කොලොස්සි 1 - සිංහල කාලීන පරිවර්තනය1 දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පාවුල් හා අපගේ සහෝදර තිමෝති ද වෙතින්, 2 කොලොස්සිහි වෙසෙන ශුද්ධවන්තයින් වූ ක්‍රිස්තුස්වහන්සේ තුළ විශ්වාසී සහෝදරයින් වෙතයි: ඔබට අනුග්‍රහයත්, අපගේ පියාණන් වූ දෙවියන්වහන්සේගෙන් සාමයත් අත් වේවා! තුතිය හා යැදුම 3 ඔබ උදෙසා යාච්ඤා කරන කල, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ පියාණන් වූ දෙවියන්වහන්සේට නිරතුරු අපි තුති පුදන්නේ, 4 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති ඔබගේ ඇදහිල්ලත්, සියලු ශුද්ධවන්තයින් වෙත ඇති ඔබගේ ප්‍රේමයත් ගැන අප අසා ඇති බැවිනි. 5 ඒ දෑ පැන නැගෙනුයේ, ඔබ උදෙසා ස්වර්ගයේ තබා තිබෙන බලාපොරොත්තුව තුළිනි. සත්‍යතාවේ වචනය වන ශුභාරංචිය මඟින් ඒ ගැන දැනටමත් ඔබ අසා ඇත. 6 ඔබ වෙත පැමිණි මෙම ශුභාරංචිය අසා, දෙවියන්වහන්සේගේ අනුග්‍රහය සැබෑවෙන් ඔබ වටහා ගත් දා පටන්, ඔබ මධ්‍යයේ සිදුවන අයුරින්, එය ලොව මුළුල්ලේම පැතිර පල දරමින්, වැඩෙමින් පවතී. 7 ඔබ ශුභාරංචිය උගත්තේ අප ප්‍රේමණීය හවුල් දාසයකු වන එපප්‍රස්ගෙනි. ඔහු අප වෙනුවෙන් ක්‍රිස්තුස්වහන්සේගේ විශ්වාසී සේවකයකු වේ. 8 ආත්මයාණන්වහන්සේ තුළ වූ ඔබගේ ප්‍රේමය ගැන අපට දැන්වූයේ ඔහු ය. 9 ඔබ ගැන ඇසූ දා පටන් නොකඩව, ඔබ උදෙසා අප යාච්ඤා කරන්නේ එබැවිනි. දෙවියන්වහන්සේගෙන් අප ඉල්ලා සිටින්නේ, සකල ආත්මික ප්‍රඥාව හා අවබෝධය මඟින් උන්වහන්සේගේ කැමැත්ත දැනගැන්මෙහි ලා ඔබ පූර්ණ කරන ලෙසයි. 10 තවද, ස්වාමින්වහන්සේට ඔබින ලෙස ජීවත් වීමට හා හැම අතින්ම උන්වහන්සේ සතුටු කිරීමට ඔබට හැකි වන පිණිස ය: හැම අයුරු යහ වැඩවලින් පල දරමින් ද දෙවියන්වහන්සේ දැන-හැඳින ගැනීමෙහි වැඩෙමින් ද 11 නො පසුබස්නා ඉමහත් වීරියක් හා ඉවසීමක් ඔබට අත්වන සේ දෙවියන්වහන්සේගේ තේජාන්විත පරාක්‍රමයට අනුව හැම බලයෙන්ම සවිමත් වෙමින් ප්‍රීතියෙන් ද 12 ආලෝක රාජ්‍යයෙහි ශුද්ධවන්තයින්ගේ උරුමයේ පංගුකාරකමට ඔබත් සුදුස්සකු කළ පියාණන්වහන්සේට තුති පුදමින් ද ඔබට සිටිනු හැකි වන පිණිස ය. 13 මන්ද අන්ධකාරයේ ආධිපත්‍යයෙන් අප මුදා ගෙන, ස්වකීය ප්‍රේමණීය පුතණුවන්ගේ රාජ්‍යයට අප ඇතුල්කර ගත්තේ උන්වහන්සේ ය. 14 අපගේ මිදීම වන අපගේ පාපවලට කමාව අපට ඇත්තේ එම පුත්‍රයාණන් තුළ ය. කිතු සමිඳුන්ගේ උත්තම භාවය 15 අදෘශ්‍යමාන දෙවියන්වහන්සේගේ ස්වරූපය වන උන්වහන්සේ, සකල මැවිල්ලේ කුලුඳුලාණන් ය; 16 මන්ද සියල්ලම මවන ලද්දේ උන්වහන්සේ මඟිනි; ස්වර්ගය තුළ ද පොළොව පිට ද ඇති දෑ, දෘශ්‍යමාන මෙන්ම අදෘශ්‍යමාන දෑ, සිංහාසන වේවා, පරාක්‍රම වේවා, පාලකයින් හෝ බලධාරීන් වේවා, සියල්ල මවන ලද්දේ උන්වහන්සේ මඟිනි. උන්වහන්සේ වෙනුවෙනි. 17 සෑම මැවිල්ලකටම පූර්වයෙන් උන්වහන්සේ සිටින සේක. මවන ලද සියලු දේ උන්වහන්සේ තුළ එකට එක්ව පවතී. 