1 එම්බා ජෙරුසලම් නගරය, දුක් හා වේදනාවේ වස්ත්‍රය ඉවත ලා, දෙවි මහිමයේ ශෝභනකම සදහට ම ඇඟලාගන්න. 2 දේව අවංකකම නමැති සළුව පැළඳගන්න. ඔබ සිරස මත සදාතනිකයාණන්ගේ තෙදබල කිරීටය තබාගන්න. 3 මන්ද, මිහි පිට සිටින සෑම ජාතියකට ම ඔබේ මහිමය පෙන්වීමට දෙවිඳාණෝ සලසන සේක. දෙවිඳාණන් ඔබට දෙන නාමය සදා පවතින්නේ ය. 4 සාමය උදාවූයේ අවංකකමිනි. ගෞරවය උදාවූයේ ලැදිකමිනි. 5 ජෙරුසලම, නැඟිට උස් තැන්හි සිටගන්න. ඔබේ දෙනෙත් පෙරදිගට හරවන්න. සුවිශුද්ධ තැනැන් වහන්සේගේ අණට එකඟ ව පෙර අපර දෙදිගින් රැස් වී සිටින ඔබේ දරුවන් දෙස බලන්න. දෙවිඳාණෝ ඔවුන් සිහිපත් කළ සේක කියා ඔව්හු ජය ගොස නඟති. 6 සතුරන් නමැති පිරිවර ඇති ව ඔව්හු පයින් පිටත් වී ගියහ. එහෙත් දැන්, තේජාන්විත ව, උසුලාගෙන යන රජකුමරුන් මෙන් දෙවිඳාණෝ ඔවුන් ඔබ වෙත ගෙනෙන සේක. 7 මන්ද, දේව මහිමාලංකාරයෙහි සුව සේ ඉශ්රායෙල් ජනයා ගමන් කරන පිණිස දෙවිඳාණන් සියලු උස් කඳුවලට ද සදාතන කඳුවලට ද, සම භූමියක් වීමටත්, මිටියාවත් පිරී සමතලා භූමියක් වීමටත් නියම කර ඇත. 8 දේව අණට එකඟ ව වන රොද හා සෑම සුවඳ කුසුම් ගසක් ඉශ්රායෙල් ජනයා හට සෙවණ දෙනු ඇත. 9 දේව දයාව සහ අවංකකම පිරිවර මෙන් ඇතිව දෙවිඳාණෝ ස්වකීය මහිමාලෝකයෙහි ප්‍රීතියෙන් යාමට ඉශ්රායෙල් ජනයාට මඟ පෙන්වන සේක. |