Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ෆිලෙමොන් 1 - සිංහල කාලීන පරිවර්තනය

1 ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සිරකරුවකු වූ පාවුල් හා අප සහෝදර තිමෝති වෙතින්, අප සේවයේ හවුල්කාර අප ප්‍රේමණීය පිලෙමොන් ද

2 අප සහෝදරිය අප්පියා ද අපගේ හවුල් සෙබළ අර්කිපස් ද ඔබ නිවසේ රැස්වන සභාව ද වෙතයි.

3 අපගේ පියාණන් වූ දෙවියන්වහන්සේගෙන් හා යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ඔබට අනුග්‍රහයත්, සාමයත් වේවා!


තුතිය හා යැදුම

4 මාගේ යාච්ඤාවලදී ඔබ සිහි කරන හැම විටෙක, මාගේ දෙවියන්වහන්සේට මා ස්තුති කරන්නේ,

5 යේසුස්වහන්සේ වෙත හා සියලු ශුද්ධවන්තයින් වෙත ඇති ඔබගේ ප්‍රේමය හා ඇදහිල්ල ගැන මට අසන්නට ලැබෙන බැවිනි.

6 අප තුළ ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ඇති හැම හොඳ දෙයක් පිළිබඳව පූර්ණ අවබෝධයක් ඔබට ලැබෙන පිණිස, ඔබගේ ඇදහිල්ලේ හවුල්කාරකමෙහි ඔබ පලදායි වන පිණිස මම යාච්ඤා කරමි.

7 මා සොහොයුර, ඔබගේ ප්‍රේමය මට මහත් ප්‍රීතියක් හා සැනසිල්ලක් ගෙන දී ඇත. මන්ද ඔබ තුළින් ශුද්ධවතුන්ගේ හදවත් ප්‍රාණවත් කරනු ලැබ ඇති හෙයිනි.


ඔනේසිමස් ගැන පාවුල්ගේ ආයාචනය

8 එබැවින්, කරන්නට අවශ්‍ය දේ ගැන ඔබට නියෝග කරන්නට වුව ද, ක්‍රිස්තුස්වහන්සේ තුළ මට ධෛර්යය ඇතත්,

9 ප්‍රේමයේ නාමයෙන් මම ඔබට ආයාචනයක් කරමි. මහලු මිනිසකු ද දැන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සිරකරුවකු ද වන පාවුල් නම් මම,

10 සිරගතව සිටියදී පියාණන් බවට මා පත් වූ මගේ දරුවා වන ඔනේසිමස් ගැන ඔබට ආයාචනා කරමි.

11 කලින් ඔහු ඔබට නිෂ්ප්‍රයෝජනව සිටි නමුදු, දැන් ඔහු ඔබටත්, මටත් දෙදෙනාටම ප්‍රයෝජනව සිටියි.

12 මාගේම හදවත වැනි ඔහු ඔබ වෙත ආපසු එවන්නෙමි;

13 ශුභාරංචිය උදෙසා මා මෙසේ සිරගතව සිටියදී මගේ උපකාරයට, ඔබ වෙනුවට ඔහු මා වෙත රඳවා ගැනීම මගේ කැමැත්තයි.

14 එහෙත්, ඔබගේ අනුමැතියෙන් තොරව, කිසිත් කරන්නට මා කැමති නො වූයේ, ඔබ කරන යහපත බලයෙන් නො ව, ස්ව කැමැත්තෙන් කරන්නක් වන පිණිසයි.

15 ඇතැම් විට, කලකට ඔහු ඔබෙන් වෙන් කරන ලද්දේ ඔහු සදහට ම ආපසු ලැබීමට විය හැක.

16 තවදුරටත් දාසයකු ලෙස නො ව, දාසයකුට වඩා ප්‍රේමණීය සහෝදරයකු ලෙස ලැබීමට විය හැක. විශේෂයෙන්ම මට එසේ වී නම්, මිනිස් ආකාරයෙන් පමණක් නො ව ස්වාමින්වහන්සේ තුළ සහෝදරයකු වශයෙන් ඔබට කොයි තරම් වේ ද!

17 එබැවින් මා ඔබේ හවුල්කරු යැයි ඔබ සලකනවා නම්, මා පිළිගන්නා විලස සාදරයෙන් ඔහු පිළිගන්න.

18 ඔහු ඔබට වරද කර ඇත්නම්, නැතහොත් කිසිවකින් ඔබට ණය නම්, එය මගේ ගණනට දමන්න.

19 මම, පාවුල්, මගේම අතින් ඔබට ලියන්නේ, මම එය ආපසු ගෙවන්නෙමි. ඔබ, ඔබේම ජීවිතයෙන් මට ණය වග මතක් කළ යුතු නො වේ.

20 ඔව් සහෝදරය, ස්වාමින්වහන්සේ තුළ මට ඔබෙන් උපකාරයක් අවශ්‍යයයි. ක්‍රිස්තුස්වහන්සේ තුළ මා හද ප්‍රාණවත් කරන්න.

21 ඔබගේ කීකරුකම ගැන වූ විශ්වාසයෙන්, මා ඔබට ලියන්නේ, මා කියනවාටත් වඩා වැඩියෙන් ඔබ කරන වග දැනගෙන ය.

22 ඒ හැර, නවාතැනක් මට සූදානම් කර තබන්න. මන්ද ඔබේ යාච්ඤාවලට පිළිතුරු වශයෙන් ඔබ අතරේ යළි මා පිහිටුවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

23 ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මගේ හවුල් සිරකරු එපප්‍රස්, තම ආචාරය ඔබට පිළිගන්වයි.

24 මගේ හවුල් වැඩකරුවන් වන මාර්ක්, අරිස්තාර්කස්, දේමස් හා ලූක් ද එසේම කරති.

25 යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබගේ ආත්මය හා වේවා!

ශුද්ධ බයිබලය, සිංහල කාලීන පරිවර්තනය™, අලුත් ගිවිසුම

සියලු හිමිකම් ඇවිරිණි © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.

අවසර ඇතුව උපුටා ගනු ලැබී ය. ලොව පුරා සියලු හිමිකම් ඇවිරිණි.

Sinhala Contemporary Version™, New Testament

Copyright © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.

Used with permission. All rights reserved worldwide.

Biblica, Inc.
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්