Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 2:15 - Sinhala New Revised Version

15 ඔවුන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සිංහයන් මෙන් ගොරවා ඇත; මහා හඬින් ගොරවා ඇත. ඔවුන් දේශය පාළු කර ඇත. එහි නගර දැන් නටබුන් ය. කිසිවෙක් එහි ජීවත් නොවෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඔවුන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සිංහයන් මෙන් ගොරවා ඇත; මහා හඬින් ගොරවා ඇත. ඔවුන් දේශය පාළු කර ඇත. එහි නගර දැන් නටබුන් ය. කිසිවෙක් එහි ජීවත් නොවෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 තරුණ සිංහයෝ ඔහුට විරුද්ධව ගොරවා, තමුන්ගේ හඬ පවත්වා ඔහුගේ දේශය පාළුවක් කළෝය; ඔහුගේ නුවරවල වැසියෙක් නොවසන ලෙස ඒවා දාලාගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 2:15
35 හුවමාරු යොමු  

සිංහයෙක් සිය වනයෙන් නික්මුණේ ය. ජාතීන් වනසන්නෙක් නික්ම ගියේ ය. නුඹේ දේශය පාළු කරන පිණිස ඔහු තමාගේ ස්ථානයෙන් පිටත් වී ගමන් කරන්නේ ය; වැසියෙකු ඉතිරි නොවන හැටියට නුඹේ නගර විනාශ වන්නේ ය.


“ඉශ්රායෙල් වනාහි සිංහයන් විසින් ලුහුබඳිනු ලැබ පන්නාදමනු ලැබූ බැටළුවන් වැනි ය. පළමුකොට අසිරියාවේ රජ ඉශ්රායෙල් ගොදුරට ගත්තේ ය. අවසානයේ දී බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් ඉශ්රායෙල්ගේ ඇටකටු පොඩිකරදැම්මේ ය.


සමිඳාණන් වහන්සේ කතා කොට, “මම ජෙරුසලම නටබුන් ගොඩක් ද සිවලුන්ගේ වාසයක් ද කරන්නෙමි; කිසිවෙකුට වාසය නොකළ හැකි ලෙස මම ජුදාහි නගර පාළු කරන්නෙමි”යි වදාළ සේක.


ඔවුන්ගේ හේවායෝ ගොදුර අල්ලා සුරැකි ව ගෙන යන සිංහයන් මෙන් ගර්ජනා කරන්නෝ ය. ඔවුන්ගෙන් ඒවා ගළවාගන්න හැකි කිසිවෙක් නොමැත.


ඔබේ දේශය පාළු වී ඇත; නගර ගිනිබත් වී ඇත. ඔබ බලා සිටිය දී විදේශිකයෝ ඔබේ දේශය නැතිනාස්ති කරති. එය සොදොම් මෙන් පාළු වී ඇත.


“මම ජාතීන් වනසාලීමි; ඔවුන්ගේ පවුරු නටබුන් වී ඇත; වීථිවල කිසිවකුට ගමන් නොකළ හැකි සේ ඒවා පාළු කෙළෙමි. ඔවුන්ගේ නගරවල කිසිවෙකු වත් නොවසන ලෙස ජන ශූන්‍ය වී ඇත.


මුහුදුබඩ වසන පිලිස්තිවරුනි, කෙරෙතිවරුනි, අනේ! නුඹලාට වන විපතක මහත! පිලිස්තිවරුන්ගේ දේශය වන කානානය, සමිඳාණන් වහන්සේ නුඹ ගැන තීන්දුව දී හමාර ය. උන් වහන්සේ කිසිවෙකු ඉතුරු නොවන සේ නුඹ විනාශ කරන සේක.


සමිඳාණන් වහන්සේගේ උදහසේ දවසේ දී ඔවුන්ගේ රිදී නිසා වත්, රන් නිසා වත් ඔවුන්ට ගැළවෙන්නට නුපුළුවන. උන් වහන්සේගේ උදහසේ ගින්නෙන් පොළොව විනාශ වන්නේ ය. මිහි පිට වසන සියල්ලන් උන් වහන්සේ හදිසියෙන් නැත්තට ම නැති කරදමන සේක.


සිංහ ගුහාවත්, තරුණ සිංහයා ගො‍දුරු කෑ ස්ථානයත් දැන් කොයි ද? එහි මීට පෙර සිංහයාත්, සිංහ ධේනුවත්, සිංහ පැටවුනුත් අනතුරක් නැති ව හැසුරුණෝ ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරමින්, “එඬේරෙකු, සිංහයාගේ කටින් බැටළුවෙකුගේ කකුල් දෙක හෝ කනින් කෑල්ලක් හෝ ගළවාගන්නාක් මෙන් දෙවියන් වහන්සේ සමාරියේ වසන ඉශ්රායෙල් ජනයා ගළවාගන්න සේක. ගළවනු ලබන්නේ, ඇඳක ලී පතුරක් හෝ කෑල්ලක් හෝ වැනි, ඉතා ස්වල්ප දෙනෙක් පමණි.


