Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යූද් 1 - සිංහල කාලීන පරිවර්තනය

1 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයකු ද යාකොබ්ගේ සොහොයුරා ද වන යූද් වෙතිනි; පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේ තුළ ප්‍රේමණීයයන් වීමට හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා සුරක්ෂිතව තැබීමට කැඳවුම් ලද්දවුන් වෙතයි.

2 දයාව, සාමය හා ප්‍රේමය වැඩි-වැඩියෙන් ඔබට අත් වේවා!


හොර රහසේ ඇතුළු වූවෝ

3 ප්‍රේමණීයයනි, අප පංගුකාරව සිටින ගැලවීම පිළිබඳව ඔබට ලියා එවන්නට ලොකු ඕනෑකමක් තිබුණ ද, එක් වරක්ම ශුද්ධවතුනට බාර දෙන ලද ඇදහිල්ල සඳහා සටන් වදින ලෙස ඉල්ලමින් ඔබට ලිවීම අවශ්‍යමැයි මට හැඟිණ.

4 මන්ද ඈත අතීතයේදී, මේ දඬුවමට නියම කරනු ලැබූ ඇතැම් දෙනෙක් හොර රහසේ ඔබ අතරට රිංගාගෙන සිටින බැවිනි. අභක්තිකයින් වූ ඔවුහු අපගේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහය, දුරාචාරය සඳහා වූ බලපත්‍රයකට හරවාගෙන, අපගේ එකම ස්වාමියාණන් ද පරමාධිපතියාණන් ද වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රතික්ෂේප කරති.

5 ඔබ මෙය මුළුමනින් දැන සිටියත්, මේවා ඔබට මතක් කර දෙන්නට කැමැත්තෙමි; එක් වරක් ස්වාමින්වහන්සේ ජනතාවක් ඊජිප්තු දේශයෙන් මුදා, විශ්වාස නො කළවුන් පසුව විනාශ කර දැමූ වග

6 හා තමන් ලත් අධිපති නිලයේ නො පැවත, තමන්ට නියමිත නිවහන් අත්හළ දේව දූතයින්, ඒ මහා දවසේ විනිශ්චය සඳහා සදාතන බැඳුමින් බඳිනු ලැබ, අන්ධකාරය යට උන්වහන්සේ විසින් රඳවා තබා ඇති වග ය.

7 එලෙසම, සොදොම හා ගොමොරාව හා ඒ අවට නගර ලිංගික දුරාචාරයටත්, විකෘති තෘෂ්ණාවනටත් තමන්ම පාවා දී, සදාතන ගින්නේ දඬුවම විඳිමින් ආදර්ශයක් වී සිටිති.

8 එලෙස මොවුහු ද තමන්ගේ සිහිනවල එල්බගෙන, මාංසය දූෂ්‍ය කර ගනිති; ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරති; ශ්‍රේෂ්ඨයින්ට එරෙහිව නින්දා අපහාස කරති.

9 එහෙත් අග්‍ර දේව දූත මිකායෙල් පවා මෝස‍ෙස්ගේ මිනිය ගැන යක්ෂයා සමඟ වූ ආරවුලේදී වාද කරන විට, අපහාසාත්මකව චෝදනා කරන්නට එඩිතර නො වී, “ස්වාමින්වහන්සේ නුඹට තරවටු කරන සේකැ” යි කීවේ ය.

10 එහෙත් මොවුහු තමනට නො වැටහෙන හැම දේට අපහාස කරති. සිහිමොලේ නැති තිරිසනුන්ට මෙන් සහජයෙන් ඔවුනට වැටහෙන දෑවලින් ඔවුන් විනාශ කර දැමේ.

11 ඔවුන්ට වන විපතක මහත! මන්ද කායින්ගේ මාර්ගයේ ගමන් ගන්නා ඔවුහු, වාසියට ගිජුව බාලාම්ගේ වරදේ අතරමංව, කෝරාගේ කැරැල්ලේදී විනාශ වූහ.

