Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 7:26 - Sinhala New Revised Version

26 එහෙත්, ඔවුන් සවන් දුන්නේ වත්, කන් යොමු කෙළේ වත් නැත. ඒ වෙනුවට ඔව්හු මුරණ්ඩු වී ඔවුන්ගේ පියවරුන්ටත් වඩා නපුරුකම් කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 එහෙත්, ඔවුන් සවන් දුන්නේ වත්, කන් යොමු කෙළේ වත් නැත. ඒ වෙනුවට ඔව්හු මුරණ්ඩු වී ඔවුන්ගේ පියවරුන්ටත් වඩා නපුරුකම් කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 එහෙත් ඔව්හු මාගේ බස් අසන්නේවත් තමුන්ගේ කන් යොමුකරන්නේවත් නැතුව, තමුන්ගේ කුළල් තදකරගෙන, තමුන්ගේ පියවරුන්ට වඩා නපුරුකම් කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 7:26
44 හුවමාරු යොමු  

නුඹලා නුඹලාගේ පියවරුන්ටත් වඩා නපුරු ලෙස ක්‍රියා කර ඇත. නුඹලා මට සවන් නො දී, නුඹලාගේ මුරණ්ඩු නපුරු සිතුවිලි අනුව හැසිරෙන්නහු ය.


ඉතින් ඔබේ පියවරුන් මෙන් ඔබ මුරණ්ඩු නොවී සමිඳාණන් වහන්සේට ගිවිසුම් දී, උන් වහන්සේ සදහට ම පවිත්‍ර කළ උන් වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුළු වී උන් වහන්සේගේ තද උදහස ඔබ කෙරෙන් පහවන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට වන්දනා නමස්කාර කරන්න.


එබැවින් ඔබගේ මුතුන්මිත්තන් පටන්ගත් දෙය ඔබ දැන් නිමාවට පත් කරන්න.


“ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කී ය. “ඔවුන් මාගේ වචනය නොඅසන පිණිස මුරණ්ඩු ව සිටින බැවින් මම මේ නගරයටත්, ඊට යාබද උපනගරවලටත් විරුද්ධ ව මා කී සියලු විපත් පමුණුවන්නෙමි.”


නුඹලාගේ පියවරු මා දෙසට කන් යොමු කර මට සවන් නුදුන්නෝ ය. ඒ වෙනුවට නුඹලා සිත් දැඩි කරගෙන, මට කීකරු වුණේ වත්, මාගේ අවවාද පිළිගත්තේ වත් නැත.


එහෙත්, ඔව්හු සවන් දෙන්නේ වත්, කීකරු වන්නේ වත් නැති ව, හිතුමතේ ද මුරණ්ඩු සිත්වල දුෂ්ට අදහස් අනුව ද හැසිරෙමින් ඉදිරියට යෑම වෙනුවට පසුබැස ගියහ.


එහෙත් ඔබ මුරණ්ඩු ය; දරදඬු සිතක් ඔබට ඇත. දෙවියන් වහන්සේ ස්වකීය සාධාරණ විනිශ්චය එළිදරව් කරන්නට යන දේව උදහසේ දවසට ඔබ දුර්විපාක රැස් කරන්නෙහි ද?


“හිතුවක්කාර, මිසදිටු සිත් හා බිහිරි කන් ඇත්තෙනි, ඔබගේ පියවරුන් මෙන් ඔබත් නිතර ම ශුද්ධාත්මයාණන්ට එරෙහි ව සිටින්නහු ය.


එහෙත්, ගොවීහු පුත්‍රයා දැක, ‘මේ උරුමක්කාරයා ය; එන්න, මොහු මරාදමා මොහුගේ උරුමය ගනිමු’යි ඔවුනොවුන් අතර කතා කොට,


ඔබ වහන්සේගේ නාමයෙන් අපේ රජවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පියවරුන්ටත්, රට වැසියන් සියල්ලන්ටත් කතා කළ ඔබේ සේවක දිවැසිවරුන්ට අපි ඇහුම්කන් නුදුන්නෙමු.


“ඔබ සමිඳාණන් වහන්සේගේ නාමයෙන් අපට කී වචනය ගැන අපි ඔබට කන් නොදෙන්නෙමු.


