ක්‍රියා 1 - සිංහල කාලීන පරිවර්තනයයේසුස්වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබීම 1 තියෝපිලස් මැතිතුමනි, මගේ පළමු ලියවිල්ලේ මා ලියුවේ, යේසුස්වහන්සේ සිදු කළ හා ඉගැන්වූ සියල්ල වූ උන්වහන්සේ සේවය ඇරඹූ දා පටන්, 2 ස්වර්ගයට ඔසවා ගනු ලැබූ දවස දක්වා සිදුවීම් ය. ඔසවා ගනු ලැබීමට පෙර, උන්වහන්සේ තමන් තෝරාගත් අපෝස්තුලුවරුනට ශුද්ධාත්මයාණන්වහන්සේ මඟින් අණ දුන් සේක. 3 තම වධ විඳීමෙන් පසු, තමන්ම ඔවුන්ට ප්‍රකාශ වෙමින් තමන් ජීවත්ව සිටින බවට නිසැක සාක්ෂි රාශියක් උන්වහන්සේ දැක්වූ සේක. උන්වහන්සේ හතළිස් දවසක් අතරතුර ඔවුන් හමුවට එමින්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳව ඔවුන්ට කතා කළ සේක. 4 උන්වහන්සේ ඔවුන් සමඟ සිටියදී, ඔවුන්ට නියෝග කරමින්, “යෙරුසලමෙන් ඉවත්ව නො ගොස්, කලින් ඔබ මගෙන් ඇසූ පරිදි, පියාණන්වහන්සේගේ පොරොන්දුව ගැන බලා සිටින්න. 5 මන්ද යොහන් මිනිසුන් බව්තීස්ම කළේ වතුරිනි. එහෙත් මෙතැන් සිට තව නොබෝ දිනකින් ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ බව්තීස්ම ලබනු ඇතැ” යි පැවසූ සේක. 6 මෙසේ ඔවුන් එක්රැස් වූ විටෙක ඔවුහු, “ස්වාමිනි, ඔබ ඉශ්රායෙල්ට රාජ්‍යය නැවත පිහිටු වන කාලය මෙය දැ?” යි උන්වහන්සේගෙන් ඇසූහ. 7 උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “පියාණන්වහන්සේ ස්වකීය ආධිපත්‍යයෙන් නියම කළ කාල හා වකවානු ඔබේ දැනගැනීම පිණිස නො වේ. 8 එහෙත් ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ පිට පැමිණි කල, ඔබ බලය ලබනු ඇත. එවිට ඔබ, යෙරුසලමේ ද මුළු යුදයෙහි හා සමාරියේ ද පොළොවේ සීමාන්තය දක්වා ද මාගේ සාක්ෂිකරුවන් වනු ඇතැ” යි පැවසූ සේක. 9 උන්වහන්සේ මෙසේ පැවසූ පසු, ඔවුන්ගේ ඇස් ඉදිරිපිටදීම, උන්වහන්සේ ඔසවා ගනු ලැබ, වලාකුළක් ඔවුන්ගේ දැකුමෙන් උන්වහන්සේ ඉවත් කළේ ය. 10 උන්වහන්සේගේ නැගී යෑම ගැන ඔවුන් ස්වර්ගය දෙස නෙත් දල්වා සිටියදී, මෙන්න! සුදු වතින් සැරසුණු මිනිසුන් දෙදෙනෙක් ඔවුන් පසෙකින් සිටගෙන, 11 ඔවුන් අමතමින්, “ගලීල මනුෂ්‍යයිනි, ඔබ මෙතැන සිටගෙන ස්වර්ගය දෙස බලා සිටින්නේ කුමට ද? ඔබ වෙතින් ස්වර්ගයට ඔසවා ගනු ලැබූ මෙම යේසුස්වහන්සේ, ස්වර්ගයට නැගෙනු ඔබ දුටු අයුරින්ම, ආපසු එනු ඇතැ” යි කීහ. මත්තියස් තෝරා ගැනීම 12 ඉන්පසු ඔවුහු, යෙරුසලමට නුදුරින් සබත් දවසක ගමන් දුරකින් වූ ඔලීව නම් කන්දේ සිට යෙරුසලමට ආපසු ගියහ. 13 පුරවරයට ඇතුළු වූ ඔවුහු තමන් නැවතී සිටි උඩු මහල් කාමරයට නැඟුණහ. ඔවුහු නම්: පේතෘස්, යොහන්, යාකොබ්, අන්දෘ; පිලිප් හා තෝමස්; බර්තොලමෙව් හා