Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ලූක් 3 - සිංහල කාලීන පරිවර්තනය


පෙර ගමන්කරු-යොහන් බව්තීස්ත

1 තිබේරියස් සීසර්ගේ පාලනයේ පහළොස් වන වසරේ, පොන්තියුස් පිලාත් යුදයේ ආණ්ඩුකාරයාව, හෙරෝද් ගලීලයේ ප්‍රාන්ත රජුව, ඔහුගේ සහෝදර පිලිප් ඉතුරය හා ත්‍රකෝනිතියේ ප්‍රාන්ත රජුව, ලුසානියස් අබිලේනියේ ප්‍රාන්ත රජුව සිටි සමයේ

2 අන්නස් හා කායාපස්ගේ උත්තම පූජක නිල කාලයේ, දෙවියන්වහන්සේගේ වචනය පාළුකරයේදී සෙකරියස්ගේ පුත්‍ර යොහන් වෙත පැමිණියේ ය.

3 ඔහු යොර්දාන් අවට සියලු පෙදෙස්හි සැරි සරමින්, පාප කමාව පිණිස පසුතැවිලිවීමේ බව්තීස්මයක් දේශනා කළේ,

4 දිවැසිවර යෙසායාගේ වචන සඳහන් පොතේ ලියවී තිබූ පරිදි ය: “කාන්තාරයේ හඬගසන්නකුගේ කටහඬකි; ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කරනු. උන්වහන්සේට සෘජු මාවත් සාදනු;

5 මිටියාවත් හැම පුරවනු ලබනු ඇත, හැම කන්දක් හා හෙලක්ම පහත් කරනු ලැබේ. ඇද වූ මාවත් කෙළින් කරනු ඇත, රළු මාර්ග මෘදු කෙරෙනු ඇත.

6 දෙවියන්වහන්සේගේ ගැලවීම මුළු මිනිස් සංහතියම දකිනු ඇත.’ ”

7 බව්තීස්ම ලබන්නට තමන් වෙත ආ සමූහයා ඇමතූ ඔහු, “එම්බා පොළොං පැටවුනි, පැමිණෙන උදහසින් පලා යන්නට නුඹලාට අවවාද කළේ කවුරු ද?

8 පසුතැවිල්ලට අනුකූල පල උපද්දවනු. ‘අපගේ පියාණන් වශයෙන් අපට ආබ්‍රහම් ඉන්නවා ය’ කියන්නට පටන් ගන්න එපා. මන්ද මේ ගල්වලින් වුවත් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්නට දෙවියන්වහන්සේට පුළුවනි.

9 පොරොව දැනටමත් ගස්වල මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නො දරන හැම ගසක්ම කපා ගින්නෙහි හෙළනු ලැබේ යැ” යි කීවේ ය.

10 එවිට සමූහයා, “එසේ නම් කුමක් ද අප කළ යුත්තේ?” යි ඇසූහ.

11 ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “අඳන දෙකක් ඇති තැනැත්තා, නැති කෙනකු හා බෙදා ගනිත්වා. ආහාර ඇති අය ද එසේම කරත්වා” යි කීවේ ය.

12 බදු අය කරන්නෝ ද බව්තීස්ම ලබන්නට අවුත්, “ගුරුතුමනි, අප කළ යුත්තේ කුමක් දැ?” යි ඇසූහ.

13 “අනුමත පමණට වඩා බදු අය නො කරනු” යි ඔවුන්ට ඔහු පිළිතුරු දුන්නේ ය.

14 සෙබළු ද ප්‍රශ්න කරමින්, “එතකොට අප? කුමක් ද අප කළ යුත්තේ?” යි ඇසූහ. ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “බලෙන් යමක් පැහැර ගන්න එපා, කිසිවකුට බොරු චෝදනා කරන්න එපා, ලැබෙන වැටුපෙන් සෑහී සිටිනු” යි කීවේ ය.