නුඹලාට විකුණනු ලැබ, හය වසක් නුඹලාට සේවය කළ පසු නුඹලාගේ සහෝදර හෙබ්‍රේවරුන් එකිනෙකා නිදහස් කර හැරිය යුතු යයි මම කීවෙමි. එහෙත්, නුඹලාගේ ආදි පියවරුන් මට සවන් දුන්නේ වත්, මා කී දේ සිතට ගත්තේ වත් නැත.


මෙසේ කරන්නේ, මා නිරන්තරයෙන් මාගේ සේවකයන් වූ දිවැසිවරුන් ඔවුන් වෙත යැවූ නමුත්, ඔවුන් මාගේ වචනය නොඇසූ නිසා ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


නිරන්තරයෙන් ම මා නුඹලා වෙත එවූ මාගේ සේවකයන් වන දිවැසිවරුන්ගේ පණිවුඩය නොසලකන්නහු නම්,


‘එහෙත්, නුඹලා මට සවන් නොදී, ඒ වෙනුවට නුඹලාගේ අත්වලින් තනාගත් රූප කරණකොටගෙන මා කෝප කරවා, නුඹලා ම තමන් පිට මේ දඬුවම පමුණුවා ගත්තහු ය’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


“ආමොන්ගේ පුත් ජුදාහි රජු වූ ජොෂියාගේ දහතුන් වන අවුරුද්දේ පටන් අද දක්වා මේ අවුරුදු විසිතුනේ ම සමිඳාණන් වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය. මම ද නිරන්තරයෙන් එය ඔබට ප්‍රකාශ කෙළෙමි. එහෙත්, ඔබ සවන් දුන්නේ නැත.


එහෙත්, ඔවුන් කීකරු වුණේ වත්, සවන් දුන්නේ වත් නැත. ඒ වෙනුවට ඔව්හු තමන්ගේ නපුරු සිත්වල මුරණ්ඩුකමේ හැටියට හැසුරුණෝ ය. ‘මාගේ ගිවිසුමට කීකරු වන්නැ’යි මා ඔවුන්ට අණ කළ නමුත්, ඔවුන් ඊට කීකරු වුණේ නැත. ඒ නිසා ගිවිසුමේ විස්තර කොට ඇති දඬුවම් මම ඔවුන් පිට පැමිණෙව්වෙමි.”


මම ඔවුන් වෙත මුරකරුවන් සිටුවා, “හොරණෑ ශබ්දයට සවන් දෙන්නැ”යි කීවෙමි. එහෙත්, ඔව්හු, “අපි සවන් නොදෙන්නෙමු”යි කී හ.


යකඩ මෙන් දැඩි සිතක් ඇති, ලෝකඩ මෙන් බොරු ආටෝපයක් ඇති නුඹලා, මුරණ්ඩු සෙනඟක් බව දැන සිටියෙමි.


බොහෝ තරවටු ලැබ ලැබත් මුරණ්ඩු මිනිසාට ගැළවීමක් නැත; එයින් ඔහුට හිටිහැටියේ විනාශය පැමිණෙයි.


ඔබේ ව්‍යවස්ථාවට ඔවුන් හරවා ගන්නට ඔබ ඔවුන්ට අවවාද කළ සේක. එහෙත්, ඔව්හු උඩඟුකම් කර, ඔබේ ආඥාවලට සවන් නො දී, මනුෂ්‍යයා ජීවත් වන පිණිස ඔහු කළ යුතු ඔබේ විනිශ්චයයන්ට විරුද්ධ ව පව් කොට දරදඬු වී, හිතුවක්කාරකමින් සවන් නො දී සිටියෝ ය.


සමිඳාණන් වහන්සේ මනස්සේටත්, ඔහුගේ සෙනඟටත් කතා කළ නමුත් ඔව්හු සවන් නුදුන්නෝ ය.


