Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එපීස 1:17 - Sinhala New Revised Version

17 තේජසේ පියාණන් වූ, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දෙවියන් වහන්සේ, උන් වහන්සේ අවබෝධ කරගැනීම පිණිස, ප්‍රඥාව හා විදර්ශන ශක්තිය ඔබට දෙන මෙන් මම යාච්ඤා කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දෙවියන්වහන්සේ වූ තේජසේ පියාණන්වහන්සේ වඩා හොඳින් දැනගන්නා පිණිස, ප්‍රඥාවේ හා එළිදරවුවේ ආත්මයක් ඔබට ලබා දෙන ලෙසට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 තේජසේ පියාණන් වූ, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දෙවියන් වහන්සේ, උන් වහන්සේ අවබෝධ කරගැනීම පිණිස, ප්‍රඥාව හා විදර්ශන ශක්තිය ඔබට දෙන මෙන් මම යාච්ඤා කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 එසේ කරන්නේ මහිමයේ පියාණන් වන අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවියන්වහන්සේ, උන්වහන්සේ ගැන දැනගැනීමට ප්‍රඥාවේද එළිදරව්කිරීමේද ආත්මයක් නුඹලාට දෙන ලෙසත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එපීස 1:17
56 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්ස, ශ්‍රේෂ්ඨත්වය ද බලපරාක්‍රමය ද තේජස ද වික්‍රමය ද මහිමය ද අයත් ඔබට ය. මන්ද, ස්වර්ගයෙහිත්, පොළොවෙහිත් ඇති සියල්ල ඔබේ ය. සමිඳාණන් වහන්ස, රාජ්‍යයත් ඔබට අයිති ය. ඔබ සියල්ල කෙරෙහි විශිෂ්ට ලෙස උසස් ව සිටින සේක.


කලින් මා ඔබ ගැන කනින් අසා තිබුණේ ය. එහෙත්, දැන් මාගේ ම දෙනෙතින් මම ඔබ දැක ගතිමි.


මේ ප්‍රතාපවත් මහා නිරිඳාණෝ කවරෙක් ද? ඒ ප්‍රතාපවත් මහා නිරිඳාණෝ, සව් බලැති හිමි තුමාණෝ වෙති.


ද්වාරයෙනි, විවෘත ව සිටින්න; පැරණි දොරටුවෙනි, විවෘත ව ම සිටින්න; ප්‍රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක.


සමිඳාණන්ගේ හඬ ජල මතුයෙහි ඇසේ. ජල මතුයෙහි වැඩ වසන මහිමාන්විත හිමි සමිඳාණෝ ගර්ජනා කරන සේක.


ආරොන් මට පූජක සේවය කරන පිණිස ඔහු කැප කිරීමට අවශ්‍ය වස්ත්‍ර සෑදීමට මා විසින් විශේෂ හැකියාවකින් පූර්ණ කොට තිබෙන, සියලු දක්ෂ ශිල්පීන් හට නුඹ අණ කළ යුතු ය.


බුද්ධිමත් සිත දැනුම ලබාගනියි; නැණවතාගේ අවධානය ප්‍රඥාව දෙසට ය.


එසේ කළොත්, දේව ගරුබිය කුමක් දැ යි ඔබට තේරුම් යයි. දෙවියන් ගැන අවබෝධය ඔබට ලැබෙයි.


සමිඳුන්ගේ ආත්මානුභාවය වන ප්‍රඥාව හා නුවණ ද අනුශාසනා බුද්ධිය හා බලය ද දැනගැනීම හා දේව ගරුබිය ද එතුමාණන් කෙරෙහි පිහිටන්නේ ය.


කිසි ජාතියක් සිය දෙවිවරුන්, ඇත්තට ම දෙවිවරුන් නොවෙතත් ඒ දෙවිවරුන් වෙනස් කරගෙන ඇද් ද? එහෙත්, මාගේ සෙනඟ ඔවුන්ගේ මහිමාන්විතයාණන් නිසරු දේවලට මාරු කරගෙන ඇත.