15 බලාපොරොත්තු සහගතව සිටි ජනයා, මේ මෙසියස්වහන්සේදෝයි යොහන් ගැන තම හදවත්හි විමසන්නට වූ කල,

16 ඔවුන් සියල්ලන් ඇමතූ යොහන්, “මා, ඔබ බව්තීස්ම කරන්නේ වතුරිනි; එහෙත් මට වඩා බලගතු කෙනෙක් පැමිණෙයි. උන්වහන්සේගේ පාවහන් පටි මුදන්නටවත් මා වටින්නේ නැත. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් හා ගින්නෙන් ඔබ බව්තීස්ම කරන සේක.

17 කමත හොඳ හැටි පවිත්‍ර කරන්නටත්, ධාන්‍ය තම අටුවේ රැස් කරන්නටත්, උන්වහන්සේගේ කුල්ල උන්වහන්සේ අතේ ය. එහෙත් උන්වහන්සේ, බොල් නො නිවෙන ගින්නෙහි හෙළන සේකැ” යි කීවේ ය.

18 මෙසේ තවත් බොහෝ අනුශාසනා පවත්වමින් යොහන් ජනතාවට ශුභාරංචිය දේශනා කළේ ය.

19 එහෙත්, හෙරෝද් ප්‍රාන්ත රජ, ඔහුගේ සහෝදරයාගේ භාර්යාව වූ හෙරෝදියස් ගැන හා ඔහු කර තිබූ සියලු දුෂ්ටකම් ගැන යොහන් ඔහුට තරවටු කළ නිසා,

20 ඔහු සිරගත කිරීමෙන්, වඩා දුෂ්ටකමක් එකතු කරගත්තේ ය.


යේසුස්වහන්සේගේ බව්තීස්මය හා පෙළපත

21 සියල්ලෝ බව්තීස්මය ලබන කල යේසුස්වහන්සේ ද බව්තීස්ම ලැබ, යාච්ඤා කරමින් සිටියදී, ස්වර්ගය විවරව,

22 ශුද්ධාත්මයාණන්වහන්සේ පරෙවි වෙසින් තමා වෙත බැස ආ සේක. තවද, “මාගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි. මාගේ මහත් ප්‍රසාදය ඔබ සමඟ යැ” යි අහසින් කටහඬක් නික්මුණේ ය.

23 යේසුස්වහන්සේ තම සේවය අරඹන කල, තිස් හැවිරිදි පමණ වූ සේක. මිනිසුන් සිතුවේ උන්වහන්සේ යෝසෙප්ගේ පුත්‍රයා කියා ය. ඔහු හේලීගේ පුත්‍රයා ය,

24 ඔහු මත්තාත්ගේ පුත්‍රයා ය, ඔහු ලෙවීගේ පුත්‍රයා ය, ඔහු මෙල්කීගේ පුත්‍රයා ය, ඔහු යන්නයිගේ පුත්‍රයා ය, ඔහු යෝසෙප්ගේ පුත්‍රයා ය.

25 ඔහු මත්තාතියස්ගේ පුත්‍රයා ය, ඔහු ආමොස්ගේ පුත්‍රයා ය, ඔහු නාහුම්ගේ පුත්‍රයා ය, ඔහු එස්ලීගේ පුත්‍රයා ය, ඔහු නග්ගයිගේ පුත්‍රයා ය,

26 ඔහු මායත්ගේ පුත්‍රයා ය, ඔහු මත්තාතියස්ගේ පුත්‍රයා ය, ඔහු සෙමෙයින්ගේ පුත්‍රයා ය, ඔහු යෝසෙක්ගේ පුත්‍රයා ය, ඔහු යෝදාගේ පුත්‍රයා ය,

27 ඔහු යොවානන්ගේ පුත්‍රයා ය, ඔහු රෙසාගේ පුත්‍රයා ය, ඔහු සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙයල්තියෙල්ගේ පුත්‍රයා ය, ඔහු නේරීගේ පුත්‍රයා ය,

28 ඔහු මෙල්කීගේ පුත්‍රයා ය, ඔහු අද්දීගේ පුත්‍රයා ය, ඔහු කෝසම්ගේ පුත්‍රයා ය, ඔහු එල්මාදම්ගේ පුත්‍රයා ය, ඔහු ඒර්ගේ පුත්‍රයා ය,

