාන් විසින් මොර්දෙකායි සඳහා සාදන ලද පෝරකයෙහි හාමාන් එල්ලනු ලැබුවේ ය. රජුගේ කෝපය සංසිඳුණේ ය. |