මා සමිඳාණන් වහන්සේ බව දැනගන්න පිණිස ඔවුන්ගේ සිත් පහදන්නෙමි. එවිට ඔවුන් මුළු සිතින් ම මා වෙත හැරෙන බැවින් ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ඔවුන්ගේ සමිඳාණන් වහන්සේ වන්නෙමි.


‘සමිඳාණන් වහන්සේ හඳුනාගන්න’කියා, එකිනෙකා තම තමාගේ අසල්වැසියාට ද සහෝදරයාට ද උගන්වන්නට වුවමනා වන්නේ නැත. මන්ද, ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලන් ම මා හැඳින ගනු ඇත. මම ඔවුන්ගේ අපරාධ කමා කරන්නෙමි; ඔවුන්ගේ පාප තවත් සිහි නොකරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


පාරට්ටු කරගන්නට යමෙක් කැමැති නම්, ඔහු, මා දැනහැඳිනීම ගැන පාරට්ටු කරගනී වා. මන්ද, පොළොව කරුණාවෙන් ද යුක්තියෙන් ද දමිටුකමෙන් ද පාලනය කරන සමිඳාණන් වහන්සේ මා බව ඔව්හු දැනගනිත් වා! මන්ද, මා ප්‍රිය කරන දේ මේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


පර්සියා රජු වූ සයිරස්ගේ තුන් වන අවුරුද්දේ දී බෙල්ටෙෂෙසර් නම් දානියෙල්ට දර්ශනයක් එළිදරව් කරන ලදී. එය සත්‍ය වූ දර්ශනයකි. එය මහා යුද්ධයක් පිළිබඳ ව ය. ඔහු එහි අර්ථය ගැන මෙනෙහි කර දර්ශනය තේරුම්ගත්තේ ය.


දේවාත්මානුභාවය ඇති මනුෂ්‍යයෙක් ඔබේ රාජ්‍යයේ සිටියි. ඔබේ පියාණන්ගේ කාලයේ දී මොහු පැහැදිලි කල්පනාව ද නුවණ ද දෙවියන්ගේ ප්‍රඥාවට සමාන ප්‍රඥාවක් ද ඇති කෙනෙකු ලෙස ප්‍රසිද්ධ ව සිටියේ ය. ඔබේ පියා වූ නෙබුකද්නෙශර්ගේ කාලයේ දී, ඔහු මන්ත්‍රකාරයන්ගේ ද අනවිනකාරයන්ගේ ද දෛවඥයන්ගේ ද පේන කියන්නන්ගේ ද ප්‍රධානියා වශයෙන් පත් කරන ලදී.


ඒ අවස්ථාවේ දී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: “ස්වර්ගයටත්, පොළොවටත් ස්වාමීන් වන පියාණන් වහන්ස, ඔබ වහන්සේ මේ කරුණු පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට, බාලයන්ට අනාවරණය කළ හෙයින් ඔබට තුති පුදමි.


මාගේ පියාණන් වහන්සේ සියල්ල මට පවරා දී ඇත. පියාණන් වහන්සේ හැර, අන් කිසිවෙක් පුත්‍රයාණන් නොහඳුනති. පුත්‍රයාණන් සහ පියාණන් වහන්සේ එළිදරව් කිරීමට පුත්‍රයාණන් විසින් තෝරාගනු ලැබූ යමෙක් වේ ද, ඔහු හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ නොහඳුනති.


ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ජෝනාගේ පුත් සීමොන්, ඔබ ඉතා භාග්‍යවන්ත ය. මන්ද, ස්වර්ගයෙහි වැඩවසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මඟකින් මෙය ඔබට එළිදරව් නොකරන ලද්දේ ය.


“ස්වාමීනි, අපට පෙනීම දුන මැනවැ”යි ඔව්හු උන් වහන්සේට කී හ.


අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප මිදුව මැනව.


ඔබ කිය යුතු දේ ඒ මොහොතේ දී ම ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබට දන්වනු ඇත.”


“අති උසස් තැන්හි දෙවිඳුන්ට මහිමය ද මිහි පිට දේව ප්‍රසාදය ලත් ජනයා අතර සාමය ද වේ වා”යි ගැයූ හ.


මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්‍රභා කළ නොහැකි වූ ද වාග් චතුරතාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි.