12 මොවුහු ඔබගේ ප්‍රේම මංගල්‍යවල ලප කැළැල් ය; බය නැතිව ඔබ සමඟ අහර බුදින මොවුහු තමන් පමණක් පෝෂ්‍ය කරගන්නා එඬේරු ය. සුළඟට ගසාගෙන යන ජලය නැති වලාකුළු ය; දෙවරක් මැරුණු, මුලිනුදුරා දමනු ලැබූ, පල වාරයේ පල නො දැරූ ගස් ය.

13 තම නිර්ලජ්ජිත පෙණ නංවන මුහුදේ සැඩ රැළි ය. මංමුළා වූ තාරකා ය. ඝන අන්ධකාරයේ කළුවර සදහට ම ඔවුන්ට වෙන් කර ඇත.

14 ආදම්ගෙන් පටන් හත්වැන්නා වූ ඒනොක්, මොවුන් ගැන දිවැසි වැකියෙන් මෙසේ කියා තිබේ: “අන්න! දස දහස් ගණන් තම ශුද්ධවතුන් සමඟ ස්වාමින්වහන්සේ එන්නේ,

15 සියල්ලන්ටම විනිශ්චය තීන්දු කිරීමටත්, සියල්ලන්, ඒ සා අභක්තික මාර්ගවලින් කරන ලද සියලු අභක්තික ක්‍රියා ගැන හා උන්වහන්සේට එරෙහිව අභක්තික පව්කරුවන් පවසන ලද සියලු රළු කියුම් ගැන ඔවුන් වරදකරුවන් කිරීමටත් ය.”

16 මොවුහු මැසිවිලි නගන්නෝ ය; කොඳුරන්නෝ ය; තමන්ගේ දුෂ්ට තෘෂ්ණා අනුව යන්නෝ ය; මොවුහු තම වාසිය තකා පක්ෂවාදී, වාචාල පුරසාරම්කරුවෝ ය.


කැඳවීමේ ඔවදන්

17 එහෙත් ප්‍රේමණීයයනි, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අපෝස්තුලුවරුන් කලින් කියන ලද වචන සිහි කරන්න.

18 ඔවුන් ඔබට පැවසුවේ, “තමන්ගේ අභක්තික තෘෂ්ණා අනුව යන ගරහන්නන් අවසන් දවස්හි පැමිණෙනු ඇත” කියා ය.

19 බෙදුම් ඇති කරන්නේ ජම්මික මනසින් යුතු වූ, ආත්මයාණන්ගෙන් තොර වූ මොවුහුම ය.

20 එහෙත් ප්‍රේමණීයයනි ඔබ, ඔබගේ අතිශුද්ධ වූ ඇදහිල්ල තුළ ඔබම වර්ධනය කරගන්න; ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ යාච්ඤා කරන්න.

21 සදාතන ජීවනයට ඔබ ගෙන යන යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දයාව බලා හිඳිමින් දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙහි ඔබම පැවත සිටින්න.

22 සැක ශංකා ඇත්තවුනට අනුකම්පා කරන්න.

23 ගින්නෙන් ඉවතට ඇද අන්‍යයන් ගලවන්න. මාංසයෙන් කැළැල් වූ ඇඳුමට පවා ද්වේෂ කරමින්, බයින් යුතුව අන් අයට දයාව පාන්න.


ආශිංසනය

24 පැකිළීමෙන් ඔබ වළකාගන්නටත්, මහා ප්‍රීතියකින් ස්වකීය තේජවත් අභිමුඛයට දෝෂ රහිතව ඔබ පමුණුවන්නටත් සමත් තැනැන්වහන්සේට,

25 අප ගැලවුම්කාර එකම දෙවියන්වහන්සේට, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් තේජෝමහිමයත්, පරාක්‍රමයත්, බලයත්, ආධිපත්‍යයත් සියලු කාලවලට පෙරත්, දැනුත්, සදහටත් වේවා! ආමෙන්.

ශුද්ධ බයිබලය, සිංහල කාලීන පරිවර්තනය™, අලුත් ගිවිසුම

සියලු හිමිකම් ඇවිරිණි © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.

අවසර ඇතුව උපුටා ගනු ලැබී ය. ලොව පුරා සියලු හිමිකම් ඇවිරිණි.

Sinhala Contemporary Version™, New Testament

Copyright © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.

Used with permission. All rights reserved worldwide.

Biblica, Inc.
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්