සිංහයෙක් ගර්ජනා කරයි; බිය නොවී සිටිය හැක්කේ කවරෙකුට ද? මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ කතා කරන සේක; දිවැස් වැකි නොකියා සිටිය හැක්කේ කවරෙකුට ද?”


සිංහයෙක් වනයේ ගෙරවුම් දෙයි ද ගොදුරක් දුටුවොත් මිස? ගුහාවක් තුළ සිංහ නාම්බෙක් ගොදුරක් නැති ව හඬ නඟයි ද?


“ඔව්හු සමිඳාණන් වහන්සේ පසුපස්සේ එන්නෝ ය. මම සිංහයෙකු සේ ගොරවමි. මා ගොරවන විට දරුවෝ ද වෙවුලමින් බටහිර සිට එන්නෝ ය.


මම එප්‍රායිම්ට සිංහයෙකු මෙන් ද ජුදාට සිංහ නාම්බෙකු මෙන් ද වන්නෙමි. මම, මම ම ඔවුන් පිටට කඩාපැන ඔවුන් ඉරාදමා ඇදගෙන යන්නෙමි. කිසිවෙකුට ඔවුන් ගැළවිය නොහැකි ය.


නුඹ අවට සිටින ජාතීන්ට මම නුඹ නින්දාවක් ද අවමානයක් ද වන්නට සලසන්නෙමි. නුඹ අවටින් ගමන් කරන සියල්ලන් එය දකිනු ඇත.


එසේ ඔබේ දුෂ්ටකම් ද ඔබ කළ පිළිකුල් ක්‍රියා ද සමිඳාණන් වහන්සේට තවත් ඉවසන්නට නොහැකි විය. එබැවින් ඔබේ දේශය අද තිබෙන හැටියට වැසියෙකු නැති ව, පාළු වී, සාප ලද්දක් ව තිබේ;


මම අණ කොට මේ නගරය කරා ඔවුන් නැවත ගෙනෙන්නෙමි; ඔව්හු ඊට විරුද්ධ ව යුද්ධ කොට, ඒක අල්ලා ගින්නෙන් දවාදමන්නෝ ය. එහි වැසියෙකු නොසිටින ලෙස මම ජුදාහි නගර පාළු කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “එය සෙනඟ වත්, මෘගයන් වත් වාසය නොකරන කාන්තාරයක් වන්නේ යයි සෙනඟ කියති. ජුදාවේ නගර ද ජෙරුසලමේ වීදි ද හිස් බව සැබෑ ය; එහි සෙනඟ වත්, මෘගයෝ වත් නැත. එහෙත්, මේ තැන්වල යළිත්,


‘මේ දේව මාලිගාව ෂිලෝ මෙන් වන්නේ ය’ කියාත්, ‘මේ නුවර වැසියන් නොසිටින හැටියට පාළු වන්නේ ය’ කියාත් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබ දිවැස් වැකි කීවේ මන්දැ”යි ඇසූ හ. එවිට මුළු සෙනඟ ජෙරමියාට විරුද්ධ ව ඔහු වටකරගෙන දේව මාලිගාවේ රොක් වූ හ.


“ජෙරමියා, මා නුඹට කී සියලු දේ නුඹ ඔවුන්ට ප්‍රකාශ කළ යුතු ය. ඔවුන්ට මෙසේ දිවැස් වැකි කියන්න: ‘සමිඳාණන් වහන්සේ උසස් ස්ථානයේ සිට ගර්ජනා කොට, තමන්ගේ ශුද්ධ වාසස්ථානයේ සිට හඬ නඟන සේක. උන් වහන්සේ තමන් සෙනඟට විරුද්ධ ව බලවත් ලෙස ගර්ජනා කරන සේක. මුද්‍රික පල මඬින්නන් මෙන් සියලු පොළෝ වැසියන්ට විරුද්ධ ව ඝෝෂාවක් කරන සේක;


මේ නිසා කැළෑවෙන් එන සිංහයෙක් ඔවුන් මරන්නේ ය; සැන්දෑ කාලයෙහි එන වෘකයෙක් ඔවුන් නාස්ති කරන්නේ ය; දිවියෙක් ඔවුන්ගේ නගර ළඟ රැක ඉන්නේ ය; එයින් පිටත යන සියල්ලෝ ඉරාදමනු ලබන්නෝ ය. මන්ද, ඔවුන්ගේ වැරදි බහුල වී ඇත; ඔවුන්ගේ මිසදිටුකම වැඩි වී ඇත.