එහෙත්, ඔව්හු සවන් නො දී, තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ නොඇදහු ඔවුන්ගේ පියවරුන් මුරණ්ඩු වූ ලෙස තමන්ගේ මුරණ්ඩුකම් වැඩිකරගෙන,


මාගේ මිදි වත්ත උදෙසා මා කළ දේට අමතර ව තවත් කිසිවක් කරන්නට තිබුණේ ද? එසේ නම්, හොඳ මිදි පල මා බලාපොරොත්තු වන නමුත්, එහි වල් මිදි පල හට ගන්නේ මන් ද?


අහෝ සමිඳුනි, ඔබේ ඇස් සත්‍යය දෙස යොමු කරන සේක් ද? ඔබ ඔවුන්ට පහර දුන් සේක; එහෙත්, වේදනාව දැනුණේ නැත. ඔබ ඔවුන් තළා පෙළාදැමූ සේක. එහෙත්, ඔව්හු වැරදි නිවැරදි කරගත්තේ නැත. ඔව්හු තමන්ගේ සිත් පර්වතයකට වඩා දැඩි කරගෙන හැරී එන්නට අකමැති වූවෝ ය.


මම මෙසේ පිළිතුරු දිනිමි: “සවන් දෙන හැටියට මම කාට කතා කර අවවාද කරම් ද? ඔවුන් මුරණ්ඩු වී ඔවුන්ගේ කන් වසාගෙන ඇති බැවින් සවන් දෙන්නට ඔවුන්ට බැරි ය. සමිඳාණන් වහන්සේගේ වචනය ඔවුන්ට නින්දාවක් වී ඇත. ඔව්හු එයට ප්‍රිය නොවෙති.


මාගේ සියලු සේවක දිවැසිවරුන් නොකඩවා නුඹලා ළඟට ගොස් මෙසේ ප්‍රකාශ කිරීමට නැවත නැවත එවීමි. ‘නුඹලා එකිනෙකා තම තමාගේ පාප මාර්ගයෙන් හැරී එන්න; නුඹලාගේ ක්‍රියා මාර්ගය හැඩගස්වා ගන්න; අන් දෙවිවරුන්ට සේවය කරන්නට ඔවුන් පස්සේ නොයන්න; එවිට නුඹලාටත්, නුඹලාගේ පියවරුන්ටත් මා විසින් දෙන ලද දේශයෙහි නුඹලා වාසය කරන්නහු ය’යි කීවෙමි. එහෙත්, නුඹලා කන්යොමු කර සවන් නුදුන්නහු ය; කී දේ සිතට ගත්තේ නැත.


එබැවින්, ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වන මම ජුදාවරුන්ටත්, ජෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධ ව මා කී සියලු විපත් ඔවුන් පිට පමුණුවන්නෙමි. මන්ද, මා ඔවුන්ට කතා කළ නමුත්, ඔව්හු සවන් නුදුන්නෝ ය. මා ඔවුන්ට අඬගැසූ නමුත්, ඔව්හු උත්තර නුදුන්නෝ ය.’ “


එබැවින් ඉශ්රායෙල් සෙනඟට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලාගේ පියවරුන් කළාක් මෙන් දෙවි දේවතා වැඳීමෙන් හා වේශ්‍යාකම් කිරීමෙන් නුඹලා තමන් ම අපවිත්‍ර කරගන්නහු ද?


“එහෙත්, ඔව්හු එයට සවන් දෙන්න අකමැති වූ හ. ඔව්හු මුරණ්ඩුකම දැක් වූ හ. නොඇසෙන පිණිස කන් වසා ගත්තෝ ය.


පෙර සිටි නුඹලාගේ මුතුන්මිත්තන් සේ නුඹලා ද මාගේ ආඥාවලට පිටුපා ඒවා කඩ කළහු ය. එහෙත්, මා වෙත හැරී එන්න; එවිට මමත් නුඹලා වෙත හැරී එන්නෙමි. ‘අපි කෙසේ හැරී එන්නෙමු දැ’යි නුඹලා අසන්නහු ය.


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට ඔබ කීකරු නො වූ වොත්, සමිඳාණන් වහන්සේ ඔබේ ඇස් ඉදිරිපිට දී ම ජාතීන් විනාශ කළාක් මෙන්, ඔබ ද විනාශ කරන සේක.”