ඒ සහායදායකයාණෝ, සත්‍යයේ ආත්මයාණෝ ය. උන් වහන්සේ පිළිගැනීමට ලෝකයා අපොහොසත් ය. මන්ද, ලෝකයා උන් වහන්සේ දකින්නේ වත් හඳුනන්නේ වත් නැත. එහෙත්, ඔබ උන් වහන්සේ හඳුනන්නහු ය. මන්ද, උන් වහන්සේ ඔබ සමඟ නැවතී සිටිමින්, ඔබ තුළ වැඩ වසන සේක.


එහෙත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සහායදායකයාණන් වහන්සේ, එනම්, ශුද්ධාත්මයාණන් වහන්සේ සියල්ල ඔබට උගන්වමින්, මා වදාළ සියල්ල ඔබට සිහිපත් කරවන සේක.


ඔවුන් මේ දේවල් කරන්නේ, ඔවුන් පියාණන් වහන්සේ ද මා ද නොහඳුනන බැවිනි.


සදාතන ජීවනය මේ ය: එක ම සැබෑ දෙවියන් වන ඔබ ද, ඔබ විසින් එවන ලද තැනැන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද, දැනගැනීම ය.


ජේසුස් වහන්සේ කතා කොට, “මා අල්ලන්නට එපා; මන්ද, මම තව ම පියාණන් වහන්සේ වෙතට නොනැංගෙමි. ඒ නිසා දැන් ඔබ මාගේ සහෝදරයන් වෙතට ගොස්, ‘මම, මාගේ පියාණන් වහන්සේ හා ඔබගේ පියාණන් වහන්සේ ද මාගේ දෙවියන් වහන්සේ හා ඔබගේ දෙවියන් වහන්සේ ද වෙතට නඟින්නෙමි’යි ඔවුන්ට කියන්නැ”යි වදාළ සේක.


ඔහුගේ කතාවෙහි ගැබ් වූ ප්‍රඥාව හා ශුද්ධාත්ම බලය අභිබවා නැඟී සිටීමට ඔවුන්ට නොහැකි විය.


ස්තේපන් මෙසේ පිළිතුරු දුනි: “සහෝදරවරුනි, පියවරුනි, සවන් දෙන්න. අපගේ පිය වූ ආබ්‍රහම් හාරාන්හි පදිංචි වන්නට පෙර මෙසොපොතේමියාවේ සිටි කාලයෙහි, මහිමාන්විත දෙවියන් වහන්සේ ඔහුට පෙනී,


තවද ඔවුන් සිය බුද්ධියෙහි දෙවියන් වහන්සේට තැනක් දීම නුසුදුසු යයි සිතූ බැවින්, නුසුදුසු දේ කරන පිණිස තමන්ගේ ම දූෂිත චේතනාවන්ට ගොදුරු වීමට දෙවියන් වහන්සේ ඉඩ හැරිය සේක.


ක්‍රිස්තුන් වහන්සේගේ ආදර්ශය ලෙස ඔබ එකිනෙකා සමඟ එක්සිත් ව විසීමට, ඉවසිල්ලේ හා ධෛර්යයේ උල්පත වූ දෙවියන් වහන්සේ ඔබට වරම් දෙන සේක් වා!


කෙනෙකුට ආත්මයාණන් මඟින් උවදෙස් දීමේ ප්‍රඥාව ද, තවත් කෙනෙකුට එම ආත්මයාණන් මඟින් ම ධර්මය පහදා දීමේ ඥානය ද දී ඇත.


සහෝදරවරුනි, මා ඔබ වෙත පැමිණ එළිදරව් කිරීමේ ද ප්‍රඥාවේ ද දිවැසි වැකි දෙසීමේ ද අනුශාසනාවේ ද වචනවලින් ඔබට කතා නොකොට, අන් භාෂා කථනය කළොත් එයින් ඔබට කුමන ප්‍රයෝජනයක් ද?


මේ දේ දෙවියන් වහන්සේ ස්වකීය ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන අපට එළිදරව් කළ සේක. මන්ද, ආත්මයාණන් වහන්සේ දෙවියන් වහන්සේ පිළිබඳ ගාම්භීර දේ ඇතුළු සියල්ල විමසන සේක.


