මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 4:17 - Sinhala New Revised Version 201817 මොර්දෙකායි ගොස් එස්තර්ගේ නියමය ලෙස කෙළේ ය. එවිට සමිඳාණන් වහන්සේගේ සියලු පුදුම ක්‍රියාවන් සිහි කර යාච්ඤා කරමින් මොර්දෙකායි මෙසේ කීවේ ය: “සමිඳුනි, සමිඳුනි, සියල්ල පාලනය කරන රජිඳුනි, ස්වාමීනි, සියල්ල ඔබ බලයට යටත් ය. ඉශ්රායෙල්වරුන් ගැළවීමට ආශා කරන ඔබ කැමැත්තට එරෙහි ව යත හැකි කෙනෙක් නැත. එසේ ය, අහස හා පොළොව ද අහසින් යට සියලු පුදුම දේ ද සෑදුවේ ඔබ ය. සියල්ලේ සමිඳාණෝ ඔබ ය. සමිඳුනි, ඔබට විරුද්ධ විය හැකි කිසිවෙක් නැත. ඔබ සියල්ල දන්නා සේක; සමිඳුනි, මා කළ දේ කිරීමට අහංකාර හාමාන් අබිමුව වැඳ වැටෙන්නට මා අකමැති වූයේ උඩඟුවෙන් හෝ අහංකාරයෙන් හෝ බොරු ආඩම්බරයෙන් හෝ නොවන බව ඔබ දන්නා සේක. ඉශ්රායෙල්වරුන්ගේ විමුක්තිය සඳහා නම්, ඔහුගේ පා සිඹීමට වුව ද මට කැමැති වන්නට තිබිණි. එහෙත්, මා කළ දේ මා කෙළේ මිනිස් මහිමය දෙවි මහිමයට ඉහළින් නොතබන පිණිස ය. සමිඳුනි, ඔබ අබිමුව හැර අන් කිසිවෙකු අබිමුව මම වැඳ නොවැටෙමි. මා එසේ කරන්නේ, අහංකාරයෙන් නොවේ. දැන් ඉතින් දෙවි සමිඳුනි, රජිඳුනි, ආබ්‍රහම්ගේ දෙවිඳුනි, ඔබ සෙනඟට දයා පෑ මැනව. මන්ද, මින්පසු අපේ සතුරෝ අප වැනසීමට සොයති; ඔබ පැරණි උරුමය වැනසීමට මං යොදති. ඔබ මිසරයෙන් ඔබට ම මුදාගත්, ඔබ උරුමය නොතකා නොසිටිය මැනව. මා බැගෑපත් යැදුමට කන් දුන මැනව. ඔබ උරුමයට කරුණාව පා, සමිඳුනි, ඔබ සිරි නමට පසස් ගී ගැයීමට අප ජීවත් වන පිණිස අප දොම්නස සොම්නසට හැරෙව්ව මැනව. ඔබ පසසන අයගේ තොල් වැනසී යන්නට ඉඩ නෑරිය මැනව.” සියලු ඉශ්රායෙල් ජනයා තම මුළු ශක්තියෙන් මොරගැසූ හ. මන්ද, ඔවුන් මරණයට මුහුණ දී සිටි හෙයිනි. මරණ භීතියෙන් වෙළුණු එස්තර් බිසව ද සමිඳාණන් වහන්සේගේ පිළිසරණ සොයන්නට වූවා ය. ඇය තම මාහැඟි ඇඳුම් ඉවත ලා ශෝකය අඟවන ඇඳුම් හැඳගත්තී ය. සිය හිසෙහි ගැල්වූ අනර්ඝ සුවඳ පැන් වෙනුවට අළු හා සත්ත්ව මල තවරා ගත්තී ය. ඇය සිය ශරීරයට හිංසා කරගනිමින් මීට පෙර තම ශරීරය අලංකාර කරගත් තැන්වල ඇගේ කේශ කලාපයෙන් උදුරන ලද කෙස් රොදවල් විසි කරන ලදී. ඇය ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට බැගෑපත් ව යාච්ඤා කරමින් මෙසේ කීවා ය: මා සමිඳුනි, අප රජිඳුනි, ඔබ එක ම තැනැන් වහන්සේ ය. මා සහයට වැඩිය මැනව. මම තනි වී සිටිමි. ඔබ හැර අන් උදව්කරුවකු මට නැත. මාගේ දිවියට අනතුර මා අත ළඟයි. සමිඳුන් වන ඔබ සියලු ජාතීන් අතරෙන් ඉශ්රායෙල්වරුන් ද පැරණි ජනයා අතරෙන් අපේ පියවරුන් ද