මතෙව්; අල්පෙවුස්ගේ පුත්‍ර යාකොබ්, ජ්වලිතයා වූ සීමොන් හා යාකොබ්ගේ පුත්‍ර යූදස් ය. 14 මේ සියල්ලෝ යේසුස්වහන්සේගේ මෑණියන් වූ මරියා ඇතුළු ස්ත්‍රීන් ද උන්වහන්සේගේ සහෝදරයින් ද සමඟ එක් රැස්ව, එක්සිත්ව නිරතුරු යාච්ඤාවේ යෙදුණහ. 15 එදවස්හි එකසිය විසි දෙනකුගෙන් පමණ සමන්විත සහෝදරයින් අතරේ නැගී සිටගත් පේතෘස් කතා කරමින්, 16 “සහෝදරවරුනි, යේසුස්වහන්සේ අත්අඩංගුවට ගැනීමට මඟපෙන්වූ යූදස් ගැන ශුද්ධාත්මයාණන්වහන්සේ ඉහතදී දාවිත්ගේ මුවින් පැවසූ ශුද්ධ ලියවිල්ල ඉෂ්ට විය යුතුව තිබුණි. 17 ඔහුත් අප සමඟ ගණන් ගනු ලැබ, මෙම සේවයේ තමාගේ කොටස ලැබී ය.” 18 (මේ මිනිසා තම දුෂ්ටකමේ ත්‍යාගයෙන් ඉඩමක් මිලට ගත්තේ ය. ඔහු දරුණු ලෙස වැටී, මැදින් පැළී ගියෙන්, ඔහුගේ බඩවැල් සියල්ල පිටතට වීසි විය. 19 යෙරුසලම් වැසි සියල්ලන් මෙය දැන ගත්තෙන්, ඔවුහු එම ඉඩම ඔවුන්ගේ භාෂාවෙන් ලේ බිම යන අරුතින් අකෙල්දමා යනුවෙන් හැඳින් වූහ.) 20 “මන්ද, ගීතාවලිය පොතේ ඒ ගැන සඳහන් වන්නේ මෙසේ ය: “ ‘ඔහුගේ වාසස්ථානය පාළුවට ඇරේවා; එහි වාසයට කිසිවකු නො සිටීවා,’ හා “ ‘ඔහුගේ තනතුර වෙනකෙකු ගනිත්වා.’ 21 එබැවින්, යේසුස් ස්වාමින්වහන්සේ අප අතරේ ආ-ගිය මුළු කාලය තුළ අප හා සිටි මිනිසුන්ගෙන් කෙනකු, 22 යොහන්ගේ බව්තීස්මයෙන් පටන් ගෙන, උන්වහන්සේ අප වෙතින් ඔසවා ගනු ලැබූ දවස දක්වා අප හා සිටි මේ අයගෙන් කෙනකු, උන්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම ගැන අප සමඟ සාක්ෂිකරුවකු විය යුතු යැ” යි පැවසී ය. 23 ඔවුහු ඒ සඳහා දෙදෙනකු යෝජනා කළහ. ඒ යුස්තස් නමින් ද හැඳින්වුණු බාර්සබස් නම් ලත් යෝසෙප් හා මත්තියස් ය. 24 ඉන්පසු ඔවුහු යාච්ඤා කරමින්, “ස්වාමින්වහන්ස, හැමදෙනාගේ සිත් දන්නා ඔබ, මේ දෙදෙනාගෙන් ඔබ තෝරාගත් තැනැත්තා මෙම සේවයට හා අපට දැක්වුව මැනව. 25 යූදස් විසින් තමන්ට හිමි ස්ථානයට යන පිණිස, හැර දමා යන ලද අපෝස්තලික තනතුරට සුදුස්සා පෙන්වා දුන මැනව” යි පවසා, 26 ඔවුන් උදෙසා කුසපත් ඇද්දහ. කුසපත වැටුණේ මත්තියස්ට ය. එබැවින් ඔහු ද අපෝස්තුලුවරුන් එකොළොස් දෙනා සමඟ ගණන් ගන්නා ලද්දේ ය. |
ශුද්ධ බයිබලය, සිංහල කාලීන පරිවර්තනය™, අලුත් ගිවිසුම
සියලු හිමිකම් ඇවිරිණි © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.
අවසර ඇතුව උපුටා ගනු ලැබී ය. ලොව පුරා සියලු හිමිකම් ඇවිරිණි.
Sinhala Contemporary Version™, New Testament
Copyright © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.
Used with permission. All rights reserved worldwide.
Biblica, Inc.