29 ඔහු යෝෂුවාගේ පුත්‍රයා ය, ඔහු එලියේසර්ගේ පුත්‍රයා ය, ඔහු යෝරීම්ගේ පුත්‍රයා ය, ඔහු මත්තාත්ගේ පුත්‍රයා ය, ඔහු ලෙවීගේ පුත්‍රයා ය,

30 ඔහු සිමියොන්ගේ පුත්‍රයා ය, ඔහු යූදාගේ පුත්‍රයා ය, ඔහු යෝසෙප්ගේ පුත්‍රයා ය, ඔහු යෝනාම්ගේ පුත්‍රයා ය, ඔහු එලියාකීම්ගේ පුත්‍රයා ය,

31 ඔහු මෙලෙයාගේ පුත්‍රයා ය, ඔහු මෙන්නාගේ පුත්‍රයා ය, ඔහු මත්තතාගේ පුත්‍රයා ය, ඔහු නාතාන්ගේ පුත්‍රයා ය, ඔහු දාවිත්ගේ පුත්‍රයා ය,

32 ඔහු යෙස්සේගේ පුත්‍රයා ය, ඔහු ඕබෙද්ගේ පුත්‍රයා ය, ඔහු බෝවස්ගේ පුත්‍රයා ය, ඔහු සල්මොන්ගේ පුත්‍රයා ය, ඔහු නාෂොන්ගේ පුත්‍රයා ය,

33 ඔහු අම්මිනාදාබ්ගේ පුත්‍රයා ය, ඔහු අද්මින්ගේ පුත්‍රයා ය, ඔහු අර්නීගේ පුත්‍රයා ය, ඔහු හෙස්රොන්ගේ පුත්‍රයා ය, ඔහු පෙරෙශ්ගේ පුත්‍රයා ය, ඔහු යූදාගේ පුත්‍රයා ය,

34 ඔහු යාකොබ්ගේ පුත්‍රයා ය, ඔහු ඊසාක්ගේ පුත්‍රයා ය, ඔහු ආබ්‍රහම්ගේ පුත්‍රයා ය, ඔහු තේරාගේ පුත්‍රයා ය, ඔහු නාහොර්ගේ පුත්‍රයා ය,

35 ඔහු සෙරුග්ගේ පුත්‍රයා ය, ඔහු රෙයුගේ පුත්‍රයා ය, ඔහු පෙලෙග්ගේ පුත්‍රයා ය, ඔහු එබෙර්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙලාගේ පුත්‍රයා ය,

36 ඔහු කායිනන්ගේ පුත්‍රයා ය, ඔහු අර්පක්සද්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙම්ගේ පුත්‍රයා ය, ඔහු නෝවාගේ පුත්‍රයා ය, ඔහු ලාමෙක්ගේ පුත්‍රයා ය,

37 ඔහු මෙතුසෙලාගේ පුත්‍රයා ය, ඔහු ඒනොක්ගේ පුත්‍රයා ය, ඔහු යාරෙද්ගේ පුත්‍රයා ය, ඔහු මහලලෙල්ගේ පුත්‍රයා ය, ඔහු ‍කේනාන්ගේ පුත්‍රයා ය,

38 ඔහු ඒනොෂ්ගේ පුත්‍රයා ය, ඔහු සෙත්ගේ පුත්‍රයා ය, ඔහු ආදම්ගේ පුත්‍රයා ය, ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයා ය.

ශුද්ධ බයිබලය, සිංහල කාලීන පරිවර්තනය™, අලුත් ගිවිසුම

සියලු හිමිකම් ඇවිරිණි © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.

අවසර ඇතුව උපුටා ගනු ලැබී ය. ලොව පුරා සියලු හිමිකම් ඇවිරිණි.

Sinhala Contemporary Version™, New Testament

Copyright © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.

Used with permission. All rights reserved worldwide.

Biblica, Inc.
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්