18 සභාව වන ශරීරයේ හිස උන්වහන්සේ ය. මූලාරම්භය උන්වහන්සේ ය. මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාණෝ උන්වහන්සේ ය. මෙසේ, සියලු දේහි ප්‍රමුඛ ශ්‍රේෂ්ඨත්වය උන්වහන්සේ සතු ය. 19 මන්ද දෙවියන්වහන්සේගේ ප්‍රිය මනාපය වූයේ, ස්වකීය දේවත්වය ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිපූර්ණව පැවතීමත්, 20 පොළොව පිට ඇති දෑ වේවා, ස්වර්ගයෙහි ඇති දෑ වේවා, ඒ සියල්ල ක්‍රිස්තුස්වහන්සේ කුරුසියේ වගුළ ලෙය හේතු කොට, සාමය සැලසීමෙන්, උන්වහන්සේ මඟින් සියලු දේම තමන්වහන්සේට සමඟි කර ගැනීමත් ය. 21 කලක් ඔබත් දෙවියන්වහන්සේට පිටස්තරයින්ව, නපුර කිරීමෙන් ඔබේ සිතින් උන්වහන්සේගේ සතුරන්ව සිටියහ. 22 එහෙත් දැන් ක්‍රිස්තුස්වහන්සේගේ මාංසික ශරීරයේ මරණය මඟින් දෙවියන්වහන්සේ, තමන්වහන්සේ සමඟ ඔබ සමඟි කරගෙන ඇත්තේ, තමන්වහන්සේගේ ඇස් හමුවේ ඔබ ශුද්ධව, නො කැළැල්ව, නිදොස්ව පිළිගැන්වෙනු පිණිස ය. 23 එසේ වන්නේ ඔබ ඇදහිල්ලේ තහවුරු වී, ස්ථාවර වී, අඛණ්ඩව එහි පැවත, ශුභාරංචියේ බලාපොරොත්තුවෙන් බැහැර නො වී සිටියහොත් ය. අහසින් යට සමස්ත මැවිල්ලටම ප්‍රකාශිත එය, ඔබ ද ඇසූ ශුභාරංචිය ය; පාවුල් වන මම එහි සේවකයෙක් බවට පත්ව සිටිමි. සභාව උදෙසා පාවුල්ගේ කාර්ය භාරය 24 ඔබ උදෙසා විඳින දුක් ගැහැට ගැන, දැන් මම සතුටු වෙමි. ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා උන්වහන්සේගේ වධ විඳීම්වල අඩුව මාගේ මාංසයෙන් සම්පූර්ණ කරමි. 25 දෙවියන්වහන්සේගේ වචනය පූර්ණත්වයෙන් ප්‍රකාශ කිරීමේ කාර්යය ඉටු කිරීමට, දෙවියන්වහන්සේගේ නියමයෙන් ඔබ උදෙසා මට දෙන ලද උන්වහන්සේගේ ගබඩාකාරකමේ හැටියට මම එහි සේවකයෙක් වී සිටිමි. 26 ඒ පණිවුඩය, කාල වකවානු හා පරම්පරා ගණනාවක් තිස්සේ රහසිගතව තිබූ නමුදු, දැන් ශුද්ධවන්තයනට හෙළිකර ඇති අබිරහසයි. 27 අන්‍ය-ජාතීන් අතරේ මෙම අබිරහසේ තේජාන්විත සම්පත කොතෙක්දැයි ඔවුන්ට දැන්වීමට දෙවියන්වහන්සේ තීරණ කළ සේක. ඒ තේජසේ බලාපොරොත්තුව ඔබ තුළ සිටින ක්‍රිස්තුස්වහන්සේ ය. 28 එබැවින් හැම කෙනකුම ක්‍රිස්තුස්වහන්සේ තුළ සම්පූර්ණත්වයෙන් දෙවියන්වහන්සේට පිළිගන්වනු පිණිස, අපි මුළු ප්‍රඥාවෙන් යුතුව හැම කෙනකුටම ගුරුහරුකම් දෙමින් ද හැම කෙනකුටම උගන්වමින් ද ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කරන්නෙමු. 29 එම අරමුණ ඉටු කරනු සඳහා මම, මා තුළ බලවත්ව ක්‍රියා කරන උන්වහන්සේගේ උපරිම ශක්තියෙන් යුතුව මහත් පරිශ්‍රමයෙන් වෙහෙස දරන්නෙමි. |
ශුද්ධ බයිබලය, සිංහල කාලීන පරිවර්තනය™, අලුත් ගිවිසුම
සියලු හිමිකම් ඇවිරිණි © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.
අවසර ඇතුව උපුටා ගනු ලැබී ය. ලොව පුරා සියලු හිමිකම් ඇවිරිණි.
Sinhala Contemporary Version™, New Testament
Copyright © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.
Used with permission. All rights reserved worldwide.
Biblica, Inc.