නුඹට පළමුවෙන් සිටි සියල්ලන්ට වඩා නපුරුකම් කරමින්, මා කෝප කරන හැටියට අන් දෙවිවරුන් ද වාත්තු පිළිම ද සාදාගෙන මට පිටුපෑවෙහි ය.


ජුදාවරු ද සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට තමන් කළ පාපවලින් තමන්ගේ පියවරුන් කළ සියල්ලට වඩා උන් වහන්සේ කෝප කළෝ ය.


උන් වහන්සේගේ පණත් ද ඔවුන්ගේ පියවරුන් සමඟ කළ උන් වහන්සේගේ ගිවිසුම ද ඔවුන්ට උන් වහන්සේ දුන් උන් වහන්සේගේ අවවාද ද එපා කර, වැදගැම්මක් නැති නිෂ්ඵල රූපවලට නමස්කාර කොට, වැදගැම්මක් නැති අය වෙමින් ඔවුන් වටකර සිටි විජාතීන් මෙන් නොකරන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ට අණ කළ නමුත්, ඒ විජාතීන්ගේ සම්ප්‍රදායයන් අනුව හැසුරුණෝ ය.


ඔහුගේ පිය වූ මනස්සේ යටහත් වුණ ලෙස ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යටහත් නො වී ය. මෙම ආමොන් වඩ වඩා අපරාධ කෙළේ ය.


වරද කළ නුඹ නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගැසූ බව පිළිගන්න. මාගේ හඬට කීකරු නොවී, හැම අතුපතර ඇති ගස් යට විදේශීය දෙවිවරුන්ට නුඹේ ආදරය දුන් බව පිළිගන්න. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.


සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “මෙය සිදු වූයේ, මා ඔවුන්ට දුන් මාගේ ආඥාව ඔවුන් ප්‍රතික්ෂේප කර මාගේ හඬට කීකරු නොවූ නිසාත්,


ඔබ යෙහෙන් සුවෙන් සිටිය දී සමිඳාණන් වහන්සේ ඔබට කතා කළ සේක. එහෙත්, ඔබ සවන් දුන්නේ නැත. උන් වහන්සේගේ හඬට කීකරු නොවීම යොවුන් වියේ සිට ම ඔබේ පුරුද්දකි.


ඔව්හු ද ඇතුළු වී ඒ දේශය හිමි කරගත්හ. එහෙත්, ඔවුන් ඔබේ හඬට කීකරු වුණේ වත්, අණපණත් අනුව හැසුරුණේ වත්, ඔවුන්ට කරන්නට ඔබ අණ කල සියල්ල කෙළේ වත් නැත. ඒ නිසා ඔබ මේ සියලු විපත්ති ඔවුන් පිට පැමිණෙවූ සේක.


“මනුෂ්‍ය පුත්‍රය, නුඹ වාසය කරන්නේ කැරලිකාර වංශයක් අතරෙහි ය. දැකීමට ඇස් තිබෙන නමුත්, ඔවුන්ට පෙනෙන්නේ නැත. ඇසීමට කන් තිබෙන නමුත්, ඇසෙන්නේ නැත. මක්නිසා ද ඔව්හු කැරලිකාර වංශයක් ය.


“ඒ නිසා, මනුෂ්‍ය පුත්‍රය, විප්‍රවාසයට යන්නෙකු මෙන් මාර්ගෝපකරණ සූදානම් කරගෙන, දවාලෙහි ඔවුන් බලා සිටිය දී පිටත් වන්න; ඔවුන් බලා සිටිය දී නුඹ සිටින ස්ථානයේ සිට අන් ස්ථානයකට පිටත් ව යන්න. ඔවුන් කැරලිකාර වංශයක් වන නමුත්, සමහර විට ඔවුන් එහි තේරුම සිතට ගනු ඇත.


ඔවුන් මට පිටුපා ගොස් ඇති බැවින් ඔවුන්ට වන විපතෙන් ඔවුන්ට බේරෙන්න බැරි ය. ඔවුන් පිට පැමිණි වියගහ නිසා ඔවුන් වැලපෙනු ඇත. එහෙත්, එය ඉවත් කරන්නට කිසිවෙක් ඉදිරිපත් නොවෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්