සමිඳාණෝ පොළොව විනාශ කොට, එය මරුකතරක් කරන සේක. පොළොව පෙරළාදමා, එහි වැසියන් විසුරුවා හරින සේක.


එවිට මම, “සමිඳුනි, මෙසේ වන්නේ කොපමණ කලකට දැ”යි ඇසීමි. එතුමාණෝ මෙසේ පිළිතුරු දුන් සේක: “වැසියෙකු නැති ව නගර ද මිනිසෙකු නැති ව ගෙවල් ද පාළු වන තුරුත්, දේශය සහමුලින් ම ජනශූන්‍ය වන තුරුත් ය.


සව් බලැති සමිඳුන් මෙසේ වදාරනු මා අසා ඇත. “මේ විශාල අලංකාර ගෙවල් සියල්ල පාළු නටබුන් වන්නේ ය.


මිනිසුන් කන සිංහයන් වැනි රුපුන් මැද මම වැතිර සිටින්නෙමි. උන්ගේ දත් හෙල්ල හා ඊගස් වැන්න; උන්ගේ දිව් මුවහත් අසිපත් වැන්න.


සිංහයාගේ ගර්ජනය ද රුදුරු සිංහ රජුගේ ගෙරවීම ද පහ වී ඇත; සිංහ පෝතකයාගේ දත් ඇදී බිඳී ඇත.


සම්සොන් ඔහුගේ මවුපියන් සමඟ තිම්නා නගරයට පිටත් ව ගියේ ය. තිම්නාහි මිදිවතුවලට පැමිණි කල, සිංහ නාම්බෙකු ඔහුට ගොරවනවා ඇසුණේ ය.


බබිලෝනි ජනයා එක් ව සිංහයන් මෙන් නාද කරනු ඇත; සිංහ පැටියන් මෙන් ගොරවනු ඇත,


“එබැවින් නුඹ දිවැස් වැකි කියමින්, දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක කියා කියන්න. අවට ඉතිරි ව සිටින ජාතීන්ට නුඹලා උරුමයක් වන පිණිස ද විජාතීන්ගේ ඕපාදූප හා ගැරහීමට ලක් වන පිණිස ද ඔව්හු නුඹලා පාළු කර හැම අතින් ම නුඹලා සුණු විසුණු කර නුඹලාට නින්දා කළහ.


සවන් දෙන්න, පාලකයන්ගේ තේජස පහවී ගොස් ඇති බැවින්, ඔව්හු දුක් බරින් කෑමොරගසති. ජොර්දාන්හි වනය පාළු වී ඇති බැවින් තරුණ සිංහයන්ගේ ගෙරවීමේ හඬ අසන්න.”


එම්බා ජෙරුසලම! මා නුඹෙන් වෙන් වී නොයන පිණිසත්, මා විසින් නුඹ පාළු, වැසියන් නැති දේශයක් කරනු නොලබන පිණිසත් මේ අනතුරු ඇඟවීම සිතට ගන්න.”


ජෙරමියා මෙසේ කී ය: “කඳු ගැන ඇඬීමක් ද විලාපයක් ද පාළුකරයේ තණ බිම් ගැන ළතෝනියක් ද ගයන්නෙමි. කිසිවෙකුට එහි ගමන් කළ නොහැකි වන ලෙස ඒවා වියළී ගොස් ඇත. එහි සිවුපාවුන්ගේ හඬ නෑසෙන්නේ ය. අහසේ පක්ෂීන් ද මෘගයන් ද පලා ගොස් ඇත.”


සවන් දෙන්න, අන්න, ජුදා නගර පාළුවක් ද සිවලුන්ගේ වාසයක් ද කිරීමට යන බවට දූසමාන කතාවක හඬක් ද මහා ඝෝෂාවක් ද උතුරු දේශයෙන් ඇසෙන්නේ ය.


මම උතුරු දිශාවේ සියලු ජාතීන් ද බබිලෝනියේ රජු වන මාගේ සේවක නෙබුකද්නෙශර් ද ගෙන්වන්නෙමි. මා ඔවුන් ගෙන්වන්නේ, මේ දේශයට හා මෙහි වැසියන්ටත්, අවට ජාතීන්ටත් විරුද්ධ ව සටන් කරන පිණිස ය. මම සහමුලින් ම ඔවුන් විනාශ කරන්නෙමි. ඔව්හු නින්දාවට ද සමච්චලයට ද සදා අපවාදයට ද භාජන වන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්