ඔබේ සදා උරුමය වන පිණිස තෝරාගත් බව මම බාල වියෙහි දී මාගේ පවුලේ තුරුල්ලෙහි දී ම ඉගෙනගතිමි. ඔබ පොරොන්දු වූ පරිදි ඔබ ඔවුන් සැලකුවෙහි ය. එහෙත්, අපි ඔබට විරුද්ධ ව පව් කෙළෙමු. අප සතුරන්ගේ දෙවියන්ට අප ගරු කළ නිසා ඔබ අප ඔවුන් අතට පාවා දුන් සේක. සමිඳුනි, ඔබ සාධාරණ ය. එහෙත්, ඔව්හු අප උග්‍ර වහල්කමට පත් කිරීමෙන් සෑහීමට පත් නොවූ හ. ඔබ මුවින් නික්මුණු නියමය අවලංගු කරන පිණිස ද ඔබ උරුමය මකාදමන පිණිස ද ඔබ පසසන අයගේ කට පියවන පිණිස ද ඔබ පුදසුනත්, ඔබ මාලිගාවේ මහිමයත් නැති කරන පිණිස ද එය වෙනුවට ජාතීන්ගේ මුඛයන්, නිෂ්ඵල ප්රතිමාවලට ප්‍රශංසා කිරීම සඳහා අරින පිණිස ද මිනිස් රජෙකුට වැඳුම්පිදුම් කරන පිණිස ද ඔව්හු තමන්ගේ පිළිමවල අත් තබා දිවුරන්ට සැලැසූ හ. සමිඳුනි, පැවැත්මක් රහිත දේට ඔබ රාජ යෂ්ටිය පාවා නුදුන මැනව. අපේ විනාශය ගැන අන්‍යයෝ අපට සමච්චල් නොකරත් වා! ඔවුන්ගේ සිතුම් පැතුම් ඔවුන්ට ම එරෙහි ව යැව්ව මැනව. අපට පහර දීමට මඟ පෙන්වන්නා ආදර්ශයක් කළ මැනව. සමිඳුනි, අපේ විපත් දවසේ දී අප සිහි කළ මැනව. ඔබගේ වැඩසිටීම ද අනාවරණය කළ මැනව. දේවාතිදෙවියනි, සව් බලැති සමිඳුනි, මා දිරිගැන්වුව මැනව. මා සිංහයාට මූණ පාන විට මා මුවෙහි සිත් ගැන්මෙහි සමත් වදන් තැබුව මැනව. අපේ සතුරා ද ඔහු වැනි අනෙක් අය ද වැනසෙන පිණිස ඔහුගේ හෘදය තුළ අපේ සතුරාට විරුද්ධ ව වෛරයක් ඇති කළ මැනව. ඔබේ හස්තයෙන් අප ගළවාලුව මැනව. සමිඳුනි, මා තනි ව සිටින හෙයින් ද ඔබ හැර අන් කිසිවෙකු මට නැති හෙයින් ද මාගේ සහයට වැඩිය මැනව. ඔබ සියලු දේ දන්නා සේක. අභක්තිකයන්ගෙන් ලබාගත හැකි ගරුබුහුමන් මා පිළිකුල් කරන බව ද අචර්මඡේදිතයන්ගේ හා සියලු විදේශිකයන්ගේ යහන මා නීච කොට සලකන බව ද ඔබ දන්නා සේක. මා බල කරනු ලැබ සිටින බව ද රාජ මාලිගාවෙහි පෙනී සිටින විට මාගේ නළල් පටිය වන මාගේ උතුම් ධුරයේ සලකුණ තුච්ඡ දෙයක් කොට මා සලකන බව ද ඔබ දන්නා සේක. මම එය කිලුටු කඩමාල්ලක් මෙන් සලකමි; මාගේ විවේක දිනවල දී මම එය නොපළඳිමි. ඔබේ මෙහෙකාරිය හාමාන් සමඟ කෑම අනුභව කර නැත. රාජ මංගල භෝජන අගේ කර නැත. දෙවිවරුන්ට පිදූ මිදිපැන් පානය කර නැත. තවද ඔබේ මෙහෙකාරිය තමා උසස් කරනු ලැබූ දින පටන් අද දක්වා ආබ්‍රහම්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන ඔබ තුළ පමණක් ප්‍රීති ප්‍රමුදිත වී ඇත. සියල්ලන් පිට බල පවත්වන සමිඳුනි, බලාපොරොත්තු රහිත වූවන්ගේ හඬට සවන් දුන මැනව. දුෂ්ටයන්ගේ අතින් අප ගළවාගත මැනව. මාගේ බියෙන් මා නිදහස් කළ මැනව. පරිච්ඡේදය බලන්න |