ඒ ප්‍රඥාව මෙලොව අධිපතීන්ගෙන් කිසිවෙක් නොදත්හ. එය ඔවුන් දැන සිටියා නම්, මහිමාන්විත සමිඳාණන් වහන්සේ කුරුසියේ ඇණ ගසන්නේ නැත.


පාරට්ටු කරගැනීමෙන් වැඩක් නැති වුවත් මට එසේ නොකර ඉන්න බැරි ය. එහෙත් සමිඳාණන් වහන්සේගෙන් මා ලත් දර්ශන හා එළිදරව් කිරීම් ගැන කතා කරමි.


ක්‍රිස්තුන් වහන්සේ තුළින් ස්වර්ගීය ස්ථානවල සියලු ආධ්‍යාත්මික ආශීර්වාද අපට දෙවා වදාළ, අපගේ ස්වාමීන් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා!


ආදි පරම්පරාවල මනුෂ්‍ය වර්ගයාට ඒ අබිරහස ප්‍රකාශ නොකරන ලදී. එහෙත් දැන් ආත්මයාණන් කරණකොටගෙන ශුද්ධ ප්‍රේරිතයනටත්, දිවැසිවරයනටත් එය එළිදරව් කර ඇත.


මේ ආකාරයෙන් ඇදහිල්ලේ ද දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් දැනගැන්මේ ද එකමුතුකමටත්, ක්‍රිස්තුන් වහන්සේගේ පරිණතභාවයෙන් වන පරිපූර්ණ පෞරුෂත්වයටත් අපි පත් වන්නෙමු.


එබැවින් අප අතරෙන් මුහුකුරා ගිය අයවලුන් ඒකාකාර ව කල්පනා කළ යුතු ය. එහෙත් ඔබ යමක් ගැන වෙනස් ලෙස සිතන්නහු නම්, ඒ ගැනත් දෙවියන් වහන්සේ ඔබගේ සිත් පහදවනු ඇත.


විරුද්ධවාදීන් සෞම්‍ය ලෙස යහමඟ යැවිය යුත්තේ දෙවියන් වහන්සේ ඔවුන්ට සිත් හරවා ගැනීමේ පසුතැවිල්ලක් දිය හැකි නිසා ය. එවිට ඔවුන්ට සත්‍යය හඳුනාගන්නට පිළිවන් වෙයි.


දෙවියන් වහන්සේගේ සේවකයෙකු ද, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු ද වන පාවුලු නම් මම, දෙවියන් වහන්සේ තෝරාගත් සෙනඟගේ ඇදහිල්ල ශක්තිමත් කර, දේව භක්තියෙහි සත්‍යය ඔවුන්ට ප්‍රත්‍යක්ෂ කරන පිණිස ලියමි.


මාගේ සහෝදරයෙනි, ඔබ තේජශ්‍රීයෙන් වැජඹෙන, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහන නිසා, මිනිසුන්ගේ තරාතිරම් බැලීමෙන් වැළකෙන්න.


උන් වහන්සේ ස්වකීය දිව්‍ය බලයෙන් ජීවිතයට හා භක්තිවන්තකමට අදාළ වන සියලු දේ අපට දී ඇත. එසේ දී ඇත්තේ තමන් වහන්සේගේ මහිමයට හා යහපත්කමට පංගුකාරයන් වීමට අප කැඳවාගත් තැනැන් වහන්සේ දැනගැනීම කරණකොටගෙන ය.


අපගේ ස්වාමීන් ද ගැළවුම්කාරයාණන් ද වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයෙහි ද උන් වහන්සේ දැනගැන්මෙහි ද වැඩිවර්ධනය වෙන්න. දැනුත් සදහටත් උන් වහන්සේට මහිමය වේ වා! ආමෙන්.


“ආමෙන්! ප්‍රශංසාව ද මහිමය ද ප්‍රඥාව ද ස්තුතිය ද ගෞරවය ද බලය ද පරාක්‍රමය ද අපේ දෙවියන් වහන්සේට සදහට ම වේ වා! ආමෙන් ය”යි කී හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්